History

Monday, 23 November 2020

මැලේරියාවේ සිට කොරෝනාව දක්වා

 මැලේරියාවේ සිට කොරෝනාව දක්වා


දැනට අවුරුදු අසුපහකට පමණ පෙර මෙරට මැලේරියා වසංගතය පැතුරුණා. මිනිසුන් විශාල වශයෙන් මිය ගියා. ගණන් හිලවු මා දන්නේ නැහැ. සංඛ්‍යානය කියන්නෙ මා ප්‍රිය කරන විෂයක් නො වෙයි. එහෙත් පේරාදෙණියේ දී සහකාර කථිකාචාර්යවරයකු ලෙස මට එහි පැත්තක් උගන්නන්න වුණා. ඒ අවුරුදු පනහකටත් පෙර. මා කිසිවක් උගන්නන්නෙ නැති නිසා ප්‍රශ්නයක් වුණේ නැහැ. 


තිස් ගණන්වල  තමයි පිලිප් ගුණවර්ධන, එන් එම් පෙරේරා ආදීන් ලංකාවට ඇවිත් තියෙන්නෙ. එවකට තිබුණෙ ඉංගිරිසි ආණ්ඩුව. එන් එම්ලා එවකට රාජ්‍ය මන්ත්‍රණ සභාවෙ මන්ත්‍රිවරුන් නොවෙයි. ඔවුන් පිට ඉඳන් මැලේරියාව ගැන ඉංගිරිසි ආණ්ඩුවට දොස් කිය කිය හිටියෙ නැහැ. මැලේරියා මර්දන ව්‍යාපාරයට ඔවුන් ද සූරියමල් ව්‍යාපාරය ලෙස එකතු වුණා. එන් එම් තුන්කෝරළයට ගියේ ඒ අනුවයි. ඔහු ඒ ප්‍රදේශයේ ජනතාවගේ ආහාර ආදිය ගැන හොයල බැලුව. ඔහු අධිරාජ්‍යවාදයට බැණ වදිමින් නිකම් හිටියෙ නැහැ. ඔහුට පරිප්පු මහත්තයා කියා නමක් පටබැඳුණා. ඒ ජනතාවට පරිප්පු බෙදපු නිසා. ඔහු ආණ්ඩුව පරිප්පුවක් කාපු දෙන් කියා බලා හිටියෙ නැහැ. 


ඒ පළාතෙ ජනතාව ඔහු අමතක කෙළේ නැහැ. 1936 දී ඔහු රුවන්වැල්ල ආසනය ජයග්‍රහණය කළා. ඒත් ඔහු පරිප්පු බෙදුවෙ මැතිවරණයක් බලා ගෙන නොවෙයි. පිලිප් ගුණවර්ධන ආදීන් ලංකා සමසමාජ පක්‍ෂය පිහටුවා ගත්තෙ 1935 දි. මැලේරියා වසංගතය තිබුණෙ 1934 දි. පරිප්පු බෙදුවෙ මිනිසත් බව පෙරදැරි කර ගෙන. මැලේරියාව තමන්ටත් බෝවේය කියා පැත්තකට වෙලා ඉංගිරිසි ආණ්ඩුව විවේචනය කර කර ඉන්න ඒ මුල් යුගයෙ සමසමාජකාරයන් අදහස් කෙළෙ නැහැ. එන් එම් කැළණි ගඟේ නැගෙනහිර පැත්තෙ තුන් කෝරළයෙන්  රාජ්‍ය මන්ත්‍රණ සභාවට පත්වන විට පිලිප් ගුණවර්ධන ගඟේ බටහිර පැත්තෙ හේවාගම් කෝරළයෙන් මන්ත්‍රණ සභාවට පත්වුණා. එන් එම් 1936 දී පැරුද්දුවෙ මීදෙණිය වලව්වට සම්බන්ධ මොළමුරේ කුමාරහාමි. එන් එම් ගෙ බැණා තිස්ස විතාරණ පස්සෙ කාලෙක සමසමාජ පක්‍ෂෙ නායකයා වුණා. ඔහු විවාහ වුණෙ මීදෙණියට සම්බන්ධ කාමිණී මීදෙණිය සමග. අයිරාංගනී සේරසිංහ විවාහයට පෙර අයිරාංගනී මීදෙණිය. කාමිණිගෙ සොහොයුරිය. මේ සම්බන්ධකම්වලින් නිගමනවලට එන්න උත්සාහ කරන්න එපා. 


පරණ සමසමාජ මනුෂ්‍යත්වයට මොකද වුණෙ. ඉංගිරිසි ආණ්ඩුව සමසමාජ නායකයන් හිර කළා. සමහරු ඉන්දියාවට පැනල ගියා. පිලිප් ගුණවර්ධන ඉන්දියාවට ගියා. මගේ පසුකාලීන මිත්‍රයකු වූ අමාර් ඉන්දික රූපසිංහ ගුණවර්ධන හෙවත් ඉන්දික ගුණවර්ධන ඉපදිල තියෙන්නෙ ඉන්දියාවෙ. ඔහු ඉන්දික වෙන්න ඒකත් හේතුවක් කියල තමයි මා අහල තියෙන්නෙ. අප කුඩා කළ අම්මා අපට කී කතාවකට අනුව ලෙස්ලි ගුණවර්ධන තම පියාවූ දොස්තර සයිමන් ගුණවර්ධනගෙ මළගමට සහභාගි වෙලා තියෙන්නෙ ඉංගිරිසි ආණ්ඩුවෙ ඇස්වහලා කාන්තා ඇඳුමකින් සැරසිලා ඇවිත්. ඒ අය එතරම් කැපකිරීමක් කළ අය. ලෙස්ලි පාණදුරේ මන්ත්‍රී වුණෙ බොහොම කාලෙකට පස්සෙ 1956 දි. 


රාජ්‍ය මන්ත්‍රණ සභාවෙ පාණදුරේ නියෝජනය කෙළෙ ජී එල් පීරිස්ගෙ ඥාතියකු වූ සුසන්ත ද ෆොන්සේකා. ඔහු තමයි පස්සෙ බුරුමයෙ පළමු ලංකා තානාපති වුණෙ. 1994 දි කළුතර දිස්ත්‍රික්යෙන් පරාද වෙච්ච මා අද බුරුමයේ ලංකා තානාපති. මගේ මිත්‍රයකු වූ ද මගේ පියාගේ ශිෂ්‍යයකු වූ ද ජී එල් පීරිස් අධ්‍යාපන ඇමති. ඔහොම තමයි ජීවිතේ. තානාපති වෙන්න මා කොච්චර කඩේ ගියා ද? මේ ලිපියත් කඩේ යෑමක් හැටියට සලකන්න පුළුවන්. 


අද විපක්‍ෂය එදා එන් එම්ලා වගේ වැඩ කරන්නෙ නැහැ. පරිප්පු බෙදන්නෙ නැහැ. කොරෝනා ව වෙනුවෙන් මොකුත් කොරන්නෙ නැහැ. ආණ්ඩුව පරිප්පුවක් කන කන් බලා ඉන්නවා. ඒ අතර ඔවුන් අමු මාළු කනවා. වෙන කාගෙවත් මාළු නොකා මුහුදෙ මාළු කන එක නම් හොඳයි. මේ අතර මිනිසුන්ගෙත් මිනිස්කම නැති වෙලා. එන් එම්ලා මැලේරියා රෝගීන් ළඟට ගියාට අද අපි කොරෝනා රෝගීන් දිහා ඔරෝල බලන්නෙ. 


බුදුහාමුදුරුවන් කියල තියෙන්නෙ ගිලනුන්ට උපස්ථාන කරන්න. අද එහෙම තත්වයක් නැහැ. අද ගිලනුන්ට ගහනවා. අපට ලෙඩ බෝ කරන්න ආ අය හැටියටයි අද කොරෝනා රෝගීන් දිහා බලන්නෙ. අර බෝවෙන රෝග පිළිබඳ රෝහලේ හෙද හෙදියන් ආරක්‍ෂා වී රෝගීන්ට උපස්ථාන කරනවා. අපට කරන්න තියෙන්නෙ පරෙස්සම් වී වැඩ කරන්න. කල් පවතින රෝග ඇති අය නම් වඩාත් පරෙස්සම් වෙන්න ඕන. සාමාන්‍ය අයට කොරෝනාව මාරාන්තික නැහැ. 


එහෙත් අද වන විට ජනමාධ්‍ය පමණක් නොව ඇතැම් බටහිර වෙදමහත්වරුත් ජනයා බය කරල ඉවරයි. මා ඊයේ සඳහන් කළ මේ කත වෙනත් කරුණු සම්බන්ධයෙන් උසාවියට අනුව වැරදිකාරියක් වෙන්න පුළුවන්.  එහෙත් ඇය කොරෝනා රෝගියකු වීම ගැන කිසිම උසාවියකට අනුව වැරදිකාරියක නො වෙයි. කොරෝනා රෝගීන්ට ඔරොවන්නෙ නැතිව ඉන්න පුරුදු වෙමු. බටහිර වෙදමහතකු අද ලිපියක් ලියා තියෙනවා මුල් කාලයේ දි ඔවුන් කොරෝනා ගැන දැන හිටියෙ නැහැ දැන් දන්නවා කියල. මට අහන්න තියෙන්නෙ දැන් දන්නෙ මොනවද කියල. 


ඒ දැනුමෙන් වැඩක් නැහැ. කොහොමත් ඔවුන් ඊළඟ සඟරාව එනකන් බලා ඉන්නවා බටහිර ම ඉන්න බටහිර වෙදමහත්තුරු මොනව ද කියන්නෙ කියල දැන ගන්න. ඇහුවොත් කියාවි අපට උපකරණ නැහැ පහසුකම් නැහැ  පර්යේෂණ කරන්න කියල. සංකල්පීය වශයෙන් යමක් කියන්න පුළුවන් ද? ඒකට අවශ්‍ය බුද්ධිය පමණයි. දැන් කියාවි ද අපට බුද්ධියත් නැහැ කියල. 


ඒ මොනව වුණත් අපි රෝගීන් දිහා සානුකම්පික ව බලමු. අපි පරෙස්සම් වෙමු. මුව ආවරණ, මීටරේ දුර, අත් සේදීම හැරුණුකොට දුම්හට්ටිය අල්ලමු, වෙනිවැල්ගැට හැමදා ම නැතුව බොමු. වෙනත් ඖෂධ වර්ග පානය කරමු. කවුරු හරි කියන්න බැරි නැහැ එයාට මොක ද මියන්මාරයෙ ඉඳගෙන ඕන එකක් කියන්න බැරි ද කියල. මා මියන්මාරයෙ තත්වය ගැන කියන්නෙ නැහැ. 


පහුගිය අවුරුදු අසුපහක පමණ කාලයක එන් එම්ලා පිලිප්ලාගෙ සූරියමල් ව්‍යාපාරයෙ සිට අප පොපිමල් කරා ආපහු ගිහිල්ල. බ්ලැක් ෆ්‍රයිඩෙ නැත්නම් කළු සිකුරාදාත් දින දර්ශනයට එකතු වෙලා. තෑන්ක්ස් ගිවින් තාම නැද්ද? අපි හැමදාමත් තෑන්ක්ස් කියනව නෙ. ඒකට වෙන ම දිනයක් මොනවට ද? හැබැයි බ්ලැක් ෆ්‍රයිඩෙ එන්නෙ තෑන්ක්ස් ගිවින් දාට පස්සෙ. බ්ලැක් ෆ්‍රයිඩෙ කියන්නෙ රොබින්සන් කෘසොගෙ ෆ්‍රයිඩෙට නො වෙයි. නොක්ස්ටත් නොවෙයි. ඇයි කළු කියන්නෙ. එක පැත්තකින් බ්ලැක් ලයිව්ස් මැටර් කියන ගමන් නරක ගැන කියන්න කළු යොදා ගන්නවා. ඕකට වයිට් ෆ්‍රයිඩෙ කිවුව නම් මොක ද? 


අපේ මිනිස්කම අඩුවෙලා. අද වම නැත්තට ම නැති වෙලා. බොරු වමාලා ටිකක් මිනිස්කම වෙනුවට පඬිකම දොඩවනවා. මේවට වැරදි කාරයො කවු ද? අවාසනාවකට අධ්‍යාපනය විතරක් නො වෙයි. ප්‍රජාතන්ත්‍රවාදය ජනමාධ්‍ය ආදියත් වග කියන්න ඕනෙ. අද තියෙන්නෙ වොයිස් කට් හා කට් වොයිස්. වමත් වැරදි කාරයෙක්. සූරියමල් ව්‍යාපාරයෙ තිබුණ ගුණය වෘත්තීය සමිති ව්‍යාපාරයත් එක්ක නැති වෙලා ගියා. අපි පොපිමල් ගන්න එක පුදුමයක් නො වෙයි. ඒ අතර ජේ ආර් වම නැති කරන්න වම යොදා ගත්ත. අපි පස්සෙ ඒක කතා කරමු. අද ඒ වමත් නැහැ මේ වමත් නැහැ.  මාලිමාවෙන් පෙන්වන්නෙ වම නොවෙයි දකුණ.