History

Tuesday, 24 November 2020

යොන් මැරිල්ලේ චක්‍රීය කතාව හා චින්තනය

 යොන් මැරිල්ලේ චක්‍රීය කතාව හා  චින්තනය


මේ වන විට යොන් මැරිල්ල බොහෝ දෙනකුට අමතක වෙලත් ඇති. එහි කතාව සැකෙවින් මෙසේයි. කලකට පෙර ග්‍රීකයන් (යවනයන් හෙවත් යෝනයන්) පහළොස් දෙනකු හා සිංහලයන් පහළොස් දෙනකු නැවක යන විට නැවේ යම් ආබාධයක් නිසා පහළොස් දෙනකු මුහුදට දැමීමට අවශ්‍ය වෙලා. නැවේ කප්පිත්තා උපායක් කල්පනා කර තිස්දෙනා රවුමක සිටුවා එකේ සිට නවයට ගණන් කර නවවැන්නා මුහුදට දැමීමට යෝජනා කර තිබෙනවා. නවවැන්නා මුහුදට දැමීමෙන් පසු නැවතත් එකේ සිට නවයට ගණන් කර නවවැන්නා මුහුදට දැමීමට. කප්පිත්තා රවුම සකස් කර ඇත්තේ හැම අවස්ථාවක ම නවවැන්නා යෝනයකු වන පරිදියි. ප්‍රශ්නය වූයේ ඒ සැකැස්ම කවරේ ද යන්නයි. 


මා මේ ග්‍රීක සම්බන්ධය ගැන දැන ගැනීමට කැමතියි. සිංහලයන් හා ග්‍රීකයන් අතර සම්බන්ධකම් තිබුණ බව මහාවංසයේ පණ්ඩුකාභය කතාවෙන් කියැවෙනවා. ඒ රජු අනුරාධපුරයේ ග්‍රීකයන් වෙනුවෙන් කොටසක් වෙන් කරල තිබුණ. එහෙත් මහාවංසය කියන්නේ නැහැ අනුරාධපුරයේ ග්‍රීකයන් හිටියේ එහෙමත් නැත්නම් අනුරාධපුරයට ග්‍රීකයන් පැමිණියේ කොහොම ද කියන එක. මේ සම්බන්ධයෙන් මා දන්නා තරමින් පරණවිතාන මහතා යම් යම් දේ ලියා තිබෙනවා. එහෙත් බොහෝ දෙනා ඒ කතා පිළිගන්නේ නැහැ. එහෙත් මා අසන ප්‍රශ්නය තියෙනවා. අනුරාධපුරයෙට ග්‍රීකයන් ආවේ කොහොම ද කොහෙන් ද? 


යොන් මැරිල්ලේ සකස් කිරීම පහත සඳහන් කවිවල කියැවෙනවා. කිහිප දෙනකු ම ඒ කවි මා වෙත ලැබෙන්න සලස්වා තිබුණා.  විශේෂයෙන් ම දැනට ලන්ඩන් විශ්වවිද්‍යාලයේ පශ්චාත් ආචාර්ය අධිශිෂ්‍යත්වලාභියකු වූ මොරටුව විශ්වවිද්‍යාලයේ උපාධිධාරී හිමන්ත කුරේ තරමක විස්තරයක් කර තිබුණේ අර සිංහල කවිත් සමගයි. 


හිමන්ත කුරේ ගැන මා ඉහත සඳහන් කෙටි විස්තරය කෙළේ ඊයේ එක් අයුරක ජාතිකවාදී පඬියකු කියා තිබූ පඬි කතාවක් ද හේතුවෙන්. මෙරට බටහිර වෙදමහත්තුරු කරන හරි හමන් පර්යේෂණයක් නැති බව මා කී විට පඬියා කියා තිබුණේ බටහිර වෙදමහත්තුරු තාක්‍ෂණවේදීන් පමණක් බවත් අලුත් බෙහෙත් සොයා ගැනීම් ආදියට වෙන ම පිරිසක් ඉන්නා බවත්. බටහිර වෙදමහත්තුරු තාක්‍ෂණවේදීන් බව අප කලක සිට කියන දෙයක්. එහෙත් ඒකෙන් කියන්නේ නැහැ ඔවුන් ඊනියා පර්යේෂණ නොකරන බවක්. මට ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ ලිපි ලැබෙනවා. ඔවුන් ඉදිරිපත් කරන පත්‍රිකා ගැන එහි සඳහන් වෙනවා. පඬියා ඒ බවක් දන්නේ නැතිව ඇති. බටහිර වෙදමහත්තුරුන්ගෙන් පිරිසක් වෛද්‍ය පීඨවල උගන්වනවා. ඉගැන්වීමට වෙන ම පිරිසක් පත්කර නැහැ. පර්යේෂණ ආයතන තියෙන එක ඇත්ත. ඒත් විශ්වවිද්‍යාල ගුරුවරුත් පර්යේෂණ කරනවා.


හිමන්ත ඉංජිනේරුවෙක්. ඔහුත් තාක්‍ෂණවේදියෙක්. එහෙත් ඔහු කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ ආචාර්ය උපාධියක් සඳහා පර්යේෂණ කළා. දැන් ලන්ඩන් විශ්වවිද්‍යාලයේ පර්යේෂණ කරනවා. පඬියා බොහෝ විට තමන් නොදන්නා දේ ගැන පඬි කතා කියනවා.  හිමන්ත සුදු මහත්තුරුත් සමග සුදු මහත්තුරුන්ගේ පර්යේෂණ තමයි කරන්නේ. එය ප්‍රශ්නයක් වන්නේ ජාතික චින්තනය යනු බරකරත්තයෙන් ආපසු අනුරාධපුරයට යැම කියා හිතන පඬි නැට්ටන්ට පමණයි. අසූ ගණන්වල කොළඹ විශ්වවිද්‍යාලයේ ඔවුන් දැකගන්න පුළුවන් වුණා. හිමන්ත මට එවා තිබූ ලිපියේ අදාළ කොටස් පහත පළ කරනවා.        


"මේ ගණිත ගැටළුව ගැන 1941 වසරේ දී පළ කෙරී ඇති පත්‍රිකාවක් මේ සමග අමුණා එවමි (the puzzle of thirty counters.pdf) පැරණි අයර්ලන්තයේ සහ ස්කොට්ලන්තයේ ගේලික් බස කතාකළ ජනයා අතර පැවති යොන් මැරිලි ගැන එහි ප්‍රධාන වශයෙන් සාකච්ඡා කෙරේ. ප්‍රංශ කටුගෙයක තබා ඇති ක්‍රි.ව. 9 වන සියවසේ ලියවිල්ලකින් ගත් යොන් මැරිලි කවි පංතියක් මේ පත්‍රිකාවේ දැක්වේ (23 පිටුවේ සිට බලන්න). කතුවරයා නිගමනය කරන්නේ මේ කවි පංතිය ලියවී ඇත්තේ ඒ වන විට අයර්ලන්තයේ පැවති කවි කතන්දර ඇසුරෙන් බවයි. එහෙත් යොන් මැරිල්ල පුරාණ අයර්ලන්තයට පැමිණියේ කොයිබින් දැයි නොදන්නා බව ද අරාබියේ, ජපානයේ සහ ඉන්දියාවේ ද යොන් මැරිලි ඇති බව ද ඔහු සඳහන් කරයි.


කුඩා දරුවන් සෙල්ලම් කිරීමට පිල් බෙදෙන්නේ ද යොන් මැරිල්ලේ ක්‍රමයට බව මට මේ අතර සිහි විය. ඒ ගැන සොයාබැලූ මට මෙහි අමුණා ඇති අනෙක් පත්‍රිකාව හමු වි (counting out games.pdf). එහි 144 වන පිටුවේ ජපන් යොන් මැරිල්ලේ කතාව දැක්වේ. එය දේපළ බෙදා දීමක් ගැන ය. බටහිර ගණිතයේ දී සාධාරණිකරණය කරන ලද යොන් මැරිල්ල හැඳින්වෙන්නේ "ජොසීෆස් ගැටළුව" (Josephus problem) ලෙස බව ද දැනගතිමි. මේ නම දැමිමට හේතුව ක්‍රි.ව. 67 දී පමණ ජොසීෆස් නමැති යුදෙව් සෙබළෙක් යොන් මැරිල්ලක් කර මරණයෙන් බේරුන බවට පවතින පුරාවෘත්තයකි. එහෙත් මේ කතාව ලියැවී ඇත්තේ  ක්‍රි.ව. 1250 දී පමණ බැවින් ජොසීෆස් ඇත්තට ම කළේ යොන් මැරිල්ලක් ද යන්න පැහැදිළි නැත ("counting out games") පත්‍රිකාවේ143 වන පිටුවේ මේ ගැන කියවේ.


සිංහල යොන් මැරිල්ලේ කවි පංතිය පහත වෙබ් අඩවි ව පළකෙරී තිබී හමුවියඃ



http://yonmarilla.blogspot.com/p/intro.html

http://economatta.blogspot.com/2020/10/blog-post_18.html


"සදාපන්න පළමුව ජයවෙන සතර

ඊලඟ යොදන් පණ යන පස්දෙන් නිතර

යාලු දෙන්න ගාවාමයි එක හතුර

දැන්ගන් මිතුරු තුන්දෙනමයි ඒ අතර


අකුසල් එකකි කුසලෙන් වැඩි එක යාලු

නහින දෙන්න ළඟ දෙන්නත් ගැලවේලු

අකුසල් තුනකි කුසලෙන් වැඩි එක යාලු

නහින දෙන්න ළඟ දෙන්නට එක මරලු"


විවිධ රටවල යොන් මැරිලි කතා වල ඇත්තේ ඒ ඒ කාල වල එකට හමු වූ ජන කොටස් යුගල ගැන වේ. "යොන්" යනුවෙන් හැඳින්වෙන්නේ ග්‍රීකයන්ම නම් සිංහල යොන් මැරිල්ල ඇති වූයේ ලංකාවට ග්‍රීකයන් පැමිණි කාලයක හෝ සිංහලයන් ග්‍රීකයන් ගැන දැනසිටි කාලයක බව සිතිය හැක. එබැවින් යොන් මැරිල්ල පුරාණ සිංහලයන්ගේ නිර්මාණයක් වීමට ද බොහෝ ඉඩ තිබේ.


යොන් මැරිල්ලේ චක්‍රීය බවක් ඇත. පැරණි අයර්ලන්තයේ යොන් මැරිල්ල

ක්‍රිස්තියානි හෝ කතෝලික චින්ත බලවත් වීමට පෙර ජීවත් වූ පැරණි යුරෝපීය ජනයා අතර චක්‍රීය චින්තනයක් පැවති බවට නිදසුනක් ද යන්න විමසා බැලීම වටී.

කෙසේ වෙතත් යොන් මැරිල්ලේ පවතින චක්‍රීය බව අපට ඉතා වැදගත් විය හැක. අපේ ගණිතයක් හෝ පරිගණක විද්‍යාවක් හෝ (හෝ අඩුම තරමින් ඇල්ගොරිතමයක්) තැනීමට යොන් මැරිල්ලේ චක්‍රීය බවෙන් යම් උපකාරයක් ගත හැකි බව සිතේ."


යොන් මැරිලි කතාවල මුහුදට දාන්නෙ තමන් අකමැති පාර්ශ්වය බව පැහැදලියි. සුද්දන් ඉතිරි කර කල්ලන් මුහුදට දැමීම, යුදෙව්වන් මුහුදට දැමීම ආදිය ඒ එ රටවල යොන් මැරිලි කතාවල කියැවෙනවා. මෙහි වැදගත් වන්නේ චක්‍රීය භාවයයි. වත්මන් රේඛීය චින්තනය තම අණසක පැතිරවීමට පෙර ලෝකයේ වෙනත් රටවල ද චක්‍රීය චින්තනයක් තිබිණි ද යන්න සොයා බැලීම වැදගත්. බටහිර ගණිතයේ මාපාංකානුකූල (Modulo) කියල සංකල්පයක් තියෙනවා. ඒකෙ චක්‍රීය බවක් තියෙන්නෙ.