History

Saturday, 12 December 2020

බටහිර කොරකළ කොරෝනා

 

බටහිර කොරකළ කොරෝනා - එස් ජයසුන්දර

එස් ජයසුන්දර විසින් ලියන ලද මේ ලිපිය ඉඩ නොමැති වීම නිසා මෙවර කාලය කලාපයේ (2020 දෙසැම්බර්) පළ කිරීමට නොහැකි වුණා. ඒ ගැන කණගාටුව පළ කරන අතර එහි කාලීන බව සලකා එය මෙසේ පළ කරනවා. - නලින් ද සිල්වා


දෙයියන්ගෙ ලෙඩ අපට බෙහෙවින් හුරු පුරුදු වචනයකි. අපේ පැරැණ්නන් ඒ සඳහා කළ යුතු බේත් හේත් ද හොඳින් දැන සිටියහ. සමාජයක් ලෙස ද ඒ සඳහා සාමූහික වත් පිළිවෙත් ගනු ලැබිණි. නිවසෙහි සිටින්නේ දෙයියන්ගේ ලෙඩ වැළඳුනු එක අයෙක් පමණක්නම් උළුවස්සේ කොහොඹ අත්තක් එල්වා තැබිණි. එවිට නිවසෙහි දෙයියන්ගෙ ලෙඩ වැළඳුනු එක් පුද්ගලයෙක් සිටින බව ගම්මු දැන ගනිති. එම නිසා ඔවුන් එම නිවසට ඇතුළු නොවෙයි. එහෙත් ලෙඩාට අවශ්‍ය දේ තමන්ට හැකි අයුරින් ගෙනැවිත් නිවෙස ඉදිරිපිට තබා යෑම ගම්මුන් සිරිතයි. නිවැසියන්ගෙන් කීප දෙනෙකුටම රෝගය වැළඳී ඇත්නම් නිවස පිහිටි ඉඩමට ඇතුළු වන කඩුල්ලේ කොහොඹ අතු කිහිපයක් එල්ලා තැබීමට නිවැසියන් ක්‍රියා කරයි. එය පෙර පරිදිම ලෙඩුන් සංඛ්‍යාව පිළිබඳව ගම්මුන්ට පණිවිඩයකි. ඒ අනුව කඩුල්ල පැණීමෙන් වළකින ගම්මු තමන්ට හැකි දේ ගෙනැවිත් කඩුල්ල අසල එල්ලා තැබීමෙන් තමන්ට හැකි අයුරින් ලෙඩ වූ නිවැසියන්ට උපකාර කරති. ගමේ බොහෝ දෙනෙකුට මේ රෝගය වැළඳී ඇත්නම් ගමට පිවිසෙන ස්ථානයේ කොහොඹ අත්තක් එල්ලා තැබෙයි. එමඟින් ලබාදෙන පණිවිඩය තේරුම් ගන්නා අනෙකුත් ගම්මානවල ජනයා ඒ ගමට ඇතුළු වීමෙන් වැළකී තමුන්ට හැකි අයුරින් රෝගී වූ ගැමියන්ට උපකාර කරති. මෙම සන්නිවේදන ක්‍රමය මඟින් රෝගය පැතිරීම වළක්වා ගැනීම අපේ සිංහල බෞද්ධ සම්ප්‍රදායට ආගන්තුක නොවුණි. එපමණක් නොව, රෝගීහු ද එම ක්‍රමයට කිසිදු චකිතයකින් තොරව අනුගත වී සුවය ලබන තෙක් නිවෙස්වලට වී සිටියහ.

එහෙත් බටහිර දැනුම් ආධිපත්‍යය හමුවේ මෙම ක්‍රම අද තරුණ බාල කාහටත් ආගන්තුක පිළිවෙත් හැටියට පෙනෙනු ඇත. අපට තරම් නොවුනත් ආසියාතික රටවල් මෙම කොවිඩ්19 වසංගත තත්ත්වය පාලනය සඳහා හුදකලාකර තැබීමේ ක්‍රමය සාර්ථකව යොදා ගැණිනි. කොරෝනා රෝගය විශාල වශයෙන් පැතිරීමේ ආරම්භක නගරය ලෙස සැලකෙන චීනයේ වූහාන් නගරය ඇතුල්වීම් පිටවීම් දැඩි ලෙස පාලනය කරමින් ඉතා දැඩිව වෙන්කර තැබීමට පියවර ගැණිනි. ඔවුන් එමඟින් මුළු රටටම ව්‍යාප්ත වීමට ඉඩ නොතබා වසංගතය සාර්ථකව පාලනය කළහ. එමෙන්ම ලාඕසය, කාම්බෝජය, තායිලන්තය, වියට්නාමය ආදී ආසියාතික රටවල් ඉතා විශිෂ්ට අන්දමින් මෙම රෝගයේ ව්‍යාප්තිය පාලනය සිදුකර ඇත.

බටහිර රටවල කොරෝනා පාලන තත්වය කෙබඳුද?
ඉතාමත්ම අසාර්ථක බව අමුතුවෙන් පෙන්වාදිය යුතු නැත. මෙහි ඉතා ඛේදනීය තත්වය අහිමි වන ජීවිතයි. එය රටවලට කෙසේ දැනුනත් ජීවත්වන පවුලේ අන් අයට දැනෙන පාඩුව, අසරණ බව, වේදනාව මෙපමණයි කිව නොහැක.

බටහිර රටවල් ලොක් ඩවුන් කිරීමේ ක්‍රම යොදා ගත්තත් එය සාර්ථක නොවුණි. ඔවුන් සමාජ දුරස්ථභාවය කියමින් මීටරයක් දුරින් (එය දැන් මීටර් එකහමාර බවට පත්ව ඇත) එක් එක් පුද්ගලයා වෙන් කර තබන්නට උත්සාහ කළත් සමූහයක් ජීවත්වන ප්‍රදේශ හුදකලා කිරීමේ ක්‍රම හමුවේ අසමත්ය. බටහිර වෛද්‍ය විද්‍යාවට රෝග නිවාරණයට ප්‍රතිකාර නොමැත. එහෙත් රෝග ව්‍යාප්ති පාලනයට යොදා ගන්නා ජනප්‍රිය ක්‍රම තුන වන මීටරයකින් යුතු සමාජ දුරස්ථභාවය, මුව ආවරණ පැළඳීම, නිතර අත් සේදීම යන කරුණු පිළිබඳවත් පැහැදිලි එකඟතාවයක් නැත. නමුත් ඒවා ඒ අයුරින්ම එහාට මෙහාට දමමින් වංසෙ කාල්ගාමීන් තමන්ගේ තත්වෙ ආරක්ෂා කරගන්නට මෙරට බටහිර වෛද්‍යවරුන් උත්සහ කලත් බටහිර රටවල වෛද්‍යවරු බටහිර ක්‍රමයට පරික්ෂණාත්මකව මෙම වසංගත තත්වයට මුහුණ දීමට වෙහෙසෙති.

මුව ආවරණ පැලඳීම සම්බන්ධව පටැලවිල්ල මුල් කාලයේ විශේ‍ෂයෙන්ම බටහිර රටවල කොරෝනා ඉතා වේගයෙන් ව්‍යාප්තවීමට බෙහෙවින් ඉවහල් වන්නට ඇත. මෙරට සමහර වෛද්‍යවරු ප්‍රකාශ කර සිටියේ "ඔබ නිරෝගී පුද්ගලයකු නම් මුව ආවරණ පැළඳිය යුතු නැත" යන්නයි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ මතයයි ඔවුන් එදා ඒ අයුරුන් ඉදිරිපත් කළේ. එහෙත් අප සමාජ මාධ්‍ය හරහා ගෙනගිය මතය වූයේ නිවසෙන් බැහැර යන සෑම අවස්ථාවකම මුව ආවරණ පැලඳීම රෝග ව්‍යාප්තිය පාලනයට බෙහෙවින් උපකාර වන බවයි. පසුව ඇමරිකා එක්සත් ජනපද මුව ආවරණ පැලඳීම අනිවාර්ය කළේය. ඉන් පසුව ලෝක සෞඛ්‍ය සංවිධානයත් තම මතය වෙනස් කරමින් මුව ආවරණ අනිවාර්ය යන්න ප්‍රකාශ කළේය. ඒ අනුව මෙරට බටහිර වෙදමහත්වරුත් ඒ අනුව කටයුතු කළෝය. ලෝක සෞඛ්‍ය සංවිධානයට ස්වාදීන මතයක් නොමැති බවත් ඒ එක්සත් රාජ්‍යයේ මතය අනුව වෙනස්වන බව තහවුරු වෙයි. මෙරට බටහිර වෛද්‍යවරු ලෝක සෞඛ්‍ය සංවිධානයේ දේශීය මාධ්‍ය ප්‍රකාශක තනතුර ඉතා හොඳින් අඩු නැතිවම ඉටු කරයි. ඔවුන්ට බටහිර ක්‍රමයට කොරෝනා වෛරසය සම්බන්ධ අබමල් රේණුවක තරම් එකතු කිරීමකවත් සිදුකර නොමැත. අඩුම ගානේ අබමල් රේණුවෙන් මෙම වෛරසය කීයෙන් පංගුවක්ද කියාවත් කියන්නට හැකි වුනානම්. අලුත් වෙන්නේම නැති අලුත්ගේට හොඳටම කරන්න පුළුවන් මිනිස්සු බිය වැදිදීමයි. එය නැවතීමේ ලකුණක්වත් නැතිව මුහුනෙන් බිය නිරූපනය කරමින් හොඳින් රඟපායි. මොවුන්ගේ අනෙක් කාර්යය වන්නෙ දේශීය වෙදමහතුන්ට මේ සඳහා මැදිහත්වන්නට ඉඩ නොතබා උදැල්ල දැමීමයි. කෙසේ නමුත් රෝග වලට ඔරොත්තුදීමේ හැකියාව ඉහල නැංවීමටත්, කොරෝනා රෝගීන් සඳහාත් ඖෂධ දුම් හට්ටි ආදිය මගින් කොවිඩ්19 වසංගතයට සාර්ථකව මුහුණ දීමටත් පාරම්පරික වෙදමහතුන් ඇතුළු දේශීය වෙද මහතුන්ට හැකි බව අපට පැහැදිලි ය.

කොවිඩ්19 වසංගතයේ ආරම්භය කුමක් වුව ද, එහි මහා පරිමාණ ව්‍යාප්තියක් දක්නට ලැබුනේ චීනයෙනි. එය කෙතරම් විශාල ව්‍යාප්තියක් වුව ද, පළමුවෙන්ම සාර්ථකව වසංගතය මැඩ පැවැත්වූවේ ද චීනයයි. එහි රහස කුමක්ද ?
එහි රහස වන්නේ චීනය නොබියව තම දේශීය වෛද්‍ය දැනුම කොවිඩ්19 වසංගතය මර්ධනය සඳහා සාර්ථකව යොදාගැනීමයි. චීනයේ ද බටහිර වෛද්‍ය ක්‍රමය ද ප්‍රචලිතය. එහෙත් චීනයේ රෝහල් තුළ බටහිර වෛද්‍ය ක්‍රමය මෙන්ම දේශීය වෛද්‍ය ක්‍රමය ද එක ලෙස යොදා ගැනෙයි. මෙරට වෛද්‍යවරු මෙන් චීන වෛද්‍යවරු එයට විරුද්ධ වී නොමැති බව පැහැදිලිය. විරෝධයක් දැක්වූ වෛද්‍යවරයෙකු දෙදෙනෙකු සිටිය හැකි වුව ද එය සැලකිය යුතු මට්ටමක තිබී නොමැති බව පැහැදිලිය. එහෙත් මෙරට...මෙහි බටහිර වෛද්‍යවරු බහුතරය දන්නා එකම දෙය දේශීය වෙදකමටත්, දේශීය වෛද්‍යවරුන්ට විරුද්ධවීමත්, ආඩපාලි කීමත් පමණි. ඒ අතර ඇතැම් බටහිර වෛද්‍යවරු හොරෙන් දුම් හට්ටිය අල්ලා, කොත්තමල්ලි, වෙනිවැල්ගැට බොති. රෝගීහු ද කොත්තමල්ලි, වෙනිවැල්ගැට බොමින්, දුම් හට්ටි අල්ලති. ඔවුහු ද සුව වෙති.

මේ කොරෝනා වෛරසය චීනයෙන් ඇරඹුන බව බොහෝ දෙනෙක් චෝදනා කළෝය. එයට චීන වෛරසය කියමින් චීනයට ඇඟිල්ල දිගු කරත් එහි පැතිරුණ වෛරසය B වර්ගයේ එකක් බව කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයෙන් කළ පරික්ෂණයක් මගින් පෙන්වා දී ඇත. මෙමගින් ඔවුන් ප්‍රකාශ කරන්නෙ ඇමරිකාවේ සහ ඕස්ට්‍රේලියාවේ ව්‍යාප්ත වූයේ A වර්ගයේ වෛරසයක් බවයි. එනම් ඇමරිකාවට සහ ඕස්ට්‍රේලියාවට චීනයේ පැතිරුණ B වර්ගය පැමිණ නැති බවත් ඇමරිකාවේ සහ ඕස්ට්‍රේලියාවේ ව්‍යාප්ත වුණු A වර්ගය චීනයේ පැතිරුණ B වර්ගයට පෙර ඇතිවූ එකක් බවත් පැහිදිලි වෙයි. එහෙත් ලෝකයේ ප්‍රධාන පෙලේ විශ්වවිද්‍යාලයකින් සිදුකළ ඒ පරික්ෂණ පිළිබඳ චෝදනා එල්ල වූ චීනයවත් ප්‍රසිද්ධියේ කතා කල බවක් පෙනෙන්නට නැත.

අප බටහිර ක්ෂණික කෑම රටාව කෙරෙහි තරමක් නැඹුරු වුවත්, රන්කිරි කටගෑම සහ රත කල්කෙන් ආරම්භවන රෝගවලට ඔරොත්තුදීමේ හැකියාව ඉහල නැංවීමේ අපේ ක්‍රම එදා තරම්ම නොවුනත් අද ද ක්‍රියාත්මක වෙයි. බටහිර ලෝකයා මේ රෝගයෙන් මියයෑම හමුවේ අපේ ශක්තියේ රහස ප්‍රතිශක්තිය ඉහළ නංවන ගුණයෙන් යුතු කුළු බඩු එදිනෙදා ආහාරයට එකතුකර ගැනීමත්, දුසිම් ගණනක් වන අල වර්ග, පලා වර්ග පාරිභෝජනයත්, අධ්‍යාත්මික ශක්තියත් බව අපට පසක් වෙයි. අපගේ සම්ප්‍රදායික ආහාර රටාවට තව තවත් සමීප වුවහොත් මෙම වසංගතය පාලනය කිරීම වැඩි ඈතක නොවන බව අපගේ විශ්වාසයයි. ඊට සමගාමීව අපගේ අධ්‍යාත්මය ශක්තිමත් කර ගැනීමට නිවැරදි සීලයේ පිහිටා භාවනා ආදි පිළිවෙත් පිරීම වැදගත්ය.

බටහිර විද්‍යාවේ අංගයක් වන විශ්ලේෂණය මගින් මෙම වෛරසයේ ස්භාවය, ප්‍රමාණය, සැකැස්ම, අන්තර්ගත කොටස්, ඒ වටා ලිපිඩ ආවරණයක් ඇති බවත් ආදී වශයෙන් විස්තර කරමින්, වෛරසය උෂ්ණත්වයට සහ අනෙකුත් පරිසර සාධක අනුව වෙනස් වන්නේ කෙසේද, ව්‍යාප්ත වන්නෙ කෙසේද ආදී මෙකී නොකී නොයෙකුත් දැනුම ඔවුනගේ ක්‍රමයට ලබාගෙන තිබුනත් මෙය ආසාදිත වූවන්ට ප්‍රතිකාර කිරීම හෝ ව්‍යාප්තිය පාලනය අසාර්තක වී තිබේ. එහෙත් විශ්ලේෂණය ඉතා අඩු දැනුම් පද්ධතියක් සහිත රටවල් මේ කිසිවක් නොදැන සිටියත් මේ වසංගතය බටහිරට වඩා සාර්ථකව පාලනයකර ඇත. සාමූහිකත්වයට මුල්තැන දුන්, විශ්ලේෂණය අඩු සංස්කෘතීන් තුල නූතනත්වයට පෙර පැවැති වසංගත තත්වයන් මීටත් වඩා සාර්ථකව පාලනය කර ඇති බව අපගේ විශ්වාසයයි. කෙසේ නමුත් කඩා වැටෙමින් තිබූ බටහිර විද්‍යාව කොරෝනාවෙන් ත්වරණයට ලක්කර ඇති බවත්, සම්ප්‍රදායික දේශීය දැනුම් පද්ධතියේ ශක්තිය තව තවත් තහවුරු වූ බවත් අපගේ හැඟීමයි.

එස්. ජයසුන්දර