History

Saturday, 12 December 2020

දහසක් ප්‍රතිකාර

 දහසක් ප්‍රතිකාර 


කොවිඩ් 19ට තවත් ප්‍රතිකාරයක් ගැන කියැවෙනවා. එය හොඳයි. මින් පෙරත් ආයුර්වේද පාරම්පරික ප්‍රතිකාර ගැන කියැවුණා. ඒත් ඒවා විවිධ හේතු නිසා යට ගියා. ඉන් ප්‍රධාන ම හේතුව වුණෙ ඒ ප්‍රතිකාර බටහිර විද්‍යාත්මක නැහැ කියන එක. කෑගල්ලේ ධම්මික වෙදමහතාගේ පැණියට මෙතරම් ප්‍රසිද්ධියක් ලැබුණේ වතුපිටිවල රෝහලේ කරන ලද සම්පරීක්‍ෂණයක දී එහි සාර්ථකත්වය තහවුරු වීම නිසයි. එසේ නොවන්නට ඒ ප්‍රතිකාරයත් යට යන්න තිබුණා.


බටහිර වෙදකම බටහිර විද්‍යාව කිව්ව ම විවිධ පඬියන් පඬි පෝතකයන් පඬි නැට්ටන් නගන චෝදනාවක් නම් බටහිර පෙරදිග කියා දැනුම් බෙදන්න බැහැ කියන එක. දැනුම කියන්නෙ එකක්ලු. එහෙත් ඕනෑම අයකුට පේන්න තියෙන දෙයක් තමයි බටහිර වෙදකම හා ආයුර්වේදය හරි චින වෙදකම හරි සිංහල පාරම්පරික වෙදකම අතර තියෙන වෙනස. ඇලොපති හා හෝමියෝපති වෙදකම් අතර තියෙන වෙනස. 


ඒ විතරක් නොවෙයි. බටහිර වෙදමහතුන් වෙනත් වෙදමහතුන්ට තම වෛද්‍ය සභාවේ ලියා පදිංචිය නො දීම. ඔය වෙදකම් අතර වෙනසක් නැත්නම් බටහිර වෙදමහතුනට හැරෙන්න අනෙක් වෙදමහතුනට ඔය මහේශාක්‍ය වෛද්‍ය සභාවේ ලියා පදිංචි වෙන්න බැරි ඇයි? ඒ විතරක් නොවෙයි. පාරම්පරික වෙදමහතුනට ආයුර්වේද වෛද්‍ය සභාවේ ලියා පදිංචි වීමේදීත් ප්‍රශ්න ඇති වෙනවා. මේ වෙදකම් අතර ඇති වෙනස්කම් හඳුනාගැනීමට සංකල්ප අවශ්‍යයයි. හැම දැනුමක් ම එකයි කියා එවැනි සංකල්ප අනවශ්‍යයයි කියන්න බැහැ. විවිධ සංස්කෘතීන් තියෙනවා. කවුරුන්වත් කියන්නෙ නැහැ ඔක්කොම සංස්කෘතීන් ඒ නිසා වර්ගීකරණයක් අවශ්‍ය නැහැ කියල. එහෙමත් නැත්නම් සභ්‍යත්ව වර්ගීකරණයක් අවශ්‍ය නැහැ කියල.


බටහිර ගණිතය,  අරාබි ගණිතය , වෛදික ගණිතය අතර වෙනස්කම් තියෙනවා. බටහිර ගණිතයේ ආරම්භය එක් පැත්තකින් ග්‍රීක ගණිතය, විශේෂයෙන් ම ග්‍රීක ජ්‍යාමිතිය. ග්‍රීක ජ්‍යාමිතියත් ග්‍රීකයන්ගේ ම වැඩක් නො වෙයි. ඔය ජ්‍යාමිතික කරුණු පැරණි මිසරයේ බැබිලෝනියාවේ තිබුණා. ඒ දැනුම ග්‍රීක චින්තනයට (ඇරිස්ටෝටලීය ද්විකෝටික න්‍යායට හා යම් වියුක්තයකට අවශෝෂණය කිරීම තමයි යුක්ලිඩ් හා අනෙක් ග්‍රීකයන් කෙළේ. ආරම්භය කුමක් වුවත් ඉන් පසු ග්‍රීක ජ්‍යාමිතිය වෙනත් දැනුම් පද්ධතියක්. වෛදිකයන් ත්‍රිකෝණමිතිය දැන හිටියත් වියුක්ත ජ්‍යාමිතියක් දැන හිටියේ නැහැ. විදුසර කියවපු අය මේ ගැන දන්නවා. අරාබින්ට එහෙමත් නැත්නම් බටහිර ආසියාවට දැනුම මූලික වශයෙන් ගියෙ භාරතයෙන්. බින්දුව ලෝකයට ම ගියෙ ලංකාවෙන්. හල් කිරීම තමයි සිංහලයන් බිංදුවට යොදා ගත් සංකේතය. ඒක සීගිරියෙ දකින්න පුළුවන්.  ත්‍රිකෝණමිතිය භාරතයෙන් අරාබියට ගිහින් ඉන්පසු බටහිරට ගියා. සයිනය කියන එක භාරතයෙ තිබුණෙ අර්ධජ්‍යා කියල. ඒක අරාබි උච්චාරණය හරහා තමයි බටහිරදි සයින් වුණේ. භාරතයෙ අර්ධජ්‍යා කියන එක සංයුක්තයි. බටහිර සයින් වියුක්තයි. අපේ ප්‍රවාද පළමු කොටසේ මේවා කියල තියෙනවා.


ඒ ඒ දැනුම් මුල කොහේ වුණත් අද වන විට පහළොස්වැනි සියවසෙන් පස්සෙ ඇති වුණු චින්තන විප්ලවයත් සමග ඒ දැනුම් ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චින්තනයෙ පදනම් වෙලා. අද බටහිර ත්‍රිකෝණමිතිය කියන්නෙ භාරතයෙ තිබුණු ත්‍රිකෝණමිතිය නො වෙයි. ග්‍රීක ඇරිස්ටෝටලීය න්‍යාය වගේ ම යුදෙවු වියුක්තයත් ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චින්තනයෙ අඩංගුයි. එය බටහිර චින්තනයක්. බටහිර ගණිතය, විද්‍යාව හා අනෙක් දැනුම් සංස්කරණය වෙන්නෙ ඒ චින්තනය පදනම් කරගෙන. වෙනත් චින්තන පදනම් කරගෙන වෙනත් සංස්කෘතීන්හි සංස්කරණය කෙරෙන දැනුම් තියෙනවා. තියෙන්නෙ එකම දැනුමයි කියන විට ඒ කියන්නෙ බටහිර ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චින්තනය මත පදනම් වෙච්ච දැනුම පමණක් තියෙනව කියන එක. අද සයිනය කියන සංකල්පයෙ අර්ධජ්‍යා හොයා ගන්න බැහැ. 


ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චින්තනය මත පදනම් වුණු දැනුමට තමයි අපි බටහිර දැනුම කියන්නෙ. බටහිර වෙදකමටත් ඒ වර්ගීකරණය ලැබෙන්නෙ ඒ අනුව. දැන් පඬියකුට කියන්න පුළුවන් බටහිර කියන එක සාපේක්‍ෂ කියල. ඇමරිකාව තියෙන්නෙ ජපානයට සාපේක්‍ෂව නැගෙනහිර කියල කියන්න පුළුවන්. ඒ වගේ ම තමයි ඇමරිකාව තියෙන්නෙ ජපානයට බටහිරින් කියල කියන්නත් පුළුවන් වෙන්නෙ. ජපානෙන් පටන් අරන් බටහිර පැත්තට තරමක් දුර ගියාමත් ඇමරිකාව හම්බවෙනවා. අර කොලම්බස් ඉන්දියාව හොයා ගෙන බටහිරට ගියා කියන්නෙ. බටහිර ඉන්දීය දුපත්වලට ඉන්දීය කතාවක් ආවෙ කොහොමද? 


ලෝකය ගෝලයක් වීම නිසා අපට අපේ දේශාංසකයෙ නැති ඕනෑම රටක් අපට සාපේක්‍ෂව බටහිර කියන්නත් පුළුවන් නැගෙනහිර නැත්නම් පෙරදිග කියන්නත් පුළුවන්. ඉතින් ඒ අවුලෙන් ගැලවෙන්න අද සම්මත බටහිරක් නියම කර ගෙන තියෙනවා. අද අපරන්තය බුදුහාමුදුරුවන්ගෙ හරි අශෝක රජුගෙ හරි කාලෙ සම්මුති අපරන්තය නො වෙයි. අද අපරන්තය වෙන්නෙ ඇමරිකානු මහාද්වීපය. ඒක සම්මුතියක් ඒ සම්මුතිය අනුව තමයි අප බටහිර විද්‍යාව බටහිර වෙදකම ගැන කතා කරන්නෙ. බටහිර දැනුම කියන්නෙ ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චින්තනය පදනම් කරමින් සංස්කරණය කෙරෙන දැනුම. 


ඒ දැනුම ලෝකයේ එකම දැනුම නොවෙයි. පුළුවන් නම් ලෝකයේ ඇත්තෙ එක ම දැනුම් පද්ධතියක් හා පද්ධතියක් පමණයි කියල පෙන්නන්න.  අපේ දැනුම් පද්ධතියෙහි එක ප්‍රතිකාරයක් කියල නැහැ. අනන්‍ය ප්‍රතිකාරයක් නැහැ. කොවිඩ් 19 රෝගීන්ට ප්‍රතිකාර (ඒ කුමක් ද යන්න වෙන ම කතා කරන්න ඕන) රාශියක් තියෙන්න පුළුවන්. ධම්මික වෙද මහතාගෙ පැණිය ඉන් එකක් පමණයි. තවත් ප්‍රතිකාර තියෙන්න පුළුවන් නොවෙයි තියෙන්න ඕන. ඒවා ප්‍රතිකාර ද නැද්ද කියල දැනගන්න තියෙන්නෙ එක ම එක ක්‍රමයක් පමණයි. අදාළ බෙහෙතෙන් රෝගීන් සුව වෙනව ද කියල බලන එක පමණයි. මොන සායනික නැහැසුම් කිවුවත් අවසානයේ දී බලන්නෙ රෝගීන් සුව වෙනව ද කියන එක මිසක් වෙන මහාප්‍රාණයක් නො වෙයි. ඒවට නියැදි තෝරා ගන්න විධි ආදිය තියෙන්න පුළුවන්. මේ සියල්ල අවසානයෙ දි බලන්නෙ හරියනව ද නැත් ද කියන එක. මොන ප්‍රමාණයකට හරියනව ද නැත් ද කියන එක. 


ලංකාවෙ ඒ ඒ ප්‍රදේශවල විවිධ ප්‍රතිකාර තියෙනව නම් රෝගීන් සුවපත් වෙනව නම් ඒ සියල්ලට ම අත දෙන්න ඕන. ඒ කියන්නෙ අප ඒ හැම බෙහෙතක් ම ගන්න ඕන කියන එක නො වෙයි. ඒ ඒ රෝගීන් තම විශ්වාස අනුව ඒ ඒ ප්‍රතිකාර ගනීවි. බටහිර වෙද මහතුනට වෙන වැඩක් නැත්නම් ඒ ප්‍රතිකාර පරීක්‍ෂා කෙරුවට කමක් නැහැ. ඒත් අපට ඒ පරීක්‍ෂණ වැඩක් නැහැ. අත්දකිමු ප්‍රත්‍යක්‍ෂ කර ගනිමු.