History

Monday, 14 December 2020

අක්‍රීය පළාත් සභා අහෝසි කරමු

 අක්‍රීය පළාත් සභා අහෝසි කරමු



අගමැති මහින්ද රාජපක්‍ෂ වැඩ දෙකක් ඉක්මන් කරන්න කියල. එකක් හොඳයි අනෙක අවශ්‍ය නැහැ. හොඳ කියල කිවුවත් වෙන කියන්න දෙයක් නැති නිසයි එසේ කියන්නෙ. ඒ අර ධම්මික වෙදමහතාගේ පැණිය පිළිබඳ මහාචාර්ය පරීක්‍ෂාව ඉක්මන් කරන්න කීම. ප්‍රමාදයට විවිධ හේතු  කියන බව මා දන්නවා. එයට වග කියන්න ඕනෙ වෙන කණ්ඩායමක් කියල කියනවා. ඒ වරද හදාගෙන පරීක්‍ෂාව ඉක්මණින් කරන්න කියල වෙන්න ඕනෙ කියන්නෙ.  මේ මහාචාර්යවරුන් සම්ම ජාතියේ ප්‍රතිකර්මයක් හඳුන්වාදුන් අය නො වෙයි. ඔවුන් කරන්නේ සායනික නැහැසුම් හරියට කෙරෙනවාද යන්න  සොයා බැලීම වෙන්න ඕන. කොහොමටත් හෙළ වෙදකමේ ප්‍රතිකාරයක් බටහිර වෙදකම අනුව පරීක්‍ෂා කිරීමෙන් පෙන්වන්නේ දැනුම් යටත්විජිතවාදයයි. මෙරට ඊනියා බටහිර දැනුම් විශේෂඥයකු වීම එතරම් අමාරු දෙයක් නො වෙයි. අන්තර්ජාලයට ගොස් තොරතුරු ලබා ගෙන ඒ සිංහලෙන් කීම පමණයි කරන්න තියෙන්නෙ. අර බ්‍රහස්පති සෙනසුරු අහසේ ළඟින් පෙනීම ගැන මේ දිනවල කෙරෙන කතාබහ ගැන සැලකිලිමත් වන්න. 


ජ්‍යෙතිෂයෙහි ඔය කතාව වෙන විධියකට කියනවා. මෙරට ජ්‍යොතිෂවේදීන් කරන්නෙත් බොහෝ විට බටහිර විශේ’ෂඥයන් වගේ ම ඉන්දියාවෙන් කරුණු ලබා ගැනීමක්. අපේ රටේ අයට ගණනය කිරීමට ක්‍රම තියෙනවා. ඒවා ඉන්දියාවෙන් ලබා ගත් දේ. මට ප්‍රශ්නයක් තියෙනවා. මියන්මාරයේ හා තායිලන්තයේ ඔය ගණනය කිරීම් ගැන සියවසකට පමණ එහා සඳහන් වී තිබෙනවා. ඒ ගණනය බටහිර ගණනයට වඩා හොඳය (නිවැරදිය) කියනවා. ඒත් දැන් ඒ යට ගිහිල්ල. අපටත් යටත්විජිතවාදයට පෙර වෙනත් ගණනය කිරීම් තිබුණ ද? මා තොරතුරු සොයන්නකු නො වෙයි. මේ තොරතුරු සොයන්නන්ට හොඳ ඉල්ලමක්. එහෙත් මේ දේ ගැන සොයා බැලීම් කෙරේ ද යන්න ගැන මට විශ්වාසයක් නැහැ. 


මුලින් ම ශූන්‍ය සඳහා සංකේතයක් (හල් කිරීම) යොදා ගත්තේ සිංහලයන් බවට කරුණු තිබේදැයි සොයා බලන්න කී විට කිසිවකු ඒ ගැන උනන්දුවක් දැක්වූයේ නැහැ. සීගිරියේ නම් ඒ සංකේතය තියෙන බව කියනවා. ශූන්‍ය සඳහා අද යොදන බිංදුව සංකේතය ගැන ඇති පැරණි ම සෙල් ලිපිය තියෙන්නේ කාම්බෝජයේ. එය හත්වැනි සියවසට අයත්. සීගිරියේ හල් කිරීම පස්වැනි සියවසේ. ශූන්‍යය බෞද්ධ නිර්මාණයක් වෙන්න ඕන. ඒත් ඒ ගැන අප හොයන්නෙ නැති නිසා වත්මන් ඉලක්කම් හින්දු අරාබි ලෙස හැඳින්වෙනවා. 


අගමැති ඉක්මන් කරන්න කියන දෙවැනි කරුණ ගැන තමයි මට වැඩිය කතා කරන්න ඕන. ඒ පළාත් සභා ඡන්ද පැවැත්වීම ගැන. අප මේ කරුණු කියන්නේ අගමැතිවත් ජනාධිපතිවත් ඒකාධිපතියන් නොවන බැවින් අනෙක් අයගේ අදහස්වලට සවන් දෙන නිසා. එහෙත් ඔවුන් වෙනත් අය කියන දේත් අසන්න ඕන. ඔවුන් අප කියන දේ පමණක් අසනවා නම් කිසි ප්‍රශ්නයක් නැහැ. මේ ආණ්ඩුව අප විසින් පමණක් පත් කරන ලද්දක් නො වෙයි. ඒ සඳහා විවිධ අය සහභාගි වෙලා තියෙනවා. පොහොට්ටු පළාත් සභා මන්ත්‍රීවරුනුත් ආණ්ඩුව පත් කර ගැනීමට කටයුතු කළා. සියල්ලන්ට කන් දී ඔවුන් තීරණයක් ගනීවි. අපේ වෑයම විය යුත්තේ අප කියන දේ හැකිතාක් හොඳින් කීමයි. මෙරට සිටින්නේ එක ම එක ෆැසිස්ට්වාදී දේශපාලනඥයකු පමණයි. මා එසේ කියන්නේ රාජපක්‍ෂලාට කඩේ යන්න නො වෙයි. ෆැසිස්ට්වාදියා බලයට පත් වුණොත් මෙරට ලේ විලක් වී අප නැවතත් යටත්විජිතයක් වේවි. එහෙත් ඔහුට බලයට ඒමට හැකියාවක් නැහැ.


පළාත් සභා ඉන්දු ලංකා ගිවිසුම මගින් ඇති කෙරුණක් නො වෙයි. ඉන්දු ලංකා ගිවිසුමේ පළාත් සභා පිහිටුවීම ගැන සඳහනක් නැහැ. එහි ඇත්තේ උතුරු හා නැගෙනහිර පළාත් සභා එක් කිරීමක් ගැන ඒ සම්බන්ධ ජනමත විචාරණයක් ආදිය ගැන. එසේ වුවත් පළාත් සභා මෙන් ම ඉන්දු ලංකා ගිවිසුමත් ඉන්දියාව අප මත බලයෙන් පැටවූ දේ. ඒ ගැන ඕනෑ තරම් ලියවිලා තියෙනවා. ඉන්දියාවට අප රටේ අභ්‍යන්තර ප්‍රශ්නයකට අත දාන්න ඉඩ දුන්නෙ ජේ ආර් ජයවර්ධන. 


අනෙක් අතට ඉන්දු ලංකා ගිවිසුම දින කිහිපයකින් ම අවලංගු වුණා.  ගිවිසුමට අනුව ඉනදියාව දින කිහිපයකින් කොටි සංවිධානය නිරායුධ කෙරිය යුතු ව තිබුණා. එහෙත් එය කෙරුණේ නැහැ. මාධ්‍ය සංදර්ශනයක් නම් පැවැත්වුණා. ගිවිසුමේ පොරාන්දු   ඉටු කිරීමට ඉන්දියාව අපොහොසත් විණි ය යන්නෙහි තේරුම ඉන්දු ලංකා ගිවිසුම අහෝසි වූ බවයි. අද ඉන්දු ලංකා ගිවිසුමක් නැහැ. ඉන්දියාවට නිල වශයෙන් ලංකාවේ ඊනියා දෙමළ ප්‍රශ්නයට මැදිහත් වන්නත් බැහැ. 


ඉන්දු ලංකා ගිවිසුමේ පළාත් සභා පිහිටුවීමක් ගැන සඳහන් නොවන බැවින් ඉන්දු ලංකා ගිවිසුම දැනටත් වලංගු කියා කිසිවකු තර්ක කළත්  පළාත් සභා ගැන කතා කිරීමට ඉන්දියාවට අයිතියක් නැහැ. පළාත් සභා ඉන්දියාව අප මත පැටවූයේ කිසිම ලියවිල්ලකටවත් එකඟ ව නො වෙයි. හුදෙක් බලය යෙදීමෙන්. චණ්ඩි කමෙන්. ගාන්ධිලාගේ කලාපීය ආධිපත්‍යය යෙදීමෙන්. පළාත් සභා අපට අවශ්‍ය වුණේ නැහැ. ඒ ඉන්දියාවේ ඊනියා විසඳුමක්. 


වසර කිහිපයක් පළාත් සභා ක්‍රියාත්මක වූ නමුත් සිදු වූ දෙයක් නැහැ. දැන් අවුරුදු තුනක පමණ කාලයක් ක්‍රියාත්මක නොවුණත් සිදු නොවුණු දෙයකුත් නැහැ. පළාත් සභාවලින් ඇති එක ම වැඩේ දේශපාලනඥයන් සිය ගණනකට රැකියා අවස්ථා සැපයීම පමණයි. ඇතැමුනට පාර්ලිමේන්තු යෑමට මගක් සකස් කිරීම පමණයි. දේශපාලනඥයන් සිය ගණනකට රැකියා සැපයීමට අප මෙතරම් මුදලක් කාබාසීනියා කළ යුතු ද? පළාත් සභා අවශ්‍ය ම යැයි කී උතුරේ පළාත් සභාවෙන් ඒ පළාතේ ජනයාගේ ජීවන තත්වය නගා සිටුවීමට කිසිවක් කර තියෙනවා ද? විග්නේස්වරන්ට මහ ඇමතිකමක් ලැබුණු බව හා පාර්ලිමේන්තු ඒමට මගක් පෑදුණු බව නම් ඇත්ත. 


මේ රටට නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමට දැන් සූදානම් වෙනවා. ඒ සඳහා පළමු පියවර ගෙන අවසන්. ජනතාව මේ ආණ්ඩුවට ව්‍යවස්ථා සම්පාදනයක් සඳහා අවශ්‍ය තුනෙන් දෙකේ බලයක් දී නැහැ. අද තුනෙන් දෙක ගැනීමට වෙනත් පක්‍ෂවල ආධාරය ගන්න වෙනවා. එය භයානයකයි. ඩීල් දේශපාලනයට මග පාදනවා. මේ ඩීල්ලන්තය බව අමතක කරන්න එප. මට නම් ඔය ව්‍යවස්ථාව ගැන දැඩි විශ්වාසයක් නැහැ.


ඒ කෙසේ වෙතත් ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලියට ආණ්ඩුව එළඹිලා. එවැනි අවස්ථාවක වැඩකට නැති පළාත් සභා අවුරුදු දෙකකට පමණ සක්‍රීය කිරීම කිසි ම තේරුමක් ඇති දෙයක් නො වෙයි. දහතුන්වැනි ව්‍යවස්ථා සංශෝධනයත් ඉන්දියාවේ අවශ්‍යතාවට ඇති කෙරුණක්. ඉන්දියාව අද දුර්වලයි. කොවිඩ් 19 එක හොඳක් තියෙන්නෙ කලාපීය හා ලෝක බලවතුන් දුර්වල වීම. අපත් දුර්වලයි කියා කාට හරි කියන්න පුළුවන්. ඒත් පොඩ්ඩන් දුර්වල වීමට වඩා ලොක්කන් දුර්වල වීම දැනෙනවා. 


අවුරුදු හතළිහක පමණ කාලයක් ඉන්දියාව අපට චණ්ඩිකම් පෙන්නල තියෙනවා. පරිප්පු දේශපාලනය නැවැත්වීමට කාලය එළඹිලා. දහතුන දැන් අහෝසියි. එය ඇත්තේ ව්‍යවස්ථාවෙහි පමණයි. පළාත් සභා අක්‍රිය වූ විට දහතුනක් ඇත්තේ කොහේ ද?   දහතුනක් නැති විට 13+ ත් නැහැ. එබැවින් 13+ පොරොන්දු වී තිබුණත් ඒ පොරොන්දුව දැන් ස්වයංක්‍රීය ව කඩ වෙලා. අක්‍රීය පළාත් සභා අහෝසි කරමු. පළාත් සභා ක්‍රියාත්මක කිරීමෙන් ඇතිවෙන ඊනියා ප්‍රජාතන්ත්‍රවාදයකුත් නැහැ.