History

Tuesday, 15 December 2020

සිංහල බුද්ධාගමේ නව පරිච්ඡෙදයකට පෙරවදනක්

 සිංහල බුද්ධාගමේ නව පරිච්ඡෙදයකට පෙරවදනක්


පඬියන් පඬි පෝතකයන් පඬි නැට්ටන් අතර ඉතා ජනප්‍රිය මාතෘකාවක් වී ඇත්තේ මගේ අසාර්ථකභාවයයි. ඔවුන් හිතන්නේ අවුරුදු තිස්පහක් පමණ තිස්සේ මා ඉදිරිපත් කර ඇති අලුත් අදහසක් නැති බවත් ඒ නිසා කිසිවකු මා සමග නැති බවත් ය. අප කාලය සඟරාව නැවත පළ කරන්නේ ඔවුන්ගේ මේ හිතළු අතරයි. කාලය ට එතරම් ප්‍රචාරයක් ලැබී නැති නමුත් එයට දැනටමත් ඉල්ලුමක් ඇත. පසුගිය දා කාලය මුහුණු පොත් පිටුවේ චම්පක ගැන පළ වූ ලිපිය පනස්දාහකට වැඩි පිරිසක් අතරට ගොස් ඇත. එයට ලැබී ඇති ප්‍රතිචාර (සංවිධානාත්ම ප්‍රතිචාර නොව කැමැත්ත පළ කිරීම් ආදිය) අනුව සියයට අසූවක් පමණ පිරිසක් ලිපියේ අදහස සමග ඇති බව පෙනී යනවා. චම්පකට ජනාධිපති වීමට නම් වෙනත් මගක් සොයා ගැනීමට වේවි. සමගි ජන බලවේගය හරහා නම් එය කර ගන්නට බැහැ. 


එහෙත් මේ ලිපියේ අරමුණ අප අදහස් අතින් තවත් පරිච්ඡෙදයකට යෑමට සූදානම් බව කීමයි. නාථ දෙවියන් පිළිබඳ කතාවෙන් ඇරඹුණු මනුෂ්‍ය නොවන ප්‍රාණීන්ගෙන් දැනුම ලබා ගත හැකිය යන්න අද සමාජගත වෙලා ඉවරයි. අප කියන්නේ එකල නාථ දෙවියන්ගෙන් ම ඒ දැනුම ලබා ගත් බව නො වෙයි. ඒ නාථ දේව මණ්ඩලයේ කිසිවකු වෙන්න ඕන. හාඩි මොනවා කිවුවත් තමා දැනුම ලබා ගත්තේ කාලි අම්මාගෙන් නැත්නම් කාලි දෙවඟනගෙන් (නාමගිරි දෙවඟන) බව රාමනුජන් ම කිහිප වතාවක් කියා තිබෙනවා. ධම්මික වෙදමහතාත් දැනුම ලබා ගන්නේ කාලි අම්මාගෙන් කියනවා. 


අප මේ දැනුම ආධ්‍යාත්මික ව ලබා ගන්නා දැනුමක් ලෙස හැඳින්වීම යම් දුරකට ඇතැමුන් නොමග යැවීමට සමත් වුණා කියලයි හිතන්න පුළුවන්. ආධ්‍යාත්මික කියන එක යම් ආකාරයක උසස් මනසක් සමග බැඳී තියෙනවා. මනසේ උසස් බව මැන ගන්නා ක්‍රමයක් අප වැනි සාමාන්‍ය මිනිසුන්ට නැතත් එහෙම උසස් මනස් තියෙනවා කියල අප විශ්වාස කරනවා. අවසානයේ දී හැම දෙයක් ම විශ්වාසයක් තමයි. එහෙත් අප කියන මේ දැනුම ලබා ගැනීමට යම් වෙනස් මනසක් අවශ්‍ය වුණත් සාමාන්‍යයෙන් කියන උසස් මනසක් අවශ්‍ය නැහැ. උදාහරණයක් ලෙස මේ දැනුම ලබා ගන්න ධ්‍යානලාභියකු විය යුතු නැහැ. රාමනුජන්වත් ධම්මික වෙද මහතාවත් ධ්‍යානලාභීන් කියා මා හිතන්නේ නැහැ. 


මේ දැනුම ආධ්‍යාත්මික දැනුමක් ලෙස හඳුන්වනවාට වඩා දැනට වචනයක් නොමැති බැවින් මනුෂ්‍ය නොවන ප්‍රාණීන්ගෙන් ලබා ගන්නා දැනුම ලෙස හඳුන්වන්න පුළුවන්. රාමනුජන් ගැන පොතක් ලියා තියෙනවා අනන්තය දත් මිනිහා (The man who knew infinity) කියා. එය චිත්‍රපටයකට නගා තියෙනවා. මා මෙය සඳහන් කරන්නේ මා පොත් කියවා ඇති බව හෝ චිත්‍රපට බලන බව පෙන්වීමට නො වෙයි. මා එතරම් පොත් කියවා නැහැ. රාමනුජන්ගේ අනන්තය සංයුක්ත අනන්තයක්. එය දෙවියන්ගෙන්, නාමගිරි දෙවඟනගෙන් ලබා ගත් අනන්තයක්. බටහිර ගණිතයේ අනන්තය වියුක්තයි. රාමනුජන් ලියා ඇති අනන්ත ශ්‍රේණි සාමාන්‍යයෙන් කියන විධියට මෙලෝ මිනිහෙකුට ලියන්න පුළුවන් හිතන්න පුළුවන් දේ නො වෙයි. 


දැනුම පිළිබඳ කතා කරන බොහෝ අය දැනුම කියන්නෙ මොකක් ද කියල නිර්වචනය කරන්නෙ නැහැ. බටහිර පොත්පත්වල දැනුම කියන්නෙ මොකක් ද කියල ලියල තියෙනවා. ඒ බොහොමයක් ලියල තියෙන්නෙ බටහිරයන් දන්න දේ දැනුම කියල කියන්න. අපි මෙහෙම අහමු. දැනුම කියන්නෙ මොකක් ද කියල ලියල තියෙන ඒවා දැනුම් ද? එහෙමත් නැත්නම් දැනුමේ නිර්වචනය දැනුමක් ද? අපි එය ස්වසිද්ධියක් (Axiom) ලෙස සලකනවා ද? ස්වසිද්ධි දැනුම් ද? ස්වසිද්ධි කියන්නෙ මොනවද කියල පඬි නැට්ටන්ට තේරෙනවා ද?


මොන දැනුමක් වුණත් අවසානයේ හිතිවිල්ලක්. එහෙමත් නැත්නම් හිතළුවක්. ඒ සමහර හිතළු වැඩ කරනවා. සමහර ඒවා නැහැ. වැඩ කරනවා කියන්නෙ අපේ පංචෙන්ද්‍රිය ගෝචර ලෝකවල හරියනවා. හරි නොගිය පමණින් අප හිතළුව අයින් කරන්නෙත් නැහැ. මනුෂ්‍ය නොවන ප්‍රාණීන් මගින් ලැබෙන්නෙත් හිතිවිලි. අප සන්නිවේදනය කරන්නේ හිතිවිලි. හිතළු. මට හිතෙන දෙයින් කොටසක් තමයි මා කියන්නෙ. ඒ කොටස වෙනත් අයකු හිතෙන් නැත්නම් මනසෙන් ගන්නවා. එහෙත් ගන්නේ නිකම් ම නො වෙයි. තමන් කරන සංස්කරණයක් (නිර්මාණයක්) ලෙස. ධම්මික වෙද මහතා කියන විධියට කාලි අම්මා ඔහුට බෙහෙතක් දී තියෙනවා. අපට තියෙන්නෙ ඒක වැඩ කරනවා ද කියල බලන්න. ඒකට බටහිර වෙදකමේ ක්‍රම යොදා ගන්න ඕන නැහැ. පොඩි කාරණයක්. ඔය පරීක්‍ෂා සඳහා මීයන් වැනි සතුන් මැරෙන්න අරින එක හොඳ ද? අලි පෙරහෑරේ ගෙනියන විට විතරද සත්ව හිංසාව ඇති වෙන්නෙ. සත්ව අයිතිවාසිකම් සඳහා මීයන් පොඩි වැඩි ද?


රාමනුජන්ට තමාගේ ම වූ හිතිවිලිත් තියෙන්න ඇති. අර 1729 කියන සංඛ්‍යාව සංඛ්‍යා දෙකක ඝනවල එකතුව ලෙස දෙආකාරයකට ලියන්න පුළුවන් අවම සංඛ්‍යාව කියන එක සමහර විට ඔහුගේ ම අදහසක් හිතිවිල්ලක් වෙන්න පුළුවන්. එයට පසුබිම් වූ කතාවක් තියෙනවා. රාමනුජන් රෝහලේ හිටිය විටක හාඩි ඔහු බැලීමට ගොස් තියෙනවා. හාඩි කියා තියෙනවා තමා පැමිණි කුලී රියේ අංකය 1729 බවත් එය සිත්ගන්නා සුළු බවක් නැති බවත්. එවිට රාමනුජන් කියා තිබෙනවා නැහැ එය ඉතාමත් සිත් ගන්නා සුළු එකක් බවත් එයට ඉහත සඳහන් ගුණය ඇති බවත්. 1729 = 10*3 + 9*3 = 12*3 + 1*3 . මෙය පඬි නැට්ටකුට වුණත් තේරුම් ගන්න පුළුවන්. ඒත් ඒක අප බොහෝ දෙනකුට හිතෙන්නෙ නැහැ. ඒක තමයි ප්‍රශ්නය. 


අර යොන් මැරීම කතාව. රාමනුජන්ට ඒ ප්‍රශ්නය කිසිවකු යොමු කරාද කියා මා දන්නේ නැහැ. රාමනුජන් වර්ධනය කරපු සංකල්පයක් තියෙනවා නිඛිලයක විභාගය (partition of an integer) කියල. එයින් කියන්නෙ පූර්ණ සංඛ්‍යාවක් සංඛ්‍යාවල එකතු ලෙස ලියන්න පුළුවන් විධි. උදාහරණයකට 4 ලියන්න පුළුවන් 4, 3+1, 2+2, 2+1+1, 1+1+1+1. මෙයත් පඬි නැට්ටකුට වුණත් තේරෙනව. මේ විභාගය හා යොන් මැරිල්ල අතර සම්බන්ධයක් තියෙනව ද? මා දන්නෙ නැහැ. සම්බන්ධයක් තියෙනව නම් හොඳයි. නැත්නම් වෙන අතක් බලා ගමු. මට නම් දැන් බැහැ. පනුවන් කන සාම පරෙවියන් බලන්න තියෙනවා.


මා මුලින් කිවුව පරිච්ඡෙද කතාව මේක නො වෙයි. ඒ කතාව පස්සෙ කියන්න ඕන. මේ කතාව පූර්විකාවක් පමණයි. පඬි නැට්ටන්ට මේවයින් වැඩක් නැහැ. ඔවුන්ට පුළුවන් වමාරන්න විතරයි. හිතන්න බැහැ.