History

Thursday, 3 December 2020

පොල් වැටීම හා ගුරුත්වාකර්ෂණය

 පොල් වැටීම හා ගුරුත්වාකර්ෂණය 


ප්‍රබුද්ධ මාක්ස්වාදී ද්‍රව්‍යවාදියකු මට කියා තිබුණා ගුරුත්වාකර්ෂණය කියන එක පට්ටපල් බොරුවක් නම් මියන්මාරයෙ සිට ආපසු එන විට ගුවන් යානයෙන් බිමට පනින්න කියා. ඔය වගේ කතා කාලෝ ෆොන්සේකා වැනි වියතුනුත් කියා තිබෙනව. ඒ් කතාවල ප්‍රබුද්ධත්වය ගැන මට හොඳ වැටහීමක් තියෙනවා.  ඒත් මට මෙතන දි පොඩි ප්‍රශ්නයක් ඇති වුණා. ගුවන් යානයේ දොර හරි හදිසි දොරක් හරි ඇර ගන්නෙ කොහොමද කියන එක. ගුවන් සේවකයකු හරි සේවිකාවක හරි මට ආධාර කරයි ද? ගුවන් යානයේ නියමුවා කුමක් කියාවි ද?  


මෙරට පමණක් නොව බොහෝ රටවල බටහිර විද්‍යාඥයන් ඇතුළු බොහෝ අය හිතන් ඉන්නෙ ගුරුත්වාකර්ෂණය කියල එකක් තියෙනව කියල. බොහෝ බටහිර විද්‍යාඥයන් ද හිතන්නෙ අයින්ස්ටයින් තම සාධාරණ (පඬි නැට්ටකු කිවුවෙ මහා කියලා) සාපේක්‍ෂතාවාදයෙන් කෙරුවෙ ගුරුත්වාකර්ෂණය කියන දේ තේරුම් කිරීම කියල.  එවැන්නන්ට  පවා ඒ අදහස කා වැදිලා තියෙනවා. අපට ඒ අදහස ලැබෙන්නෙ බටහිරයන්ගෙන්. මෙරට ඉන්න පඬියන්ට පඬි පෝතකයන්ට හා පඬි නැට්ටන්ට ගුරුත්වාකර්ෂණය ඇත්තට ම තියෙන දෙයක් ලෙස වැටහී යෑම පුදුමයක් නො වෙයි. 


මා කොහොම හරි ගුවන් යානයේ දොරක් ඇරගෙන පැන්නොත් බිමට වැටෙනවා. ඒක තමයි අපි දකින දේ. එහෙමත් නැත්නම් නිරීක්‍ෂණය කරන දේ. ඒක පංචෙන්ද්‍රිය ගේචර අත්දැකීමක්. පංචෙන්ද්‍රිය ගෝචර කියල කියන්න අපි පුරුදු වෙලා හිටියට ඒ අත්දැකීම් ෂඩේන්ද්‍රියයි. මනස, එහෙමත් නැත්නම් මනේන්ද්‍රිය නැතිව ඔය කිසිම දෙයක් අත්දකින්න බැහැ. මනේන්ද්‍රිය නැතිව පංචෙන්ද්‍රිය ගෝචර නොවුණට පංචෙන්ද්‍රිය නැතිව මනේන්ද්‍රිය ගෝචර වෙන්න පුළුවන්. ඒකෙත් කොටස් දෙකක් තියෙනවා. එක් වර්ගයක් අපට හිතෙන් මවා ගන්න පුළුවන්. අනෙක් වර්ගය හිතෙන් මවා ගන්න බැහැ. 


හිතෙන් මවා ගැනීමට යම් කිසි ආකාරයකින් පංචෙන්ද්‍රිය අවශ්‍ය වෙනවා. මවා ගන්නවා කියන එකේ තේරුම ම එයයි. හිරු දෙවියන් අර කරත්තෙ නැගල මීන රාශියෙන් මේෂ රාශීයට යනවා අප හිතෙන් මවා ගන්න පුළුවන් අප ඒ දැක නැති වුණත්. ඒ වුණත් කිසිවකුටවත් යුක්ලීඩ්ටවත් සරල රේඛාවක් හිතෙන් මවා ගන්න බැහැ. එහෙම හිතෙන් මවා ගන්න පුළුවන් වුණා නම් යුක්ලීඩ් සරල රේඛා ගැන කතා කරන්නෙත්් නැහැ. 


1665 දි මේ කාලෙ වගේ ම වසංගතයක් පැතිරිල තිබුණු කාලෙක කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලය වසා තිබුණු විට එවකට විසිදෙවැනි වැනි වියේ පසු වුණු නිවුටන්  ලින්කන්ෂයර් නැත්නම් ලින්කන් කෝරළයේ පිහිටි තම ගමට ගියා. ඔහුට ගැටළුවක් තිබුණා. ඇයි වස්තු, ඇපල් වැනි දේ බිමට වැටෙන්නෙ කියන එක.   ගෙදර හිටිය නිවුටන්ට, අර ඇපල් ගෙඩිය ඔළුවට වැටිල හරි නැතුව හරි නිවුටන්ට හිතළුවක් ලැබුණා. ඒ තමයි යම් බලයකින් වස්තු පොළොවට ඇද ගන්නව කියන එක.


ඒක තමයි ගුරුත්වාකර්ෂණ බලය කියල නම් කෙරුණෙ. ඒත් ඒ බලය ක්‍ෂණික ව විශ්වයේ ඕනෑම තැනක ඇති වස්තුවක් තවත් ඕනෑම වස්තුවකට යොදනව කියල නිවුටන් කිවුව. ඔහු ඒ බලය ක්‍රියා කිරීම සඳහා කඹයක් පොල්ලක් වැනි දෙයක් පෙන්නුවෙ නැහැ. ඒක ක්‍ෂණිකව ඕනෑම ඈතක ක්‍රියා කරන බලයක්. 


මෙතන තේරුම් ගන්න තියෙන මූලික ම දෙය ඇපල් පොළොවට වැටෙන එක තමයි මිනිසුන් දකින්නෙ. ඒත් ඒක හැමෝට ම ප්‍රශ්නයක් වෙන්නෙ නැහැ. ඇපල් ගෙඩිය කනවා මිසක් ඇයි ඒක වැටුනෙ කොහොමද වැටුනෙ කියල මිනිසුන් ප්‍රශ්න කරන්නෙ නැහැ. ඊනියා හේතු හොයන්නෙ  නැහැ. නිවුටන්ට තමයි ඒක ගැටළුවක් වුණෙ. නිවුටන් ඒ ගැටළුවට දීපු උත්තරේ තමයි ගුරුත්වාකර්ෂණ බලය. 


ගුරුත්වාකර්ෂණ බලය පන්චෙන්ද්‍රිය ගෝචර නැහැ. ඒක මනේන්ද්‍රියට ගෝචරයි. ඒත් හිතෙන් මවා ගන්න බැහැ. සරල රේඛාවක් වගේ. පඬි නැට්ටන්ට නම් පුළුවන් ඇති ඔය හැම දෙයක් ම හිතෙන් මවා ගන්න. ඒත් අනෙක් අයට නම් බැහැ. සරල රේඛාව මනසට ගෝචරයි. ඒත් ඒක හිතෙන් මවා ගන්න බැහැ. මනසට ගෝචර නිසා තමයි අප ඒක ගැන කියවන්නෙ.  ගුරුත්වාකර්ඃණ බලයත් එහෙමයි. ඒක හිතෙන් මවා ගන්න බැහැ. 


මෙතන බොහෝ දෙනකුට ප්‍රශ්නය වෙන්නෙ ඇපල් නැත්නම් පොල් වැටෙන්නෙ මොකද කියන ප්‍රශ්නයට නිවුටන් දීපු උත්තරේ ඇත්තට ම තියෙනව කියල හිතන එක. පොල් වැටෙනව කියන්නෙ එකක්. ගුරුත්වාකර්ෂණ බලය කියන්නෙ ඇපල් වැටීම නො වෙයි. ඕන නම් පොල් වැටෙන්නෙ ඇයි ද හරි කොහොම ද හරි කියන එකට නිවුටන් දුන්න උත්තරේ. නිරීක්‍ෂණය පොල් වැටීම මිසක් ගුරුත්වාකර්ෂණ බලයක් නො වෙයි. පොල් වැටීම එකක්. ගුරුත්වාකර්ෂණ බලය තවත් එකක්. 


කාලීන උදාහරණයක් ගමු. කොවිඩ් 19 කියල රෝගයක් තියෙනවා. ඒක හැදෙන්නෙ වයිරසයක් නිසා කියල කියනව. වයිරසය කතාවක් පමණයි. දැන් කවුරු හරි කියනව ද වයිරසයයි කොවිඩ් 19යි එක ම කියා. කොවිඩ් 19 රෝගයට වෛරසයක් කියල කියනවා ද? පොල් වැටෙන එකට ගුරුත්වාකර්ෂණය කියල කියනවා ද? ඒ වුණාට අවුරුදු දෙසියයක කාලයක්  මිනිසුන්, ඒ කියන්නෙ බටහිරයන් පුරුද වුණා ඇපල් වැටීම හා ගුරුත්වාකර්ෂණය එකක් හැටියට හඳුන ගන්න. ඇපල් වැටෙන්නෙ ගුරුත්වාකර්ෂණය නිසා කියල කියනව වෙනුවට ඇපල් වැටෙනව කියන එක හා ගුරුත්වාකර්ෂණය බලය කියන එක එකක් හැටියට දකින්න මිනිසුන් පුරූදු වුණා. ඇපල් වැටෙන කොට මිනිසුන් ගුරුත්වාකර්ෂණයක් දකිනවා කියල හිතන්න පුරුදු වුණා. හිතන්න පුරුදු වුණාට දැක්කෙ නැහැ. දකින්නත් බැහැ. 


මා කොහොම හරි ගුවන් යානයෙන් පැන්නොත් මට පොළොව පෙනේවි. පොළොවට වැටෙනව දැනේවි. එලොව පොල් පෙනේවි. ඒත් ගුරුත්වාකර්ෂණයක් පේන්නෙ නැහැ. ගුරුත්වාකර්ෂණය නිවුටන්ගෙ හිතළුවක් පමණයි. පොල් වැටෙන්නෙ ඇයි කියන ගැටළුවට අයින්ස්ටයින් නිවුටන්ට අවුරුදු දෙසිය පනහකට පමණ පස්සෙ වෙනින් හිතළුවක් කිවුව. ඒ අවකාශ කාල වක්‍රතාව. පොල් වැටෙන කොට කාටවත් අවකාශ කාල වක්‍රතාවක් දැනෙන්නෙ නැහැ. 


අවකාශ කාල වක්‍රතාව කියන්නෙ ගුරුත්වාකර්ෂණය තේරුම් කර දීමක් නො වෙයි. ඒ දෙක ම පොල් වැටෙන්නෙ ඇයි කියන එකට ඇති හිතළු දෙකක් පමණයි. අද අඳුරු ද්‍රව්‍යය කියන එක ගුරුත්වාකර්ෂණයට තේරෙන්නෙ නැහැ. අවකාශ කාල වක්‍රතාවට තේරෙයි ද?