History

Friday, 4 December 2020

කොපර්නිකස් හා ගැලීලියෝ නිවුටන්ට කළ හදිය

 

කොපර්නිකස් හා ගැලීලියෝ නිවුටන්ට කළ හදිය

 

පැබ්ලෝවාදී හතරවැනි ජාත්‍යන්තරයෙන් නව සමසමාජ  පක්‍ෂය අස් කෙරිලා. ඒ ගැන ට්‍රොට්ස්කිවාදීන් කිහිප දෙනකුට හැර චරිත කාරියවසම් කියන තුම්මුල්ලේ ජාත්‍යන්තරවාදීන්ටවත් වැඩක් නැහැ. ඒත් මා දැන් සතියකට වැඩි කාලයක් තිස්සේ ඒ ගැන ලියන්න ඉන්නෙ. ඒ ඊනියා ජාත්‍යන්තරයෙ තියෙන වෑැදගත්කම ගැන වචනයක් දෙකක් කියන්නෙ. චරිත කාරියවසම්ගෙ අය නම් තුම්මුල්ලෙන් එහාට ජාත්‍යන්තරයක් ගැන හිතන්නෙ නැහැ. ඊනියා ජාත්‍යන්තරය කෙතරම් වැදගත් වුණත් මා අදත් ලියන්නෙ නිවුටන් ගැන. පසුව අර පැණිය නිර්දේශ කරන වෙදමහතා (ඔහු වෙදමහතකු තමයි. අපේ සංස්කෘතියෙ වඩු මහතකුට වෙදමහතකු වෙන්න පුළුවන්) ගැනත් ලියන්න ඕන. දැනට බටහිර වෙදමහතුන් ඒ වෙදමහතාගේ පැණිය පරීක්‍ෂා කරන්න ඊනියා විද්‍යාත්මක විධික්‍රම සිතා බලනවා. අපි ඔවුන්ට ඉඩ දීල ඉන්නවා.

 

සමහරු අහල තිබුණ පොල් වැටෙන්නෙ මොකක් හින්ද ද කියල. කර්ම ශක්තිය නිසා ද කියලත් අහල තිබුණ. මා ඔය ප්‍රශ්නයට හුඟක් ඉස්සර පිළිතුරක් දීල ඇති. පොල් වැටෙන්නෙ පොල් ගාන්න. සමහරු අහනව පොල් උඩට යන්නෙ නැත්තෙ මොකද කියල. ඒ දෙවියන් පොල් ගාන්නෙ නැති නිසා. දැන් මේ නිදහස් අධ්‍යාපනයෙන් පස්සෙ පොල් වැටෙන්නෙ ඇයි කියන ප්‍රශ්නය අහන්න හැමෝම වගේ ඉදිරිපත් වුණත් ඒ අයගෙ ආචිචිල සීයලට ඒක ප්‍රශ්නයක් වුණෙ නැහැ. මිනිසුන් ප්‍රශ්න අහන්නෙත් යම් සංස්කෘතියක. සිංහල බෞද්ධ පැරැන්නන්ට පොල් වැටෙන්නෙ ඇයි ද කියන එක ප්‍රශ්නයක් වුණෙ නැහැ. ඒ වගේ ප්‍රශ්නවලට සිංහල බෞද්ධ සංස්කෘතියෙ උත්තරත් නැහැ. ඒක නිසා තමයි සිංහල බෞද්ධ සංස්කෘතියෙන් ප්‍රවාදාත්මක විද්‍යාඥයන් බිහි නොවන්නෙ.

 

මා කිහිප වතාවක් ම කියා ඇති ඇමරිකානු වැසියන්ට ඉංගිරිසින් හැම එකට ම හේතු හෙවීම පුදුමයක් වුණා කියල. ඇමරිකානු වැසියන් තම සංස්කෘතියෙ යම් යම් ප්‍රශ්න අහන්න ඇති. එහෙත් ඒ වියුක්ත ප්‍රශ්න නම් වෙන්න බැහැ. සිංහල බෞද්ධයනුත් වියුක්ත ප්‍රශ්න ඇහුවෙවත් වියුක්ත උත්තර දුන්නෙවත් නැහැ. අපි ප්‍රශ්න නෑහුව නොවෙයි. අපි ඇහුවෙ සංයුක්ත ප්‍රශ්න. අපි ඒවට සංයුක්ත උත්තරත් දුන්න, නැත්නම් සංයුක්ත උත්තර සංස්කරණය කළා.

 

මා කලින් දවසක පොත් කිහිපයක් ගැන සඳහන් කළා. ඇරිස්ටෝටල්ගෙ පොත, පරණ තෙස්තමේන්තුව, කොන්ෆියුෂියස්ගෙ (කුං ෆූචි) පොත, තාඕගෙ පොත හා මහාවංසය. තවත් එවැනි පොත් දෙකක් තමයි මහා භාරතය හා රාමායණය. වෛදික සභ්‍යත්වය ගොඩනැගිල තියෙන්නෙ ඒ පොත් දෙක මත පදනම් වෙලා. ඒ පොත්වලත් වියුක්ත කතා දකින්න පුළුවන්. මහාවංසයෙ එහෙම වියුක්ත කතා නැහැ. ඒක ලියල තියෙන්නෙ හුදී ජන පහන් සංවේගය සඳහා. මහාවංසය මියන්මාරයෙ සිට කාම්බෝජය දක්වා රටවල බලපෑම් ඇති කර තියෙනවා.

 

ඇරිස්ටෝටල්ගෙ පොතයි පරණ තෙස්තමේනතුවයි එකතු වී අලුත් තෙස්තමේන්තුවත් ඇඳා ගෙන පහළොස්වැනි සියවසේ ක්‍රිස්තියානි අදහස් සමග තමයි අලුත් චින්තනයක් ඇති වුණෙ. මාටින් ලූතර්ටත් දහසයවැනි සියවසේ බලපෑවෙ ඒ අදහස්. ගැලීලියො මිය ගියෙ 1642 දි. නිවුටන් උපන්නෙ 1643 ජනවාරියෙ දී (පරණ දින දර්ශනය අනුව නම් 1642 දි). ගැලීලියො මොනව ද කෙළෙ. ඔහු ඊනියා පර්යේෂණාත්මක ක්‍රමයෙ පියා ලෙස හඳුන්වනවා.

 

පහළොස්වැනි සියවසට පෙර පැවති චින්තනය හා පසු චින්තනය අතර තියෙන එක වැදගත් වෙනසක් නම් දෙවියන් වහන්සේ ගැන තිබූ ආකල්පය. දෙවියන් වහන්සේ ලෝකය මවපු එක සම්බන්ධ අවධාරණයෙ වෙනසක් වෙලා තියෙනවා. පහළොස්වැනි සියවසට පෙර වැඩි අවධාරණයක් කෙරුණෙ පොළොවට. පොළොවෙ තමයි ආදම් ඒව මැවුවෙ. මිනිසා හා පොළොව වටා තමයි සියල්ල කරකැවුණෙ. සූූර්යයා පොළොව වටා ගමන් කළා. මේ සුසමාදර්ශය සාමාන්‍යයෙන් භූකේන්ද්‍රිය සුසමාදර්ශය (geocentric paradigm) ලෙස හැඳින්වෙනවා.

 

එහෙත් වෛදිකයන්ට සූර්යකේන්ද්‍රවාදයකුත් තිබුණා. එය අරාබින් මගින් යුරෝපයට විශේෂයෙන් නැගෙනහිර යුරෝපයට ගියා. කොපර්නිකස් පෝලන්තයෙ හිටිය කතෝලික පූජකවරයෙක්. ඔහු සූර්යකේන්ද්‍රවාදය රෝමයට ගෙන ගියා. 1543 දි තමයි ඔහු සූර්යකේන්ද්‍රවාදය පළ කෙළෙ. මෙය ඉතා වැදගත් සුසමාදර්ශී වෙනසක්. දෙවියන්වහන්සේ පොළොවෙන් ඉවත්වීමක් වගේ දෙයක්. අවධාරණය පොළොවෙන් සෞර්යග්‍රහ මණ්ඩලයට මාරු වුණා. 1564 ඉතාලියේ උපන් ගැලීලියෝට එය බලපෑවා. ගැලීලියෝ 1610 දි තම දුරේක්‍ෂ මගින් කළ නිරීක්‍ෂණ පළ කළා. ඔහු සූර්යකේන්ද්‍රවාදයට ප්‍රචාරය දුන්නා.

 

ගැලීලියෝ නිවැරදි ප්‍රතිඵල නැතිවත් පෙන්නුුවෙ පොළොවෙ නිරීක්‍ෂණ සහ ග්‍රහවස්තුවල නිරීක්‍ෂණ එකම මට්ටමක තිබෙන බව. ඒ අර පොළොවට තිබූ සුවිශේෂත්වය නැති කිරීමක්. මේ තමයි එක් අතකින් ඊනියා සර්වත්‍ර දැනුමක ආරම්භය. දෙවියන් වහන්සේ සංකල්පීය වශයෙන් සර්වත්‍ර වීම. භූකේන්ද්‍රවාදීි දෙවියන්වහන්සේ කෙනකු ගැන විශ්වාස කළ කතෝලික පල්ලිය ගැලීලියෝ කී දේ අනුමත කෙළේ නැහැ.

 

1643 දී උපන් නිවුටන්ට ගැලීලියෝ බලපෑවා. නිවුටන් සර්වත්‍ර නියම (universal laws) ගැන කිවුවා. ඔහුගේ චලිත නියම සර්වත්‍රයි. එමෙන් ම ගුරුත්වාකර්ෂණය ද සර්වත්‍රයි. මේ සර්වත්‍ර  බව නිසා ගුරුත්වාකර්ෂණ නියමය හා අදාළ බල ග්‍රහවස්තුවලට ද යොදන්න වුණා. එහෙත් නිවුටන්ගේ සර්වත්‍ර ගුරුත්වාකර්ෂණය ග්‍රහවස්තුවලට වැඩ කෙළේ නැහැ. එතන තමයි ප්‍රශ්නය පටන් ගත්තෙ. 

 

සමහරු හිතන විධියට ගුරුත්වාකර්ෂණය සංසිද්ධියක්. ගුරුත්වාකර්ෂණය කියල එකක් තියෙනවා. පොල් වැටෙන්නෙ ඒ නිසා. පොල් උඩට යන්නෙ නැත්තෙ ඒ නිසා. එහෙම නම් ගුරුත්වාකර්ෂණය තියෙන නිසා අර සර්වත්‍ර කතාවත් එක්ක ග්‍රහවස්තු සූර්යයා වටා අචල ඉලිප්සවල යන්න ඕන. නිවුටන්ගෙ ගුරුත්වාකර්ෂණය නියමය යොදල ග්‍රහවස්තුවල චලිතයට අවකල සම්කරණ ලිව්ව ම ලැබෙන විසඳූම අචල ඉලිප්ස. එය ප්‍රවාදයෙන් ම නියමයෙන් ම ලැබෙන්නක්. අර පඬි නැට්ටකු කී ආකාරයට එය සහායක හරි ආරම්භක හරි අවශ්‍යතා ප්‍රශ්නයක් නිසා ඇති වන්නක් නො වෙයි.

 

ගුරුත්වාකර්ෂණය කියල එකක් තියෙනව නම් එය සංසිද්ධියක් නම් ග්‍රහවස්තු සූර්යයා වටා ගුරුත්වාකර්ෂණයට අනුව යන්න ඕන. අචල ඉලිප්සවල යන්න ඕන. මොන අචල ද ඉලිප්ස කැරකෙනවා.   

 

ඒ කියන්නෙ ගුරුත්වාකර්ෂණය සංසිද්ධියක් නො වෙයි. ග්‍රහවස්තු ඉලිප්සවල යනව. ඒත් ඒවා අචල නැහැ. ඉලිප්සයත් කැරකෙනවා. ගුරුත්වාකර්ෂණය කියන්නෙ පොල් වැටෙන්නෙ ඇයි ද කියන එකට නිවුටන්ගෙ හිතළුව, උත්තරේ. ඒත් කොපර්නිකස්ගෙන් පස්සෙ පොළොවට පොල් වැටෙන්නෙ ඇයි කියල කිවුවට මදි. එලොව පොල් ගැනත් කියන්න ඕන.  ග්‍රහවස්තු යන පාරත් (පථයත්)  විස්තර කරන්න ඕන. ගුරුත්වාකර්ෂණයට  ඒක කරන්න බැහැ. මදැයි කොපර්නිකස් හා ගැලීලියෝ නිසා නිවුටන්ට වෙච්ච හදිය.





කහපාටින් දැක්වෙන්නෙ සූර්යයා. නිල් පාටින් දැක්වෙන්නෙ පොළොව. අනෙක වෙනත් ග්‍රහවස්තුවක්. සූර්යයා වටා යෑම හා පොළොව වටා යෑම රූප සටහනින් නිරුපනය වෙනවා. පොළොව වටා යන කොට (පොළොවට සාපේක්‍ෂ) වක්‍ර වීමක් සිදුවෙනවා. සුසමාදර්ශ දෙකක වෙනස .