History

Wednesday, 3 February 2021

සිංහල සංස්කෘතිකාංග ඉවත් කර බෝන් අගේන් කිරීම

 

සිංහල සංස්කෘතිකාංග ඉවත් කර බෝන් අගේන් කිරීම

 

අද සමාජයේ බෝන් අගේන් ගැන යම් සංවාදයක් ඇතැම් ජාතිකවාදීන් අතර තියෙනවා. විශේෂයෙන් ම වික්ටර් රත්නායකට කටහඬ නැවත ලබාදීම හා ක්‍රිකට් කණ්ඩායමේ බෝන් අගේන් අතිරික්තය මෙයට හේතු වී තිබෙනවා. මේ දෙක දෙකක් වගේ පෙණුනත් එකම දෙයක්, එහෙත් දෙවිධියකට ක්‍රියාත්මක වන දෙයක් කියලයි පේන්න තියෙන්නෙ. බෝන් අගේන් කියන්නෙ එක්සත් රාජ්‍යවල බිහි වුණු ආගමික නිකායක්. එය ක්‍රිස්තියානි නිකායක්. එහි ඇත්තේ යළි ඉපදීමක්. ක්‍රිසතුස් වහන්සේ නැත්නම් දෙවියන් වහන්සේ තුළින් යළි ඉපදීමක්. එය අර්ථකථනයක්. මෙහි දී නොකියාම බැරි යළි උපන්නෙමිත් ගණිකාවකගෙන් යළි ඉපදීමක්.

 

යළි උපන්නෙමි මනස්පුතෙක්ගෙ කතාවක් කියල ගුණදාස අමරසේකර ම පස්සෙ කාලෙක කිවුව. ඒ පොත ම වෙනත් පොතක යළි ඉපදීමක් කියලත් සමහරු කිවුව. සරච්චන්ද්‍ර ඒ පොතට නොබෙල් තෑග්ග දෙන්න වටිනව කියලත් කිවුව කියනවා. ඒ කොහොම වුණත් යළි ඉපදීම කියන්නෙ අර්කථනයක් මිස පුනබ්භවයක් නො වෙයි. අමරසේකර පුනබ්භවය විශ්වාස කරන්නෙ නැති බුද්ධිමතෙක්.

 

ක්‍රිකට් කණ්ඩායම ගැන නම් විවිධ කතා පැතිරෙනවා. පාණදුරේ පැත්තෙ බෞද්ධ පවුල්වල ඉපදුණු ක්‍රිකට් ක්‍රීඩකයන් කිහිප දෙනකු යළි ඉපදී  පාසල් හා ජාතික ක්‍රිකට් කණ්ඩායම්වලට ක්‍රීඩා කළ බවත් ආරංචියි. එය මුසාවක් වෙන්න බැරි නැහැ. ඒත් බෝන් අගේන් කතා එවැනි වාසියක් සමග සම්බන්ධයි. වාසිය මුදල් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් තනතුරක් වෙන්න පුළුවන්. මේ සඳහා මුදල් වියදම් කරන්න අර එක්සත් රාජ්‍යවල බෝන් අගේන් අය සූදානමින් ඉන්නවා කියනවා.

 

තනතුරක් මුදලක් වෙනුවෙන් ආගමක් වෙනස් කිරීම ටිකක් ඈතට යනවා. පෘතුගීසි කාලෙ කතෝලික වුණු බෞද්ධයන් ලන්දේසි කාලෙ රෙපරමාදු වීමත් ඉංගිරිසි කාලෙ ඒ පරම්පරාවෙ ම අය ඇංග්ලිකන් කිස්තියානි වීමත් ගැන උදාහරණ අපේ සමාජයේ තියෙනවා. ඒ හැම තැනක දී ම කොහොම වෙතත් ඇතැම් තැන්වල දි කියන්න ඇත්තෙ තනතුර (වාසිය) නිසා නොව විශ්වාසය නිසා පරිවර්තනය සිදු වූ බව.

 

එහි දී විශ්වාසය කියන්නෙ දෙවියන් කෙරෙහි වූ විශ්වාසය. දෙවියන් ඉන්න බවට තියෙන විශ්වාසය. ඒ කියන්නෙ පැවැත්මක් ගැන ඇති විශ්වාසය. මෙය දෙවියන් වහන්සේට විතරක් නොවෙයි හැම එකකට ම හරියනවා. පැවැත්මක් ගැන ඇත්තෙ විශ්වාසයක් මිස අනෙකක් නො වෙයි. මම කියල එක්කෙනෙක් ඉන්න බව, පවතින බව මට විශ්වාසයි. මෙතන මේසයක් තියෙනව කියනවා. ඒක විශ්වාසයක්. කළු කුහර විශ්වයේ තියෙනවා කියනවා ඒක විශ්වාසයක්. මනස කියල එකක් තියෙනවා කියනවා. ඒක විශ්වාසයක්. නිවන කියල එකක් තියෙනවා කියන්නෙ නැහැ. එතැන විශ්වාසයක් නැහැ. නිවන සම්මාබෝධ වෙනවා. නිවන සම්මාබෝධ වෙන එකක් කිවුවත් වැරදියි. නිවන සම්මාබෝධ වෙන දෙයක් නො වෙයි.

 

මා මේසය දෙවියන් මිනිසුන් ආදිය විශ්වාස කරන්නෙ සම්මුතියෙන්. සම්මුතිය කියන්නෙත් විශ්වාසයක්. මා කළු කුහර ගැන නම් සම්මුතියෙන්වත් විශ්වාස කරන්නෙ නැහැ. මා විද්‍යාඥයකු නො වෙයි. අපේ රටේ විද්‍යාඥයන් දහස් ගණනක් ඉන්නවා. කළු කුහරයක් ඇතුළට යන අංශුවකට වෙන්නෙ කුමක් ද කියල ඒ අය දන්නවා ද? එහෙම නැත්නම් මොනව වෙයි ද කියල ද විශ්වාස කරන්නෙ. ඒ වෙනත් විශ්වයකට යනවා ද? වෙනත් විශ්වයක් නිරීක්‍ෂණය කරන්න බැහැ. බටහිර විද්‍යාවෙ නිරීක්‍ෂණය කරන්න බැරි දේ ගොඩක් ගැන කියවෙනවා. අර නිවුටන්ගෙ අවසථිති සමුද්දේශ රාමුවලින් ම පටන් ගනිමු. ආනුභවික (empirical)  විද්‍යාවක් කියල කියන්නෙ අහවල් දේකට ද කියල කියන්න පුළුවන් ද?

 

කළු කුහරයක් කියන්නෙ මොකක් ද? ඔය විද්‍යාඥයකුට පුළුවන්ද මට ඒක කියල දෙන්න. පහුගිය දවස්වල කළු කුහරයක පින්තූරත් අරගෙන කිවුවෙ. විිද්‍යාඥයකු නොවූ මා දන්න කළු කුහරය නම් පාපන්දුවක් වගේ එකක්. ඇතුළෙ මොකුත් නැහැ. අලිය ගිල්ල දිවුල් ගෙඩිය වගේ. එහෙත් වෙනසක් තියෙනවා. පාපන්දුවෙ ද්‍රව්‍යමය පෘෂ්ඨයක් , මතුපිටක්, තියෙනවා. ඒත් කළු කුහරයෙ එහෙම එකක් නැහැ. කළු කුහරයක සිද්ධි ක්‍ෂිතිජයක් (event horizon)  එකක් තියෙනවා. අංශුවක් එතැනින් එහාට ගියොත් ආයෙ ඒමක් නැහැ. ඒක වෙනත් විශ්වයක තමයි මතුවෙන්න ඕන. මෙතන තව පොඩි කතාවක් තියෙනවා. අර සිද්ධි ක්‍ෂිතිජය, පාපන්දුවෙ මතුපිට වගේ දෙය පේන්නෙත් නැහැ. හෝකින් විකිරණයෙන් එන අංශු එන්නෙ ඔය සිද්ධි ක්‍ෂතිජයෙන් මෙපිට ඉඳන්. මේ තමයි මා දන්න කළු කුහර සම්මුතියෙන් බිඳක්. මා එය විශ්වාස කරන්නෙ නැහැ. 

 

දෙවියන් ගැන සම්මුතියෙන් විශ්වාස කිරීම මට ප්‍රශ්නයක් නො වෙයි. මා මා ගැන විශ්වාස කරන්නෙත් සම්මුතියෙන්. සම්‍යක්දෘෂ්ඨික දෙවියන් වගේ ම මිථ්‍යාදෘෂ්ඨික දෙවියනුත් ඉන්නවා. ඒ සියල්ල සම්මුතියෙන් බව අවධාරණය කරන්න ඕන. මේ දෙවියන් එක්ක සන්නිවෙදනය කරන්න පුළුවන් මනුෂ්‍ය ප්‍රාණීනුත් ඉන්නවා. මට බැහැ. ඒක නිසා මා එහෙම අය නැහැ කියල කියන්නෙ නැහැ. මට බැරි හුඟක් දේ කරන අය ඉන්නවා.

 

මිථ්‍යාදෘෂ්ඨික දෙවියන් කියල කියන දෙවිවරුන්ගෙනුත් දැනුම ලබා ගන්න පුළුවන්. ඔවුන්ගෙන් ප්‍රතිකාර ගන්නත් පුළුවන්. මා එය විශ්වාස කරනවා. මා කලිනුත් කියා ඇති පරිදි බයිබලයේත් කුරානයේත් තියෙන්නෙ ඇතැමුන් මිථ්‍යාදෘෂ්ඨික දෙවියන් යැයි කියන  අයගෙන් ලත් දැනුම. එහෙම දැනුම සන්නිවේදනය කරන දෙවියකු එක්කො තමන් එක ම දෙවියන් වහන්සේ කියල කියන්න පුළුවන්. එහෙමත් නැත්නම් දෙවියන් වහන්සේ කෙනකු ගැන කියන්න පුළුවන්. එවිට පරස්පරයක් ඇති වෙන්නෙ ඒ සන්නිවේදක දෙවියන් එක ම දෙවියන් වහන්සේ කෙනකු ගැන කිවුවොත්. අනෙක් අතට එක ම දෙවියන් වහන්සේ ලෝක මැවුම්කාර දෙවියන් වහන්සේ කියා අර්ථදැක්වුවොත්, නිර්වචනය කළොත් ඒත් ප්‍රශ්නයක් වෙන්නෙ නැහැ. ආභස්සර බ්‍රහ්ම ලෝකයෙන් පැමිණි ප්‍රථමයා තමන් ලෝකය මැවූ බ්‍රහ්මයා කියා හිතන බවට කතාවක් තියෙනවා.  

 

බෝන් අගේන් ක්‍රිස්තියානියෙහි කියැවෙන දෙවියන් වහන්සේ වික්ටර් රත්නායකට නැවත කටහඬ ලබා දුන්න ද කියල මා දන්නෙ නැහැ. එහෙත් එහෙම දෙයක් වෙන්න පුළුවන් කියල මා විශ්වාස කරනවා. මට ඒ සඳහා ලෝක නිර්මාපක දෙවියන් වහන්සේ කෙනකු ඉන්නවා කියා විශ්වාස කරන්න අවශ්‍ය නැහැ. මා විශ්වාස කරන්නෙ ඇතැම් රෝග සුව කළ හැකි මනුෂ්‍ය නොවන ප්‍රාණීන් ඉන්න පුළුවන් බව පමණයි. එවැනි විශ්වාසයක් ඇති මා පට්ටපල් මෝඩයකු වන්න පුළුවන්, විහිළු කාරයකු නැත්නම් තරුණයන් කියන විධියට ජෝකරයකු මැන්ටලයකු වෙන්න පුළුවන්.  මට ඒක ප්‍රශ්නයක් නො වෙයි. 

 

ඒ සුව කිරීම් අතිශය පෞද්ගලික ඒවා. එසේ සුව කරන්නාට ලෝකයේ ඉන්න අනෙක් රෝගීන් සුව කරන්න බැරි ඇයි ද කියා ඇසීම තේරුමක් නැහැ. සුව කරන්නා හා සුවය ලබන්නා අතර ඇති වන යම්කිසි මානසික බැඳීමක් නිසා එලෙස සුව කරන්න පුළුවන් කියා මා විශ්වාස කරනවා. මෙය ධම්මික වෙද මහතාගේ පැණිය සමග පටලවා ගන්න එපා. ධම්මික වෙද මහතා මනුෂ්‍ය නොවන ප්‍රාණියකුගෙන් යම් ප්‍රතිකාරයක් පිළිබඳ දැනුමක් ලබාගෙන තියෙනවා. එහි දී මානසික බැඳීම ඇති වන්නේ රෝගියා හා සුව කරන්නා අතර නොව වෙද මහතා හා දැනුම ලබා දෙන්නා අතරයි.

 

මේ පෞද්ගලික මානසික බැඳීම් ගැන කතා ඉතිහාසය පුරා දකින්න පුළුවන්. මට ඔය කිසිම මනුෂ්‍ය නොවන ප්‍රණියකු සමග මානසික බැඳීමක් නැහැ. එහෙත් මට බැරි නිසා අනෙක් අයට ද බැරිය කියා මා විශ්වාස කරන්නේ නැහැ. මෙවැනි බැඳීම් ගැන මා කතා කරන්න පටන් ගත්තේ ධම්මික වෙද මහතාගේ පැණියෙන් පසුවවත් ප්‍රියන්තා සේනානායක මහත්මියගේ ආසනික්  කතාවෙන් පසුවවත් නොවෙයි. එහෙත් එසේ කතා කිරීමට පටන් ගත් වකවානුව ගැන නිශ්චිත ව කියන්න තරම් මතකයක් මට නැහැ.

 

වික්ටර් රත්නායකට නැවත කටහඬ ලබා දුන්නේ බටහිර වෙද මහත්වරුන් ද බෝන් අගේන් දෙවියන් වහන්සේ ද කියන්න තරම් හැදෑරීමක් මා කර නැහැ. මේ පිටුපස මුදල් ගණුදෙනුවක් තියෙනවා ද කියන එකත් මා දන්නේ නැහැ. බෝන් අගේන් ක්‍රිස්තියානීන් බෞද්ධයන් පමණක් නොව හින්දූන් හා කතෝලිකයන් ද    තම ආගමට හරවා ගන්නවා. එහි දී මුදල් ගණුදෙනු ද සිදුවනවා. වික්ටර් රත්නායක දැන් බෝන් අගේන් ආගමිකයකු ද කියන්න මා දන්නේ නැහැ. මට දැනගන්න ඕන කමකුත් නැහැ.

 

එහෙත් මට ප්‍රශ්න කිහිපයක් තියෙනවා. ධම්මික වෙද මහතාගේ පැණියට විරුද්ධව විද්‍යාත්මක අවි අමෝරාගත් පඬියන්, පඬි පෝතකයන්, පඬි නැට්ටන් හා ඔවුන්ගේ ස්ත්‍රී ලිංගිකයන්  බෝන් අගේන් සුව කිරීමක් යැයි කියූ වික්ටර් රත්නායක සුව කිරීමට විරුද්ධ වුණෙ නැත්තෙ ඇයි? එය විද්‍යාත්මක නිසා ද? දෙවියන් වහන්සේ සම්‍යක්දෘෂ්ඨික නිසා ද? වෙනත් හේතුවක් නිසා ද? බෝන් අගේන් කතාවට විරුද්ධ වුණේ ජාතිකවාදීන් යැයි කිව හැකි අය. කාලෝ ෆොන්සේකාත් ගිණි පෑගීමට විරුද්ධ ව විද්‍යාත්මක බයිලා කී නමුත් දේවගැතිවරුන් කළ සුව කිරීම් අභියෝගයට ලක් කෙළේ නැහැ.

 

අද සමාජයේ පේන්න තියෙන දෙයක් නම් සිංහල බුද්ධාගම හා සම්බන්ධ ඊනියා මිථ්‍යාවලට පහරදීම. ඒ පිළිබඳ විශ්වාසය නැති කිරීම. ශාන්තිකර්ම,ගම්මඩු ආදිය අද ඇත්තේ සංස්කෘතික සංකේත ලෙස පමණයි. ඒ ගැන ඊනියා සමාජවිද්‍යාත්මක පරීක්‍ෂණ නම් කෙරී තිබෙනවා. අද ගම්මඩුවක් දහඅට සන්නියක් බලා ආතලයක් ගන්න පුළුවන්. එය සංස්කෘතියෙන් පිට තියෙන සංස්කෘතික සංකේතයක් පමණයි.

 

සිංහල බුද්ධාගමේ රෝග සුව කිරීම් සම්බන්ධ සිරිත්වලට පහර ගසා ඉවත් කිරීමෙන් පසු සිංහල බෞද්ධයන් ඊනියා විද්‍යාඥයන් වනු ඇතැයි යැයි සිතීම මුළාවක්. ඔවුන් බටහිර වෙදකම නොවන සුව කිරීම් ගැන තියෙන විශ්වාසය නැති කර ගන්නේ නැහැ. එවිට තම සංස්කෘතියෙන් ඉවත් කෙරුණු රෝග සුව කිරීම් වෙනුවට වෙනත් එවැනි සුව කිරීම් වෙත ජනතාව යොමු වෙනවා. ඔවුන් බෝන් අගේන් සුව කිරීම් වැනි දේට ඇදී යනවා. අවසානයේ දී ඔවුන් ආගමික වශයෙන් බෝන් අගේන් ක්‍රිස්තියානින් වෙන්නත් පුළුවන්. සිංහල ජාතිකවාදීන් මේ ගැන හිත යොමු කරනවා නම් හොඳයි. පඬියන්ගේ ඊනියා විද්‍යාත්මක විවේචන සිංහල බෞද්ධයන් බෝන් අගේන් ක්‍රිස්තියානින් වැන්නන් කිරීම සඳහාත් ද යන ප්‍රශ්නය අහන්න වෙනවා.