History

Thursday, 4 February 2021

නිදහස ගැන වචනයක්

 නිදහස ගැන වචනයක්


අද අපේ නිදහස් දවස. එ වුනාට තාමත් මේ රටේ තියෙන්නෙ බටහිර අධ්‍යාපනය, බටහිර නීතිය, බටහිර ජනමාධ්‍ය හා තවත් එවැනි දේ. අලි මදිවට හරක් කීව වගේ ඊනියා රාජ්‍ය නොවන ආයතනත් තියෙනවා. සමහරු කියනවා පෙබරවාරි 4 වැනිදා කියන්නෙ අයිවෝර් ජෙනිංග්ස්ගෙ භාර්යාවගෙ උපන් දිනය කියල. මට ඒක නිච්චියට ම හොයා ගන්න බැරි වුණා. කොහොමටත් ජෙනිංග්ස් ඉංගිරිසින් වෙනුවෙන් මහා සේවයක් කළ අයෙක්. ඔහු පසු කලෙක කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයෙහි ත්‍රිත්ව විිද්‍යාලයෙහි අධිපති ලෙසත් කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ උපකුලපති ලෙසත් සේවය කර තියෙනවා. ඉංගිරිසි රජු ඔහු තමන්ට කළ සේවය වෙනුවෙන් නයිට් පදවියකින් පුදල තියෙනවා. 


ඔහු හතළිස්අටේ ව්‍යවස්ථාව සකස් කළ තැනැත්ත. ඔහු නේපාලයේ හා මලයාවේ ව්‍යවස්ථා සම්පාදන මණ්ඩලවලත් උපදේශකවරයකු ව ඉඳලා තියෙනවා. නේරුගේ අදහස වෙලා තිබුණා ඉන්දීය ව්‍යවස්ථාවත් ඔහු ලවා සම්පාදනය කරවන්න. එහෙත් මහත්මා ගාන්ධිගේ විරෝධත්වය නිසා ඒ වැඩේ අම්බෙඩ්කාර්ට පවරලා. කොයි හැටි වෙතත් විශ්වවිද්‍යාල ආයතනයෙ අවසාන විදුහල්පති ලෙසත් ලංකා විශ්වවිද්‍යාලයේ පළමු උපකුලපති ලෙසත් විශ්වවිද්‍යාලය පේරාදෙණියට ගෙන යෑමේ පුරෝගාමියකු ලෙසත් ජෙනිංග්ස් මෙරටට කර ඇති අනර්ථය අධිකයි. අදත් අපි ඔහුගෙ වැඩ නිසා බැට කනවා. ඔහු කොළඹ කාන්තා විද්‍යාලයෙහි උත්සවයක දි ලංකාව සංස්කෘතික කාන්තාරයක් බවට කී කතාවකුත් තියෙනවා. ඒකත් මට තහවුරු කර ගන්න බැරි වුණා.


අපට නිදහස තියෙන්නෙ බොහෝ විට බටහිරට අවශ්‍ය ප්‍රමාණයට කටයුතු කරන්න. අප කොහොමත් යම් යම් සම්මුතීන්වලින් බැඳිල ඉන්නවා. උදාහරණයක් හැටියට තානාපතිවරුන් බැඳිල ඉන්නවා වියනා සම්මුතියෙන්. ඒ අනුව තානාපතිවරුන්ට තමන් ගිහින් ඉන්න රටේ අභ්‍යන්තර කටයුතුවලට ඇඟිලි ගහන්න බැහැ. එහෙත් අපේ රටවල ඉන්න බටහිර තානාපතිවරු අපේ රටවල කටයුතුවලට සෘජු ව ම මැදිහත් වෙනවා. අර රජ්ජුරුවන්ගෙ අඹ ගහේ අඹ අනෙක් අයට කඩන්න බැරි වුණාට රජ්ජුරුවන්ට බැරි නැහැ කියන කතාව මෙහි දී මතක් වෙනවා.


ඊයේ මා දැක්කා මුහුණු පොතේ මව්රට කියල වෙබ් අඩවියක මියන්මාරයේ පෙළපාලි යන හාමුදුරුවරුන්ට හමුදාව පහර දෙන වීඩියේ පළ කරල තිබුණා. පසුගිය සඳුදා සිට අද වන තුරුත් මියන්මාරයේ එහෙම දෙයක් වෙලා නැහැ. ඒ විඩියෝව 2007ට පෙර හමුදා ආණ්ඩුව කාලෙ ගිය පෙළපාලියක් ගැන. මා දන්නේ නැහැ අල්ජසීරා පුවත්පතේ ඊයේ පෙරේදා ඒ පුවත පළ වුණා ද කියා. එහෙත් මෙරට වෙබ් අඩවිවල ඒ වීඩියෝව පළ කරන අය බෞද්ධ ද කියා මා දන්නේ නැහැ. බෞද්ධයන්ට හිතවත් කම පෙන්වමින් මුසා පළ කරන්නේ ඇයි ද කියන එක ලංකාණ්ඩුව සොයා බලන්න ඕන. මේ වෙබ් අඩවිවලට මුසා පළ කිරීමේ නිදහස තියෙනවා.


එහෙත් අපට කොරෝනා හැදුනොත් අපට වුවමනා බෙගෙහතක් ගන්න බැහැ. අප තවමත් පාලනය වන්නෙ ඉංගිරිසින්ගෙ 1898 හෝ ඒ ආසන්න කාලයක හෝ නිරෝධායන රෙගුලාසිවලින්. අපට කොරෝනා හැදුණොත් ඒ රෙගුලාසි අනුව බටහිර වෙදකම් කර ගන්නවාට වඩා දෙයක් කරන්න බැහැ. ඒත් බටහිර වෙදකමට කොරෝනාවට බෙහෙත් නැහැ. පාරම්පරික හරි ආයුර්වේද හරි වෙදකමේ ප්‍රතිකාර තියෙනවා. එහෙත් අපට කොරෝනා හැදුණොත් ඒ ප්‍රතිකාර ගන්න බැහැ. මේක තමයි නිදහස. අද පාරම්පරික වෙදමහතුනට තමන්ගේම වෛද්‍ය සභාවක ලියා පදිංචි වීමේ නිදහස නැහැ. ඔවුන් ද ආයුර්වේද  වෛද්‍ය සභාවේ ලියා පදිංචි වෙන්න ඕන. 

  

මා පසුගිය දිනවල ධම්මික වෙද මහතාගේ පැණිය මියන්මාරයට ගෙන්වා ගැනීමට උත්සාහ කළා. එහෙත් රේගුව එයට ඉඩ දෙන්නේ නැති බව විදේශ අමාත්‍යාංශයෙන් දැන ගන්න ලැබුණා. රේගුවේ රෙගුලාසිය මොකක් ද කියන්න මා දන්නේ නැහැ. බටහිරයන්ගෙ නීති රීති රෙගුලාසි වැඩ කරන්නෙ ඔවුන්ගෙ පද්ධතිය තියා ගන්න මිසක් වෙන දේකට නො වෙයි. කංසා වැවීම පිළිබඳ නීතිය සලකන්න. කංසා පාරම්පරික වෙදකමට අවශ්‍යයි. ඉංගිරිසින් ඒ වැවීම තහනම් කළා. අදත් ඒ තහනම ඒ ආකාරයෙන් ම පවතිනවා. අපට ඉංගිරිසි නීතිය වෙනස් කිරීමට තබා අපට වුවමනා ආකාරයකට සංශෝධනය කිරීමටවත් නොහැකි වී තිබෙනවා. 


මා කියන්නේ 1948 දී අපට කිසිම නිදහසක් නොලැබුණු බව නො වෙයි. අප 1972 දී ඒ නිදහස තවත් වැඩි කර ගෙන බිරිතානි රාජ්‍යත්වයෙන් මිදුණා. එහෙත් අපට  දිනාගැනීමට තවත් බොහෝ දේ තියෙනවා. විශේෂයෙන් ම සංස්කෘතික හා දැනුම් ක්‍ෂෙත්‍රයෙහි නිදහස. අප ඒ නිදහස දිනාගත යුතුයි. එහෙත් එය එක් රැයකින් දිනාගන්න පුළුවන් දෙයක් නොවෙයි. එය දේශපාලන නිදහස දිනාගැනීමට වඩා අමාරුයි.


දේශපාලන නිදහස ආර්ථික නිදහස ආදිය නැති වුණා ම තේරුම් ගන්න අපහසුවක් නැහැ. එහෙත් සංස්කෘතික හා දැනුම පිළිබඳ නිදහස නැති වූ විට එය තේරුම් ගැනීමටත් කල් යනවා. බටහිරයන් ලෝකයට දී ඇති ප්‍රධාන ම දැනුම ලෝකයේ තියෙන්නේ එක ම දැනුම් පද්ධතියක් පමණක් බව. පෙරදිග සංගීතය අපරදිග සංගීතය අතර ඇති වෙනස හඳුනාගන්නා අයටත් පෙරදිග දැනුම හා බටහිර දැනුම අතර ඇති වෙනස හඳුනාගන්න බැහැ. බටහිරයන් අපට කියන්නේ දැනුම ක්‍රමයෙන් දියුණු වන බවක්. ඇහුවොත් කියාවි පෙරදිග වෙදකම දියුණු වීමෙන් තමයි බටහිර වෙදකම ඇති වී තියෙන්නෙ කියා. එහෙම එකක් නැහැ. පෙරදිග සමහර දැනුම් බටහිරයන් තම චින්තනයට අවශෝෂණය කරගෙන තියෙනවා. එය වෙන ම කරුණක්. අපි අපේ චින්තනය මත අපේ දැනුම සකස් කර ගන්න ඕන. ඒකට ජෙනිංග්ස්ගෙ නිදහසෙන් හරි විශ්වවිද්‍යාලයෙන් හරි කෙරෙන්නෙ බාධාවක් පමණයි.