History

Friday, 5 February 2021

මතවාදයේ ජයග්‍රහණය

 මතවාදයේ ජයග්‍රහණය 


මංගල සමරවීරට අනුව ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපති කිරීම පසු පස සිටි මතවාදය අසමත් වෙලා. ඔහු අනුව යන පඬියන් පඬි නැට්ටන් ආදීන් මාතොට කාලයේ සිට ම හිටියා. විවිධ කාලවල දී ඔවුන් අතර වෙනස්කම් තියෙන්න ඇති. ඒත් පොදුවේ ගත්තම ඔවුන් සියල්ලන්ට ම තියෙන්නෙ ජාතිකත්ව විරුද්ධ මතවාදයක්. ඒක තමයි මහා පොදු සාධකය. එය සිංහල බෞද්ධ විරෝධී මතවාදයක්. ඔවුන්ට විඳ දරාගන්න බැරි දේ තමයි ජාතිකත්ව මතවාදය රටේ තහවුරු වීම. 


ඒ තහවුරු වීම විඳ දරා ගන්න බැරි ව ඔවුන් ජාතිකත්ව මතවාදයේ පරාජය ප්‍රාර්ථනා කරනවා. ඔවුන් ඒ ගැන සිහින දකිනවා. සිහිනෙන් දොඩවනවා ජාතිකත්ව මතවාදය ඉවරයි පරාදයි කියල. මංගල සමරවීර අවුරුදු තිහකට පමණ පෙර රතන හිමියන් හා චම්පක සමග රටවැසි පෙරමුණ නමින් සංවිධානයක් අටවා ගත්තා. මේ සංවිධානයේ අරමුණ වුණෙ රට බෙදීම. එකල හරි ඒ ආසන්නයේ හරි චම්පකලා කොටින්ට විරුද්ධ ව හමුදා මෙහෙයුම් එපා යන තේරුම දෙන පෝසටර ඇලෙවුවා. අනූහතරෙ මැතිවරණයෙ දි චම්පකලා මාතර ගිහින් පැල් බැඳගෙන මංගලට වැඩ කළා. 


ඔවුන්ටත් වික්ටර් අයිවන් රාජිත සෙනෙවිරත්න ආදී ජාතිකත්ව මතවාදයකට විරුද්ධ අයට අවශ්‍ය වුණෙ චන්ද්‍රිකාගමනයක්. ඔවුන්ට වඩා, ලංඩනයේ රස්තියාදු වෙමින් සිටි චන්ද්‍රිකා ලංකාවට එවීමට, බටහිරයන්ට විශේෂයෙන් ම එංගලන්තයට අවශ්‍ය වී තිබුණා. ඒ අනූවේ දශකයේ මුල. එකල ජනාධිපති ආර් ප්‍රේමදාස. දෙමළ ජාතිවාදය කියන්නෙ සම්පූර්ණයෙන් ම වගේ ඉංගිරිසින්ගෙ නිර්මාණයක්. ඉතිරි ටික ලන්දේසින්ගෙ. රට බෙදීම තමයි ඔවුන්ගෙ අරමුණ. ඔවුන් ක්‍රමයෙන් තේරුම් ගත් දෙයක් වුණෙ එ ජා පක්‍ෂය ප්‍රමුඛ ආණ්ඩුවකින් රට බෙදන්න මූලික පියවරක් ලෙස සංධීය හරි සහසංධීය හරි රාජ්‍යයක් පිහිටුවීමට නොහැකි බව. එවැන්නක් උත්සාහ කළ විගස මෙරට ජාතික බලවේග ශ්‍රී ල නි පක්‍ෂය වටා රොක් වී විරුද්ධ වෙනවා. 


බටහිරයන්ගේ උපාය වුණෙ බණ්ඩාරනායක මහතාගෙ දුව චන්ද්‍රිකා ශ්‍රී ල නි ප නායිකාව බවට පත්කර ශ්‍රී ල නි පක්‍ෂය මගින් සංධීය රාජ්‍යයක් බිහි කිරීම. චන්ද්‍රිකා මෙරටට පිටත් කර එවුවෙ ඒ සඳහා. ශ්‍රී ල නි පක්‍ෂය ම සංධීය රාජ්‍යයක් ඇති කරන්න යන විට එයට විරුද්ධ ව ක්‍රියා කරන්න පිරිසක් නැති වේවි ය යන්න බටහිරයන් සිතූ දේ. එහෙත් මේ උපාය අප කල් තියා දුටුවා. අප චන්ද්‍රිකාට විරුද්ධ ව සංවිධානය වුණා. අප ම එ පෙරමුණ සමග එකතු වී 1994 මැතිවරණයට වෙන ම ඉදිරිපත් වුණා.   


ඒ වුණත් ජනතාවට තිබුණෙ එ ජා ප ශාපය පැරදවීමේ වුවමනාව. ඔවුන් චන්ද්‍රිකා කවුද කියන එක අනූවෙ දශකයෙ මුල දැන ගත්තෙ නැහැ. චන්ද්‍රිකා සිංහල බෞද්ධ විරෝධියකු බව දැන ගන්නට බොහෝ සිංහල ජාතිකත්ව මතවාදීනට අවුරුදු පහළොවක් පමණ ගියා. ඒ කාලයෙහි චන්ද්‍රිකාල මංගලලා පමණක් නොවෙයි ජී එල්ලාත් සුදු නෙළුම් අරගෙන අවලම් තවලම් ගියා. 


බටහිරයන්ට තමන්ගෙ සැලසුම් වරදින බව මුල දි තේරුම් ගන්න බැරි වුණා. එ ජා පක්‍ෂයට විතරක් නොවෙයි බොහෝ පක්‍ෂවලට තියෙන්නෙ බලයට පත් වීමේ වුවමනාව. බටහිරයන් නොහිතූ ආකාරයකට චන්ද්‍රිකා - මංගල - ජී එල් පැකේජයට එ ජා ප විරුද්ධ වුණා! ජාතික බලවේග හැටියට එදා දේශප්‍රේමි භික්‍ෂු පෙරමුණ, රුහුණු රට භික්‍ෂු පෙරමීණ, චින්තන පර්ෂදය සංවිධානය කළ පා ගමන් රිය පෙරහැර මුහුදු යාත්‍රා ආදියට එ ජා ප හිතවතුන් සහභාගි වුණා. ඔවුන්ට අවශ්‍ය වුණෙ චන්ද්‍රිකා පැරදවීම. 


අප සංවිධාන මූලික ව ඇති කළ ජාතික ඒකාබද්ධ කමිටුවටත් එ ජා පාක්‍ෂිකයන් ආවා. අපට රැස්වීම් තැබීමට බොරුල්ලෙ තරුණ බෞද්ධ සංගම් මූලස්ථානය ලබා දුන්න. ඒකාබද්ධ කමිටුව මුල් වී සිංහල කොමිසමක් පත් කළා. එහි සභාපති වුණෙ හිටපු විනිසුරු රාජා වනසුන්දර. ඒ කොමිසමේත්  එ ජා පාක්‍ෂිකයන් හිටියා. අප රට වටේ ගියා. කොමිසම එදා ත්‍රිකුණාමලයට යන්න බය වුණා. මා කොමිසමේ නැතත් තවත් අයකු සමග එහි ගොස් සාක්‍ෂි පටිගත කරගෙන ආවා. එහෙත් ඒ සියල්ල මැද කොමිසම සිංහල ජාතිකත්වය පාවා දුන්න. 


කොමිසමේ වාර්තාව පිට කිරීමට සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයෙ රැස්වීමක් සංවිධානය කරල තිබුණා. කෝකටත් කියල මා උදේ එහි ගිය වෙලේ වාර්තාව කියෙවුව. වාර්තාවෙ සන්ධීය රාජ්‍යයක් යෝජනා කරල තිබුණ! අර සංවිධාන තුන හවස රැස්වීමේ දී ම වාර්තාවට විරෝධය පළ කළා. වාර්තාව පුස්සක් වුණා. සිංහල කොමිසම එතැනින් ඉවරයි. ඒත් ඒකාබද්ධ කමිටුවෙන් පූජ්‍ය බෙංගමුවේ නාලක හිමියන්, පූජ්‍ය ඕමාරේ කස්සප හිමියන් හා මා නෙරපනු ලැබුවා. ඒ දිනවල ජාතික ඒකාබද්ධ කමිටු රැස්වීම්වල මුලසුන දැරුවෙ මාදුළුවාවෙ සෝභිත හිමියන්!


ජනතාවට ක්‍රමයෙන් චන්ද්‍රිකා හා ශ්‍රී ල නි ප එපා වුණා. ඔවුන් 2001 මැතිවරණයෙන් රනිල් බලයට පත් කළා. ඒත් චන්ද්‍රිකා ජනාධිපති. කොටි සමග සාම සාකච්චා තිබුණා පමණක් නොව සටන් විරාමයකුත් තිබුණා. ඒත් ජාතික බලවේගවල ශක්තියත් රනිල් චන්ද්‍රිකා ගැටුමත් හේතු කොටගෙන අතීරණ අවධියක් තිබුණා. චන්ද්‍රිකා 2004 දි පාර්ලිමේන්තුව විසුරුවා හැරියා. මැතිවරණයෙන් පොදු ජන පෙරමුණ ජයගත්තා. ජ වි පෙරමුණට මන්ත්‍රී ධුර 39ක් හිමි වුණා. ඒ පොදු ජන පෙරමුණෙන් තරග කළ නිසා. ජ වි පෙ සමග එදා පඬි නැට්ටන් හිටියෙත් නැහ ජ වි පෙ හිතුවෙ තමන්ට ම මන්ත්‍රී ධුර 39ක් ලැබුණා කියාත් පොදු පෙරමුණ ජයගත්තෙ තමන් නිසාත් කියල. අර නයි නටවන්නට මුදල් ලැබෙන්නෙ තමන් නිසා යැයි හිතපු නයාට සිද්ධ වෙච්ච දේ ඕනම නයකුට වෙන්න පුළුවන්. අපි කවුරුත් ඒ ගැන හිතන්න ඕන. 2004 දි  මහින්ද අගමැති වුණා. ජාතිකත්වය ක්‍රමයෙන් තහවුරු වුණා. 2005 ජනාධිපතිවරණයට මහින්ද ඉදිරිපත් වී ජයගත්තා. කොටි පැරදවිය හැකිය හා පැරදවීය යුතු ය කියන මතය ක්‍රමයෙන් තහවුරු වුණා. 2009 මැයි නන්දිකඩාල් හි කොටි පරාජය වුණා. 2010  දි මහින්දටත් පොදු ජන පෙරමුණටත් විශිෂ්ට ජයක් ලැබුණා.


එහෙත් පොදු ජන පෙරමුණ ජාතිකත්වයෙන් ඈත් වුණා. ඥාති සංග්‍රහ තිබුණා. මෛත්‍රිපාල සිරිසේන හා පිරිසක් පක්‍ෂයෙන් ඉවත් ව යන තැනට කටයුතු කළා. බටහිරයන් ඒ සියල්ලෙන් ප්‍රයෝජනය ගත්තා. කලින් චන්ද්‍රිකා ඉදිරිපත් කළාක් මෙන් 2014 වන විට මෛත්‍රිපාල යොදා ගත්තා.  ඊනියා යහපාලන ආණ්ඩුව බිහි කෙරුණා. රනිල් අගමැති. මෛත්‍රිපාල ජනාධිපති. යා දෙක නොරත රත කතාව සක්සුදක් සේ පෙනී ගියා. ව්‍යවස්ථාව අනුව රනිල් බලයෙන් පහකරන්න පුළුවන් බව පෙනී ගියා. 2018 ඔක්තෝම්බරයෙ දින 52 ආණ්ඩුව පිහිටෙවුව. එහෙත් පොදු ජන පෙරමුණ එය රැක ගන්න ක්‍රියා කෙළේ නැහැ. ඒ වුණත් ජනතාව ජාතිකත්වය වටා සංවිධානය වුණා.  2019 නොවැම්බරයෙ නන්දසේන ගෝඨාභය රාජපක්‍ෂ සිංහල ඡන්දවලින් පමණක් ජනාධිපති වුණා. 


වැඩි කල් යන්න ඉස්සලේල කොවිඩ් 19 ආවා. කොවිඩ් 19 කියන්නෙ සෙම කිපීමෙන් හැදෙන ලෙඩක්. ඒක ටික දෙනකුට පමණක් අසාධ්‍ය වෙනවා. දුස්සාධ්‍ය අයට බටහිර වෙදකමේ නැතිවාට සිංහල බෙහෙත් තියෙනවා. ඒත් බටහිර වෙද මහත්තුරු තම ආධිපත්‍යය පතුරවලා සුද්දන්ගෙ 1898 නිරෝධායන රෙගුලාසි උපයෝගි කරගෙන ලෙඩුන්ට සිංහල බෙහෙත් දෙන්න දෙන්නෙ නැහැ. ඔය රෙගුලාසිය සංශෝධනය කළොත් ජීවිත ගණනාවක් බේරා ගන්න පුළුවන්. 


සිසිර ජයකොඩි හා චන්න ජයසුමන මේ ගැන මීට වඩා උනන්දු වෙන්න ඕන. ජනාධිපති වටා බටහිර විශේෂඥයන් ඉන්නවා. සෞඛ්‍ය ප්‍රශ්නයේ දී ඔහු තරමක් අසරණ වෙනවා. ඒත් අනෙක් ප්‍රශ්නවල දී ජාතික මතවාදත් සමග ඉන්නවා. එම්සීසී ගිවිසුම අත්සන් නොකිරීම පිළිබඳ ව දෙන ගෞරවය හොඳට ම මදි. කොහොම හරි නැගෙනහිර පර්යන්තයත් රැක ගත්තා. පාස්කු ප්‍රහාරයට හා මහා බැංකු මංකොල්ලයට විරුද්ධ ව  වරදකරුවන් ට දඬුවම් දෙන්න ඕන. මා හිතනවා ඉන්දියාව කුමක් කීවත් 13 හා පළාත් සභා අහෝසි කරන්න ඕන කියා. නැගෙනහිර වෙරළේ බෞද්ධ සිද්ධස්ථාන රැක ගැනීමට තවත් මහන්සි වෙන්න ඕන. 


අපට ජාතිකත්වය මත පදනම් වූ ආර්ථිකයක් තියෙන්න ඕන. අප ජාතිකත්වය මත පදනම් ව ලෝක වෙළෙඳපොළට නිෂ්පාදනය කරන්න ඕන. ණය නොගෙන ආයෝජකයන් ගෙන්වා ගැනීමට ගෙන ඇති තීරණය වැදගත්. මියන්මාරයේ මෝටර් රථ එකළස් කරනවා. අප ආනයනය කරනවා. ඉදිරි අවුරුදු හතර වැදගත්. අප තව තවත් ජාතිකත්වය මත එකතු වෙන්න ඕන. ජාතිකත්වය අගයන්නන්ට තියෙන විකල්පය කුමක් ද? සජිත් ද, චම්පක ද, හරින් ද, හර්ෂ ද වෙනත් කවුරුන්වත් ද?  ජාතිකත්වයෙ ඉන්න දේශපාලනඥයන්ට කිව යුතු දෙයක් තියෙනවා. මෙරට සිංහලයන් හුදු ජාතිකත්වයට පමණක් ඡන්දය දෙන්නෙ නැහැ. ජාතිකත්වය ශක්තිමත් දේශපාලන හා ආර්ථික ප්‍රතිපත්තියක් සමග බැඳෙන්න ඕන. එසේ නූණොත් ඉන් වාසිය අත් වන්නෙ විජාතිකත්වයට. ජනතාවත් දේශපාලනඥයනුත් පහුගිය අවුරුදු හැත්තෑතුනේ ඉතිහාසය සලකා බලන්න ඕන. මතවාදය තවමත් ජයග්‍රහණය කරල තියෙන්නෙ. අහෝ මංගල නොදිටි මොක් පුර.