History

Monday, 8 March 2021

විදේශ සේවය හා ජනමාධ්‍ය

 

විදේශ සේවය හා ජනමාධ්‍ය

 

පසුගිය දා මා තානාපති බලාපොරොත්තුව මැයෙන් ලිපියක් ලිවුවා. මා එහි කියා තිබුණා තානාපති සේවය ගැන මට කීමට කරුණු ඇතත් මා ඒ සේවයෙන් ඉවත් වූ පසු කියනවා කියා. එක් වෙබ් අඩවියක් ලිපිය පළ කර තිබුණේ මට ශ්‍රී ලංකා තානාපති සේවය ගැන කියන්න දේ තිබෙන බව මාතෘකාවේ ම කියමින්. මා ලිපියේ කොහේවත් ශ්‍රී ලංකා තානාපති සේවය ගැන කියනවා කියා තිබුණේ නැහැ. වෙබ් අඩවිය පළකරන්නා තමාට වුවමනා දෙයක් මගේ කර පිටින් කියලා.

 

ශ්‍රී ලංකා විදේශ සේවයේ හොඳ මෙන් ම නරක ද තියෙනවා. ඒත් මා හිතන්නේ හොඳ නරකට වඩා වැඩිය කියා. විදේශ සේවයෙන් කෙරෙන හොඳ ජනමාධ්‍යයට පේන්නෙ නැහැ. ශ්‍රී ලංකා විදේශ සේවයේ කොටස් හතරක් තියෙනවා. ප්‍රධාන කොටස විදේශ අමාත්‍යංශයේ නිලධාරීන්. ඔවුන් කොළඹ පිහිටි විදේශ අමාත්‍යාංශ කාර්යාලයේ මෙන් ම පිටරට පිහිටි තානාපති කාර්යාලවලත් සේවය කරනවා. ඔවුන් විදේශ අමාත්‍යංශයේ සේවයට බඳවා ගනු ලබන්නේ තරග විභාගයකින් පසුව. ඔවුන් කොළඹින් පිටරටකත් පිටරටකින් කොළඹටත් නැවත පසුව කොළඹින් පිටරටකත් මාරු කෙරෙනවා. ඔවුන්ගේ අඹු සැමියන් රජයේ වෙනත් සේවයක යෙදී සිටනවා නම් ඒ අයට පිටරටකට යෑමේ දී ප්‍රශ්න ඇති වෙනවා. ඔවුන්ගේ දරුවන්ට එක් පාසලක නොවෙයි එක් සංස්කෘතියක ඇති පාසල්වල ඉගෙනීමට ලැබෙන්නේ නැහැ. අරාබි රටක පාසලක ඉගෙනුම ලබන දරුවන්ට පසුව අප්‍රිකාවේ රටක පාසලක ඉගෙනුම ලැබීමට සිදුවෙනවා. පාඨමාලා පිළිබඳ ප්‍රශ්න නිසා ශ්‍රේණි මාරු වෙනවා.

 

දෙවැනි කොටසට අයත් වන්නේ රජයේ සේවයේ වෙනත් අමාත්‍යාංශක සිට තරග විභාගයකින් පරිවාර ලිපිකාර  ආදී තනතුරු සඳහා බඳවා ගැනෙන පිරිස. ඔවුන්ටත් ඉහත කී ප්‍රශ්න අඩු මට්ටමකින් වුණත් ඇති වෙනවා. දරුවන්ගේ අධ්‍යාපනයට විශාල මුදලක් වැය කිරීමට සිදු වෙනවා. ඔවුන් ආපසු ලංකාවට ගිය විට බොහෝ විට වෙනත් ම අමාත්‍යංශයක සේවය කිරීමට සිදු වෙනවා.  තුන් වැනි කොටසට අයත් වන්නේ දේශපාලන පත්වීම් මත රට රටවලට යැවෙන තානාපතිවරු. ඔවුන්ට නම් ප්‍රශ්න අඩුයි. ඔවුන් බොහෝ විට අර මහ සඟරුවන වදාළ ආකාරයට විශ්‍රාම වියේ පසුවන මා වැන්නන්. ඔවුන්ගේ දරුවන්ගේ අධ්‍යාපනය පිළිබඳ ප්‍රශ්න නැහැ. දරුවන් බොහෝ විට විවාහකයි. එහෙත් මා හිතන්නේ ඔවුන් ප්‍රතිශතයක් ලෙස ගත් කල සුළු ප්‍රමාණයක්. අනෙක් අය ගැන කියන්න මා දන්නේ නැහැ. මගෙන් නම් කිසිම සේවයක් රටට සිදු වී නැහැ. මා ආපසු කැඳවනවා නම් ඕනෑම වෙලාවක ආපසු ඒමේ සූදානමින් ඉන්නවා. හතරවැනි කොටස වෙළෙඳ අමාත්‍යංශය වැනි අමාත්‍යාංශයක සේවය කරන නිලධාරීන්. ඔවුන් ඇතැම් රටවල තානාපති කාර්යාලවලට අනුයුක්ත කෙරෙනවා.

 

ලංකාවේ ජනමාධ්‍ය ගැන කියන්න තියෙන්නේ මොකක් ද? හොඳ ද නරක ද වැඩි. මියන්මා ජනමාධ්‍ය සමග සංසන්දනය කිරීමේ දී ලංකා ජනමාධ්‍යයට ඉහළ තැනක් නම් ලැබෙන්නේ නැහැ. අද මෙරට ජනමාධ්‍ය වැඩිපුර කරන්නෙ කුණුගොඩවල් ඇවිස්සීම. ජනතාවත් එය රස විඳින බව පෙනෙන්න තියෙනවා.  එහෙම නැත්නම් කුකුුළන් කෙටවීම් කෙරෙනවා. දීර්ඝ ටෙලිනාට්‍ය කියා මොනවාදෝ පෙන්වනවා. විනෝදය සඳහා කියා අනුකරණ තොරතෝංචියක් නැතිව පෙන්වනවා. ඒ අතර පිරිත් දේශනා හා ධර්ම දේශනා ප්‍රචාරය කරණවා.

 

මෙරට ජනමාධ්‍ය ඇතැමුන්ට ප්‍රචාරය දෙන හැටි, ඔවුන් උස්සා පොළොවේ ගහන හැටි මා දැක තියෙනවා. ජනමාධ්‍යයට ඒ දේ මට කරන්න බැහැ. මා ඉස්සෙන්නේ නැහැ. මා ජනමාධයට සම්බන්ධ වී අවුරුදු හතළිහක් පමණ වෙනවා. ඒ සිළුමිණ පුවත්පත මා නව සමසමාජ පක්‍ෂයෙන් අස්වීමේ දී ලියූ   මාක්ස්වාදය විද්‍යාත්මක ද ලිපිය පළ වීමෙන් පසු.

 

ඒ ලිපිය නව සමසමාජ පක්‍ෂයේ සඟරාවේ පළ කර තිබුණා. එය වාමාංශික හිතවතකු ව සිටි එවකට ඔබ්සර්වර් පුවත්පතේ වැඩ කළ අජිත් සමරනායක එම පුවත්පතේ ම ගාමිණි වීරකෝන්ට පෙන්වා තිබුණා. ගාමිණී වීරකෝන් එය සිළුමිණ පුවත්පතේ එඩ්මන්ඩ් රණසිංහට දී තිබෙනවා. එඩ්මන්ඩ් රණසිංහ එම ලිපිය සිළුමිණේ පළ කරන ලෙස ගාමිණී සුමනසේකරට කියා තිබෙනවා. ඒ තමයි මගේ ජනමාධ්‍ය සම්බන්ධය. පසුව ඒ පිරිස දි අයිලනඩ් හා දිවයින පුවත්පත්වලට එකතු වුණා. මා ද ඒ සමග ඒ පත්තරවලට ලියන්න පටන් ගත්තා. එහෙත් දැන් ඔවුන් මගේ ලිපි පළ කරන්නේ නැහැ. දැන් ඒ පත්තරවල ඉන්නේ ප්‍රබුද්ධයන්.

 

ඉඳහිට ගුවන්විදුලි හා රූපවාහිනී වැඩ සටහන්වලට සහභාගි වීමේ අවස්ථාව ද මට ලැබුණා. එහෙත් ජනමාධ්‍යවේදීන් මට වඩා ප්‍රබුද්ධයන්. ඔවුන් බුද්ධිමතුන්. ඔවුන් මා ටිකෙන් ටික අයින් කළා. මා හිතන්නේ නාථ දේච කතාවලින් පසු මිථ්‍යා මත දරණ මා තම ජනමාධ්‍යයට සහභාගි කර ගැනීමෙන් ජනමාධ්‍ය අපකීර්තියට ලක් වන බව ඔවුන් හිතනන ඇති.  චින්තනය ගැන මා දරණ මතය සමග ජනමාධ්‍යවේදීන් එකඟ වන්නේ නැහැ. ඔවුන් ප්‍රබුද්ධයන්, බුද්ධිමතුන්, උගතුන්, වියතුන්. මා විද්‍යාඥයකු වීමට එංගලන්තයට ගොස් බැරුව ආපසු අයෙක්. දැන් තානාපති බලාපොරොත්තුත් කඩ කර ගත් අයෙක්.

 

ජනමාධ්‍යවේදීන් හා පඬි නැට්ටන් හිතන්නේ මා බටහිර දැනුම සම්පූර්ණයෙන් ම ප්‍රතික්‍ෂෙප කරන ආපසු මහාවිහාරයට යෑමට උත්සාහ කරන අයකු බවයි. අවුරුදු තිස්පහකට වැඩි කාලයක් තිස්සේ ඔවුන් හිතන්නේ එලෙසයි. ඒ අතර ඔවුන් හිතන්නේ අනුරාධපුරයට ආපසු යා යුතු බව අනෙක් අයට කියමින් මා බටහිර අධ්‍යාපනය දරුවන්ට ලබා දුන් බරකරත්තෙ ගමන් නොකර මෝටර රථවල ගමන් කරන කුහකයකු වංචනිකයකු ලෙසයි. 

 

අවුරුදු ගණනකට පෙර දෙරණින් මට ලබා දුන් පළමු වැඩ සටහනේ දී (360) මගෙන් ප්‍රශ්න කරනු ලැබුයේ මා වංචනිකයකු බව පෙන්වීමේ අරමුණෙන්. අවුරුදු පහළොවක් තිස්සේ දෙරණ මට ලබා දී ඇති වැඩ සටහන් සංඛ්‍යාව අතේ ඇඟිලි සංඛ්‍යාවට අඩුයි. අරුණ පුවත්පත සති අග නොව සති මැද ලිපියක් ලිවීමට මට අවස්ථාව ලබා දී තිබෙනවා. එහි සංස්කාරක බටහිර විද්‍යාවෙන් එහා දැනුමක් නැති බව සිතන්නෙක්. සති අග පුවත්පතේ තීරුවලින් ඇතැම් විට මට පහර දෙනවා. ඒ මාධ්‍ය ජාලයෙන් පිට මට කිසිම සහායක් නැහැ. ජනමාධ්‍යයේ තරම් ප්‍රබුද්ධයන් විදේශ සේවයේ නැති වෙන්න පුළුවන්. බටහිර වෙද මහතුන් හා නීතිඥයන් අතර නම් ඉන්න පුළුවන්.

 

බටහිර විද්‍යාව පට්ටපල් බොරු කියන්නේ කිනම් අරුතකින් දැයි මා තේරුම් කර දී ඇති නමුත් බොහෝ දෙනා අහන්නේ පට්ටපල් බොරු නම් බටහිර තාක්‍ෂණය යොදා ගන්නේ ඇයි ද කියා. තාක්‍ෂණය හා විද්‍යාව යනු දෙකක් බව කීවාට වැඩක් නැහැ.  බොහෝ තාක්‍ෂණවේදීන් දන්නා විද්‍යාවක් නැහැ. මෙරට බෞද්ධයන් නැති කමේ ප්‍රශ්නයක් තියෙනවා. බටහිර විද්‍යාව පට්ටපල් බොරු බව නොතේරෙන්නේ සියල්ල බොරු බව මායා බව ඔවුන්ට  නොතේරෙන නිසා. මනසට වඩා මායාවක් තිබිය හැකි ද?

 

බටහිර දැනුමේ ආධිපත්‍යය ප්‍රතික්‍ෂෙප කිරීම බටහිර දැනුම ප්‍රතික්‍ෂෙප කිරීමක් බව ප්‍රබුද්ධ ජමාධ්‍යවේදීන් ද පඬි නැට්ටන් ද හිතනවා. මනුෂ්‍ය නොවන ප්‍රාණීන්ගෙන් දැනුම ලබා ගත් රාමනුජන්ට හිනහවෙන්න බටහිර වෙද මහතුන් බයයි. ධම්මික වෙද මහතාට නම් පහර දෙනවා. දෙන්න ම දැනුම ලබා ගෙන තියෙන්නෙ එක ම ප්‍රාණියකුගෙන්.

 

මා ජනමාධ්‍යයේ පිහිටක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. මා දිනපතා ලියනවා. ඒ ලිපි කාලය වෙබ් පිටුවේත් මුහුණු පොතේ පිටුවේත් පළ කරනවා. අරුණට කියල අමුතුවෙන් ලියන්නේ නැහැ. ඒ ලිපිය කොහොමටත් වෙබ් අඩවියේ පළ වෙනවා. අරුණ සංස්කාරක ලිපිය පළ කිරීම නැවැත්තුවත් මට ප්‍රශ්නයක් නැහැ. මා විදේශ සේවයෙන් යමක් බලාපොරෙත්තු වන්නේත් නැහැ. මුදල් ටිකක් නම් ලැබෙනවා. ඒ අතර පණුවන් කන සාම පරෙවියන් බලන්නත් ඊනියා කළු කුහර (black holes) අධ්‍යයනය කරන්නත් වෙලාව ලැබෙනවා. කළු කුහර නැති බවත් ඇත්තේ තද පෘෂ්ඨ බව මා දැන් දන්නවා.  අර පින්තුර හදන්නේ තද පෘෂ්ඨවල.