History

Tuesday, 9 March 2021

දුම්රිය පාරේ නීතිය හා ජෙනීවා

 

දුම්රිය පාරේ නීතිය හා ජෙනීවා

 

ලංකාවට විරුද්ධ ව බටහිර රටවලට කළ හැකි ඉටිගෙඩියක් නැහැ. ඔවුන්ට වැඩිම වුවහොත් කළ හැක්කේ ආර්ථික සම්බාධක පැමිණවීම පමණයි. එහෙත් ඒ තනි තනි රටවල් වශයෙන් මිස එක්සත් ජාතීන්ගේ සංවිධානය වශයෙන් නොවෙයි. චීනය හා රුසියාව අපට විරුද්ධ ව ගෙනෙන යෝජනාවක දී නිෂේධ බලය යොදා ගන්නවා. අප කුඩා කල පාසල් ගියේ දුම්රියෙන්. අපට සමහර අවස්ථාවල දී දුම්රිය පාරේ ඇවිද ගෙන යන්න සිද්ධ වුණා. එය නීති විරෝධියි. එහෙත් ඒ නීතියට කිසිවකු කිසි ගරු සැලකිල්ලක් දක්වන්නේ නැහැ. ඒ නීතිය ක්‍රියාත්මක කෙරෙන්නේ නැහැ.

 

නීති, පොතේ තිබුණාට වැඩක් නැහැ. නීති පොතේ තියෙන හැම නීතියක් ම ක්‍රියාත්මක කරන්න බැහැ. මිනිසුන් නීතියක් පිළිගන්නේ නැත්නම් කළ හැක්කේ කුමක් ද? නීතියකට මිනිසුන් ගරු කරන්නේ නැත්නම් එය ක්‍රියාත්මක කෙරෙන්නේ නැහැ. මා කියන්නේ නීති කැඩීම ගැන නො වෙයි. නීතියක් කැඩීම කියන්නේ නීතිය පිළිගන්නා අතර එයට පටහැණි ආකාරයකට ක්‍රියා කිරීමයි. නීතියක් නොපිළිගැනීම කියන්නේ තවත් එකක්.

 

මට දුම්රිය පාරේ නීතිය මතක් වුණේ ජෙනීවා විගඩම ගැන කතා කිරීමේ දී.  ජෙනීවා මානව හිමිකම් මණ්ඩලය කියන්නෙ බටහිර ක්‍රිස්තියානි නූතනත්ව සංස්ථාපනය අනෙක් රටවල් පාලනය කිරීමට අටවා ගත් අටමගලක් පමණයි. එහි සාමාජික රටවල් හතළිස්හතක් තියෙනවා. ලෝකයේ ඒ ඒ ප්‍රදේශ අනුවයි සාමාජිකයන් තෝරා ගැනෙන්නේ. ලංකාව එහි සාමාජිකයෙක් නොවෙයි. එහෙත් ඉන්දියාව මේ දිනවල සාමාජිකයෙක්. සාමාජිකත්වය වසර තුනකට සීමා වෙනවා. මා හිතන්නේ ඉන්දියාවේ සාමාජිකත්වය මේ වසරේ අවසන් වෙනවා.

 

එක්සත් ජාතීන්ගේ සංවිධානය ම බටහිරයන් ලෝකය පාලනය කිරීම සඳහා අටවා ගත් අටමගලක්. එයට සම්බන්ධ මණ්ඩල ආයතන රාශියක් තියෙනවා.  ඒ ඒ මණ්ඩලවල විවිධ රටවල අය සේවය කරනවා. ඔවුන්ට හොඳ වැටුප් ද ලැබෙනවා. ඒ මණ්ඩලවලින් බලාපොරොත්තු වන්නේ බටහිර ක්‍රිස්තියානි නූතනත්ව සංස්ථාපනයට අවශ්‍ය අන්දමට ලෝකය පාලනය කිරීමයි. මේ මණ්ඩලවල රැකියාවන් සඳහා බොහෝ විට පත්වන්නේ ඒ ඒ රටවල බටහිර අධ්‍යාපනය ලබා ක්‍රිස්තියානි නූතනත්වයට ගරු කිරීමට පුහුණු කෙරුණු අය. මා කියන්නේ ඔවුන් සඳහා පාසල්වල විෂය මාලාවේ වෙන ම පාඨමාලා සකස්කර තියෙන බව නොවෙයි. සමස්ත අධ්‍යාපනය මගින් ඒ ගරුකිරීම ඉගැන්වෙනවා. ඊනියා ප්‍රබුද්ධ ජනමාධ්‍යවේදීන් පඬි නැට්ටන් ඉතිරි ටික කරනවා.

 

අපේ රටේ නිිදහස් අධ්‍යාපනය නිසා වී ඇති එක් වින්නැහියක් නම් ඒ ගරුත්වය පිළිගන්නා විශාල පිරිසක් බිහි කරනු ලැබ සිටීමයි. නිදහස් අධ්‍යාපනය නිසා පෞද්ගලික ව ගත් කල සමාජයේ ඊනියා උසස් තැන්වලට පැන ගැනීමට හැකි විශාල පිරිසක් බිහිවෙලා ඉන්නවා. අමරසේකරගේ උගත් ගැමි තරුණයන් මෙන් ම චම්පකගේ 43 කණ්ඩායම ද සමන්විත වන්නේ මොවුන්ගෙන්. පොදුවේ ගත් කල මොවුන්ගෙන් රටට වන යහපතක් නැහැ. 43 කණ්ඩායම සජිත් විසින් ගබ්සා කෙරිලා.

 

අප එක්සත් ජාතීන්ගේ සංවිධානයට හා එහි අනුබද්ධ ආයතනවලට ගරු කරන තරමට අපේ නිදහස නැති වෙනවා. අද ජෙනීවා විගඩම ගැන මෙරට උගතුන් යැයි කියා ගන්නා අය අතර විවිධ මත තියෙනවා. ඇතැමුන්ට අනුව අප රටේ මානව හිමිකම් කඩ කෙරිලා. මේ කියන්නේ විශේෂයෙන් මානුෂික මෙහෙයුම් කාලයේ. ඉන්පසුවත් අර ජනමාධ්‍යවේදියා මේ ජනමාධ්‍යවේදියා ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා තියෙනවා. එහෙත් ඒ චෝදනා මට්ටමෙන් එහාට ගිහින් නැහැ. මේ ආණඩුවේ බලධාරීන්ට විරුද්ධවත් චෝදනා තියෙනවා. 2015 සිට 2019 දක්වා ඊනියා යහපාලනයට ඒ චෝදනා ඔප්පු කර ගත නොහැකි වී තිබෙනවා. එමෙන් ම එ ජා පාක්‍ෂිකයන්ට විරුද්ධවත් චෝදනා තියෙනවා. ඒ චෝදනාත් ඔප්පු වී නැහැ. එක්කෝ ඒ චෝදනා බොරු නැත්නම් දෙපැත්ත එකතු වී එකිනෙකා බේරා ගන්නවා.  එහෙමත් නැත්නම් නීතියේ හිල් තියෙනවා, නීතිය නවන්න පුළුවන්කම තියෙනවා.

 

එහෙත් මෙතැන දී අර එක්සත් ජාතීන්ගේ කොමසාරිස් නෝනලා ටිකක් අමුතු විධියකට ක්‍රියා කරනවා. ඔවුන් උලුප්පන්නේ එ ජා ප නොවන ආණ්ඩුවලින් කෙරුණා යැයි කියන මානව හිමිකම් කඩ කිරීම්. මෙතැන තමයි ප්‍රශ්නය තියෙන්නෙ. බටහිර ක්‍රිස්තියානි නූතනත්ව සංස්ථාපනයට අවශ්‍ය ඔවුන් අකමැති ආණ්ඩු පළවා හැරීමට අර එක්සත් ජාතීනගේ ආයතන යෙදා ගැනීමට. මෙරට සමහර උගතුන් බයෙන් ඉන්නවා ජෙනීවා විගඩමෙන් අප වරදකරුවන් වේය කියා. එහි දී කොටසක් කියන්නේ අප හරියට කරුණු ඉදිරිපත් නොකරණ බවයි. අනෙක් කොටස නම් කියන්නේ අප, ඒ කියන්නේ  මේ ආණ්ඩුව 2010ට පෙරත් දැනුත් මානව හිමිකම් කඩන බවයි.

 

අප කොතරම් හොඳින් කරුණු ඉදිරිපත් කළත් ඔය නෝනලා ඒ පිළිගන්නේ නැහැ. ගෑෂ් වාර්තාව ඩෙස්මන්ඩ් ද සිල්වා වාර්තාව පරණගම වාර්තාව ආදිය නෝනලා ගණන් ගන්නේ නැහැ. එංගලන්තය ඒවා ඉදිරිපත් කරන්නෙත් නැහැ. නඩුත් හාමුදුරුවන්ගෙ බඩුත් හාමුදුරුවන්ගෙ. මෙතනදි කොමසාරිස්වරියත් හාමුදුරුවන්ගෙ. අර මංගල එංගලන්තයේ ද්‍රොහි යෝජනාවට දුන් ද්‍රොහි අනුග්‍රහකත්වය අස්කර ගත්තෙ නැත්තන් අපට මොකුත් වෙන්නෙ නැහැ. අපට අනින්න බලන් ඉන්න ඉන්දියාවත් බොහොම සෙනෙහසින් අප ගැන කතා කරාවි.

 

ඔය මානව හිමිකම් අටමගලට තැනක් ලැබෙන්නෙ අප එයට ගරු කරනකම් පමණයි. දැන් ඊශ්‍රායලයට විරුද්ධ ව ඔය අටමගලෙ ඕන තරම් යෝජනා සම්මත කර ගන්නවා. ඊශ්‍රායලය ඒ යෝජනාවලට අධෝවාතයකට තරමටවත් සලකන්නෙ නැහැ. අපි මොනවට ද ඔය නෝනලාගේ යෝජනාවලට සලකන්නෙ. අපි ගිහින් යෝජනාවට විරුද්ධ වෙමු. එහෙත් තීන්දුව දැනටමත් ලියා ඇති බවත් අපි දැන ගනිමු. යෝජනාවෙන් අපි පැරදුණත් මොනව කරන්න ද? අපේ ඊනියා ගෞරවය නැති වෙයි ද? ඒ කාගෙ ගෞරවය ද? බටහිර ක්‍රිස්තියානි නූතනත්ව සංස්ථාපනයෙ ගෞරවය ගැන නෙ කියන්නෙ. අපට ඒකෙන් වැඩක් නැහැ. මොකෝ ගෞරව සහතිකය ජනාධිපතිතුමාගෙ බෙල්ලෙ එල්ලන්න ද? ඔවුන් බලා ඉන්නෙ ජනාධිපති බෙල්ලෙන් එල්ලන්න. අප මේ අධෝවාතවලට සලකන්න ගියොත් අපට ඉතිරි වන්නෙ අධෝවාත පමණයි. අර දුම්රිය පාරෙ නීතියට වගේ අපි ජෙනීවා විගඩමටත් සලකමු.