History

Tuesday, 27 April 2021

සුප්පා දේවි මුහුණ පෑ ගැටුම හා නාට්‍ය නැට්ටෝ

 සුප්පා දේවි මුහුණ පෑ ගැටුම හා නාට්‍ය නැට්ටෝ


ඊයේ මා ලියූ ලිපිය අපේ විවාහයේ පනස්වැනි සංවත්සරය සැමරීම සඳහා නො වෙයි. එහෙත් ඒ සමග මට හිතුණා ප්‍රේමය ගැන කියන්න. පසුගිය දවස්වල උප්පැන්න සහතික විවාහ සහතික අවුස්සද්දී අදාළ දිනය මගේ නෙත ගැටුණා. අප ඒ වෙනුවෙන් ලංකාවට ඒමට පෙර මියන්මාහි පනස්නමකට දානයක් දුන්නා. මියන්මාහි දාන දෙන එක ලංකාවේ දන් දීමට වඩා තරමක වෙනස් කමක් තියෙනවා. මියන්මාහි පන්සලක් වටා භික්‍ෂූන් වහන්සේ සංඝාවාසවල වැඩ ඉන්නවා. පන්සලක තුන් හාර සිය නමක් වැඩ ඉන්න එක පුදුමයක් නො වෙයි. එහි පනස්නමකට දානයක් දීම ඉතා පහසුවෙන් කළ හැක්කක්. 


මියන්මාහි කොවිඩ් සීමා නැතිවා නො වෙයි. එහෙත් ඒ ගිහියන්ට. අපට ආරාධනය කරන්න පුළුවන් වුණේ ගිහියන් තිස් දෙනකුට පමණයි. පෙබරවාරි මස හතරවැනි දා පැවති අපේ ජාතික දින උත්සවයටත් ආරාධනය කෙරුණේ ගිහියන් තිස් දෙනකුට පමණයි. එදින භික්‍ෂූන් චහන්සේ බෞද්ධාගමික චාරිත්‍ර වාරිත්‍ර ඉටු කළා. වෙනත් ආගමික කටයුතු නම් තිබුණේ නැහැ.   


කෙසේ වෙතත් ඊයේ ලිපිය හැටදාහකට අධික පිරිසක් වෙත ළඟා වී තියෙනවා. එමෙන් ම දෙදහකට වඩා කැමැත්ත ප්‍රකාශ කර තිබුණා. අතිවිශාල පිරිසක් මටත් මගේ භාර්යාවටත් සුබ පතා තිබුණා. ඒ සියලු දෙනාට ම පින්.  භාර්යාව තමයි මේ කතා මට කිවුවෙ. අපේ ලොකු පුතා වූ තාරකගෙ මිතුරකු වූ අනුජ මංචනායක කියා  තිබුණළු එකල ඔවුන් තාරක හමුවීමට පැමිණියේ යම් කිසි දේකට මා ඔවුන්ට බැණ වැදුණොත් තාරකගේ අම්මා ඔවුන් බේරා ගනීවිය යන විශ්වාසය ඇති ව කියා! 

 

එහි සඳහන් වූ සිංහබාහු නාට්‍යයේ කොටස මට ලබා දුන්නේ පූජ්‍ය රත්තනදෙණියේ  මේධානන්ද  හිමියන් හා නාලක ජයසේන. මට ඒ කොටස ගැන මතකයක් තිබුණා. සිිංහබාහු නාට්‍යය මා දැක්කේ සිංහයාගේවත් සිංහබාහුගේවත් නාට්‍යයක් ලෙස නොව සුප්පා දේවිගේ නාට්‍යයක් ලෙස. මට ප්‍රධාන චරිතය වූයේ සුප්පා දේවියයි. සිංහබාහු නාට්‍යයේ විවිධාකාර  ප්‍රේමයන් ගැන කියැවෙනවා. පති පතිනි ප්‍රේමය දාරක ප්‍රේමය එහි ප්‍රධානයි. එහි පිතෘ ප්‍රේමයක් ද නැතිවා නොවෙයි. මාතෘ ප්‍රේමයත් තියෙනවා. ඒ අතර තව තවත් ප්‍රේම ව්‍යාජ ප්‍රේම තියෙනවා. 


සිංහබාහුට නම් අවශ්‍ය වූයේ වංග රාජ්‍යය. ඔහු ගල් ලෙන බින්දේත් ඒ සඳහා. සිංහ සීවලීට නම් පිතෘ ප්‍රේමයක් ද තිබුණා. සිංහබාහුට මාතෘ ප්‍රේමයක්වත් තිබුණේ නැහැ. සිංහලයන් ඒ පරම්පරාවෙන් පමණක් පැවත නොඒම නම් හොඳයි. සුප්පා දේවි ලෙස බොහෝ කලක් රඟ පෑ මාලිනී රණසිංහ ඒ චරිතයට මැනවින් ජීවය ලබා දුන්නා. මා සිංහබාහු කී වරක් නරඹා තිබේ ද කියා මට මතක නැහැ. 


සුප්පා දේවී ඔය පතිපෙම වෙනුවෙන් අන් සියල්ල අත්හැරීම නාට්‍යයේ දෙතැනක කියැවෙනවා. දරුවන් ඉදිරියේත් කළිඟු රජු ඉදිරියේත් ඒ කතාව කියනවා. දරුවන් ඉදිරියේ කියන කතාව අතිශයින් හැඟීම් දනවනවා. අර කසිකබල් රාජ්‍ය නොවන නාට්‍ය කාරයන්ගේ ගොරහැඩි කසිකබල් බුද්ධිමත් කතා වගේ නො වෙයි. රාජ්‍ය නොවන සංවිධානවල මුදලින් පිටරටකට ගොස් යම් පාඨමාලාවක් හැදෑරූ පමණින් ඔවුන් හිතනවා තමන් මහා නාට්‍යකරුවන් කියා. මේ රාජ්‍ය නොවන මැට්ටන්ට අඩු තරමෙන් තේරුම් ගන්නවත් බැහැ මා උගතකු වියතකු බුද්ධිමතකු නොවන්නේ යැයි කියන්නේ ඇයි කියා. සමහරවිට තනි තට්ටේ අශෝක හඳගමට නම් තේරෙනවා ඇති. තනි තට්ටන්ගේ සුළඟ එනු පිනිස ඉන්නන්ගේ නාට්‍ය විවේචනය කරන්න ඒ නරඹන්න ඕන නැහැ. ඒ නාට්‍යවල ඇත්තේ එක සූත්‍රයක් පමණයි.


සුප්පා දේවිය පති පෙම හා දරු පෙම ඉදිරියේ අසරණ වෙනවා. මෙය ගැහැණියකට මුහුණ පෑමට සිදුවන අතිශය වේදනාකාරි අවස්ථාවක් වන්න ඕන. අන් සියල්ල අත්හැර දමා පිරිමියකු සමග පැමිණෙන ගැහැණියකට දරුවන් වෙනුවෙන් ඒ පිරිමියා අත්හරින්න වෙනවා. මා හිතන්නේ එදිරිවීර සරච්චන්ද්‍ර එය මැනවින් අධ්‍යක්‍ෂණය කර තියෙනවා කියා. මට ඊයේ ලිපියේ ගෙනහැර දැක්වීමට අවශ්‍ය වූයේ ඒ පති පෙමයි. 


මෙධානන්ද හිමියන් අර සංවාදයේ ඉතිරි කොටස් ද මා වෙත එවා තිබුණා.


සිංහබාහු -


කිම්ද මෑණියනි ඔබ මේ – පවසන වදනා

ඇස් කන් ඇදහිය නොහේය – ඇසෙන මෙ අරුමා

ඔබ පා මුල හිඳුවා මා - වැඩෙන වයසෙදි

රාජ කතා කී විසිතුරු - දැන් සිහි වන්නේ

සැප සයනා සුවඳ බොජුන් – තුමුල මාලිගා

ඈ සම්පත් හැරදා ඇයි - මෙලෙස වෙසෙන්නේ



සිංහ සීවලී


රාජ කුමරියෝ පළඳති – රන්මිණි බරණා

සිනිඳු වස්ත්‍ර හැඳලා රන් – මිරිවැඩි සඟලා

පින් පිඬ වන් මා මෑණිය – කියනු නොවළහා

ඇයි ද වල්කලා පොරවා - ලෙන තුළ ඉන්නේ


සුප්පා දේවි -


සිනිඳු වස්ත්‍ර මිණි අඹරණ – තුමුළ මාලිගා

සුවඳ බොජුන් සැප සයනා - මිරිවැඩි සඟලා

මේ සියල්ල හැරදා මම – ආවෙමි වලටා

වෙසෙන ලෙසා ඔබ පිය මා - සමිදුන් සමඟා


සිංහබාහු සහ සිංහ සීවලී -


ඇයි ද පියාණන් සමඟා - ලෙනෙහි වෙසෙන්නේ

හැර දමා ඒ රාජ ඉසුරු - උවදුරු අතරේ

රිසි නොවී ද මා පියාට – වාසෙ මාලිගේ

සියුමැලි ඔබ කැටුව ඉන්ට - මේ වනාන්තරේ


සුප්පා දේවි -


අසිරිමත් වූ දේකි මෙලොව - ප්‍රේමය නමිනා

වැනූ පොරණ කිවිදුන් සොඳ - රස මුසු බසිනා

සියලු භෝග වස්තු ඉසුරු - හරිති නෙක් දනෝ

සව් සැප දෙන සිතුමිණ වන් - ප්‍රේමය සන්දා


නුඹේ පියාණෝ නරයෙක් නොව වනයේ දී මට හමු වූ සිංහ රාජයකි. ඔහු කෙරෙහි හටගත් ප්‍රේමය නිසා මම රජ සැප හැර දමා මේ වනාන්තරයේ වෙසෙමි දරුවෙනි. 


ප්‍රේමය නිසා රජසැප හැර දමා පැමිණි ගැහැණියක පුතාගේ රජසැප වෙනුවෙන් සැමියා අත් හැරීම අද ඉන්න කසිකබල් රාජ්‍ය නොවන  නාට්‍ය නැට්ටන්ට කියන්න පුළුවන් ද? ඔවුන්ට පුළුවන් රණ විරුවන්ට ගැරහීම හා අවසානයේ දී මට ගැරහීම පමණයි. සිංහයා තිරිසනෙක් ද සිංහලයන් පැවත එන්නේ තිරිසනකුගෙන් ද ආදී තමන්ට තේරෙන මට්ටමේ ප්‍රශ්න රාජ්‍ය නොවන මුදල් වෙනුවෙන් ඇසීම හැරෙන්න මොවුන්ට කළ හැකි අන් දෙයක් වේ ද? ඔවුන් අද පරාජය වී පරාජයේ වේදනාවෙන් දොඩවනවා. කවුරු හරි සිංහල බෞද්ධයනට පහර දෙන තෙක් රාජ්‍ය නොවන මුදල්වලට කහිනවා.