History

Friday, 30 April 2021

කෘෂි රසායන තහනම වැදගත් තීරණයක්

 කෘෂි රසායන තහනම වැදගත් තීරණයක්


ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ ඉතා වැදගත් තීරණයක් අරගෙන. එයට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබිලා. ඒ රසායනික පොහොර පලිබෝධ නාශක ක්‍රමයෙන් අඩු කර අවසන නතර කිරීමට. ඒ වෙනුවට දේශීය පොහොර හඳුන්වා දී ඒ ප්‍රචලිත කිරීමට. ඒ තීරණය නිර්භය ව ගැනීම ගැන ජනාධිපතිතුමාට අපේ ප්‍රණාමය පළමුවෙන් පිළිගැන්වීම අවශ්‍යයි.

ඒ තීරණය පහසු තීරණයක් නොවන බව අප දන්නවා. මෙහි ආරම්භය ඈතට දිව යනවා. එහෙත් එය කරළියට පැමිණියේ ආසනික් සමග. රජරට වකුගඩු රෝගයක් ගැන අපට දැනුම් දුන්නේ එවකට අලුතෙන් පත්වීමක් ලබා රජරට විශ්වවිද්‍යාලයට ගොස් සිටි චන්න ජයසුමන. එය බටහිර වෙදමහතුන් විසින් හඳුන්වනු ලැබුයේ හේතුවක් නොදත් වකුගඩු රෝගයක් ලෙස. එයට හේතුව එකී වකුගඩු රෝගය වෙනත් වකුගඩු රෝගවලට වඩා වෙනස් වීම.

ඒ කාලය වන විට කැලණිය විශ්වවිද්‍යාලයේ ගණිත අංශයේ සිටි මා ඒ අංශයේම කිත්සිරි සේනානායකගෙන් මනුෂ්‍ය නොවන ප්‍රාණීන්ගෙන් දැනුම ලබාගෙන රෝග සුව කරන ඔහුගේ බිිරිඳ ගැන අසා තිබුණා. මා පෞද්ගලික ව ම ඇතැම් අවස්ථාවල ප්‍රියන්තා සේනානායකගෙන් ප්‍රතිකාර ලබා ගත්තා. මා චන්න ජයසුමන ප්‍රියන්තා සේනානායක හමුවීමට පිටත් කර හැරියා. ප්‍රියන්තා සේනානායක තමයි අපට එකී වකුගඩු රෝගයට හේතුව ආසනික් කියා කිව්වේ. ආසනික් පලිබෝධ නාශකවලත් තියෙන බවත් ඇය කිවුවා.

චන්න ජයසුමන ඒ පිළිබඳ පර්යේෂණ ආචාර්ය උපාධියකට කැලණියේ ලියා පදිංචි වුණා. රසායන විිද්‍යා මහාචාරිණී ප්‍රියානි පරණගම ඔහුගේ ප්‍රධාන උපදේශිකාව වූවා. ඔවුන් අනුරාධපුර පැත්තේ විවිධ පැලෑටිවල හා වෙනත් දැහි, ජනතාවගේ කෙස් නිය ආදියෙහි සාමාන්‍ය ප්‍රමාණයට වඩා ආසනික් තිබෙන බව දැන ගත්තා. ඔවුන්ට කෙසේ හෝ මග හැරී ගියේ පානීය ජලයේ ආසනික් තිබෙන බව. එසේ වුවත් ගොවීන් යොදා ගත් පලිබෝධ නාශකවල ආසනික් තිබෙන බව ඔවුන් දැන ගත්තා.

එකල මා කැලණිය විශ්වවිද්‍යාලයේ විිද්‍යා පීඨයේ පීඨාධිපති. මා ඒ පලිබෝධ නාශක ආනයනය කරන සමාගම්වල නියෝජිතයන්ට විශ්වවිද්‍යාලයට එන්න කියා ඔවුන්ට ම පෙන්වා දුන්නා ඔවුන් ආසනික් ඉසීමට දායක වන බව. බලාපොරොත්තු වූ පරිදි ම ඊනියා විද්‍යාඥයන් අපට විරුද්ධ ව නැගී සිටියා. ඔවුන්ට බටහිර විද්‍යාව වචනයේ පරිසමාප්තාර්ථයෙන් ම බයිබලයක්. ඔවුන් මනුෂ්‍ය නොවන ප්‍රාණීන්ගෙන් ලැබෙන දැනුමක් පිළිගත්තේ නැහැ. ඔවුන් රාමනුජන් ගැන මොනවා දැන සිටියේ දැයි මා දන්නේ නැහැ.

ලංකාවේ උගතුන්ට රාමනුජන්ගේ දැනුම දැනුමක් ඒත් ප්‍රියන්තාගේ දැනුම දැනුමක් නො වෙයි. ධම්මික වෙද මහතාගේ දැනුම දැනුමක් නො වෙයි. ඔවුන් ජීවත් වන්නේ පරස්පරවල. පන්සිල් සමාදන් වී පන්සිල් නොරැකීම ඔවුන්ට ප්‍රශ්නයක් නො වෙයි. ලංකාවේ උගතුන් ගැන මගේ ප්‍රසාදයක් නැහැ. මෙරට බටහිර විද්‍යාඥයන් එකතු වී අපට පහර ගැහුවා. විද්‍යාඥයන් කිවුවට ඔවුන් බටහිර විද්‍යාවේ පරිධියේ කුරුටු ගාන අය පමණයි. බටහිර දැනුමට ඇති ආධිපත්‍යය නිසා අපට පසුව එකතු වී සිටි රතන හාමුදුරුවන් වැන්නන් පිටියෙන් ඉවත් වුණා. ඔවුන් නැවත පිටියේ කරනම් ගහනවා. එය භයානකයි. මෙරට ජාතිකත්වයේ් ප්‍රධාන ම පිළිලය එස් එල් ගුණසේකරට හිමි මන්ත්‍රී ධුරය අහිමි කළ අය. ඔවුන්ට මඩ ගැසීමට අවශ්‍ය නැහැ. ඔවුන් ඉන්නේ ම මඩේ.

බටහිර විද්‍යාඥයන් ආසනික් කතාව නොපිළිගත්තත් ඔවුන් අද වන තුරුත් රජරට (හා තවත් ප්‍රදේශවල) වකුගඩු රෝගයට හේතුව දන්නේ නැහැ. ඔවුන් විශිෂ්ට ගණයේ විද්‍යාඥයන් ලෙස පෙනී සිටිනවා. ආසනික් ප්‍රශ්නය කතා බහට ලක්වෙද්දී සුසන්ත ගුණතිලක වැනි ඉංජිනේරු විද්‍යාවෙන් මෙන් ම සමාජ විද්‍යාවෙන් ද තුන්වැනි පංති උපාධි ලබා ඇත්තවුන්ට අවශ්‍ය වුණා මා ශ්‍රී ලංකා විද්‍යාභිවර්ධන සංගමයෙන් අස් කරන්න. ඒ සංගමයෙන් බටහිර විද්‍යාව අභිවර්ධනය වන්නේ නැහැ. ඉන් අභිවර්ධනය වන්නේ නිල තල දරන්නන්ගේ ජීවදත්ත පමණයි. මා ඊනියා විද්‍යාඥයන්ට අභියෝගයක් ලෙස පමණක් ඒ සංගමයේ සාමාජිකත්වය දරණවා.

ජනාධිපතිතුමාගේ තීරණයට මෙරට මෙන් ම පිටරට ද සිටින මෙරට බටහිර විද්‍යාඥයන් විරුද්ධ වේවි. ඔවුන්ගේ ප්‍රධාන තර්කයක් වනුයේ දේශීය පොහොරවලින් පමණක් අවශ්‍ය තරමට නිෂ්පාදනයක් කිරීමට බැරි බව. ඔවුන් ඒ නිගමනයට එන්නේ කිනම් පදනමක පිහිටා ද කියා කියන්නේ නැහැ. කොහොමටත් ආනයනය කරන කෘෂිරසායන නැවැත්වීම ක්‍රමානුකූල ව කෙරෙන්නක්. එමෙන් ම දේශීය පොහොර වර්ග ඒ ඒ ප්‍රදේශවල නිෂ්පාදනය කරන්න පුළුවන්. අවශ්‍ය නම් දිස්ත්‍රික්ක පදනමින් වැඩ පිළිවෙළ ක්‍රියාත්මක කරන්න පුළුවන්.

මෙහි දී බටහිර විද්‍යාඥයන් නොසලකන කරුණු කිහිපයක් තියෙනවා. ඒ සියල්ල මෙහි සාකච්ඡා කරන්න බැහැ. පළමුවෙන් ම කෘෂි රසායන ආනයනය සඳහා යන වියදම. ඒ වියදම නතර කිරීම ම විශාල ජයග්‍රහණයක්. අප කිසි විටෙකත් ගණනය කරන්නේ නැහැ. ඊනියා බටහිර විද්‍යාත්මක දියුණුව සමග අපට ඇතිවන පාඩුව. අද වාතය අපිරිසිදු වී ඇත්තේ මිනිසුන් බුලත් කෙළ ගැසීම නිසා නො වෙයි. පාරේ කෙළ ගෑසීම හොඳ වැඩකැයි මා කියන්නේ නැහැ. මෝටර් රථවලින් නිකුත් කෙරෙන දුම නිසා සිදුවන වායු දූෂණයත් එමගින් මිනිසුන් රෝගීන් කිරීමත් ඉන් සිදුවන පාඩුවත් ගණනය කර තියෙන්නේ කවුද? කෘෂි රසායනය යොදා ගැනීම ගැනත් එවැන්නක් කියන්න පුළුවන්. ඊනියා හේතුව නොදත් වකුගඩු රෝගය නිසා සිදුවන පාඩුව රටට හා පවුලට යනුවෙන් ගණනය කර ඇත්තේ කවුද? මිනිසුන් රෝගීන් වුනාමත් අද පුරුදු වී තිබෙන ක්‍රමය අනුව පිටින් බෙහෙත් ගේනවා. ඒ සඳහා යන මුදල කොපමණ ද?

අපට දේශීය පොහොර යෙදීමෙන් පමණක් නොව දේශීය තුනපහ යෙදීමෙනුත් ලාභයක් ලැබෙනවා. කොවිඩ් මර්දනයෙහි දී තුනපහ යෙදීම කෙතරම් දුරට යහපත් ප්‍රතිඵල ගෙන දෙනවා ද? නගරයේ ආහාර රටාව එහි දී අහිතකර බලපෑම් ඇති කර නැත් ද? මා යෝජනා කරන්නේ ගණකාධිකාරි කාර්යයක් නො වේ. වැඩි ධන ද සෘණ ද කියා බලා තීරණ ගැනීමක් ද නොවෙයි. අප සමස්තය බැලීමට පුරුදු විය යුතුයි.