History

Saturday, 1 May 2021

ලක්‍ෂය පැන්නීම සහ ජී එල් හා එක්ව මා පැන්නීම

 ලක්‍ෂය පැන්නීම සහ ජී එල් හා එක්ව මා පැන්නීම


ලක්‍ෂයක් කියන එක ලොකු සංඛ්‍යාවක් නොවෙයි. තාරකා විද්‍යවේදී නම් ඉතා සුළු සංඛ්‍යාවක්. ජනප්‍රිය ගායකයකුට නළුවකුට වත්මන් යූ ටියුබ් ජනමාධ්‍යවේදියකුට ප්‍රතිචාර ලක්‍ෂයක් කියන්නෙත් ඉතා සුළු සංඛ්‍යාවක්. ඒත් මට ලිපියක් ලක්‍ෂයක් කරා යනව කියන එක ලොකු වැඩක්. 


පසුගිය දා අප විවාහ වී අවුරුදු පනහයි යනුවෙන් මා පළ කළ ලිපිය දින පහක් ඇතුළත ලක්‍ෂයකට ගිහිල්ලා. එය කී දෙනකු කියෙව්වාද කියා මා දන්නේ නැහැ. එයට 2600කට වඩා කැමැත්ත දක්වලා තියෙනවා. විසිපන්දාහකට වඩා ඒ සමග සම්බන්ධ වෙලා. ප්‍රතිචාර පන්සීයකට අධිකයි. 

 

ඒ කියවු සම්බන්ධ වූ ප්‍රතිචාර දැක්වූ බෙදා හදා ගත් අයගෙන් අතිවිශාල බහුතරයට මගේ ප්‍රණාමය හිමිවෙනවා. මගේ වෙනත් කිසිම ලිපියකට එලෙස සම්බන්ධ වූ පිරිසක් නැහැ. නන්දාට ඇඬිලා ලිපියත් ගිහින් තිබුණේ තිස්හත්දාහකට පමණ පිරිසකට. අප විවාහ වී අවුරුදු පනහයි ලිපියට ප්‍රතිචාර දැක් වූ සියල්ලන් ම පාහේ මට සුබ පතා තිබුණා. ඒ සියල්ලන්ට මා පින් දෙනවා. 


ඒත් හතර දෙනකුට එය දරා ගැනීමට බැරි වෙලා. එයත් මා බලාපොරොත්තු නොවූවක් නො වෙයි. ඔවුන්ට ඇත්තේ දේශපාලන ප්‍රශ්නයක්. මගේ අදාළ ලිපියේත් මා දේශපාලනය සුළුවෙන් නමුත් කතා කළා. ඒ කතා නොකර බැරි නිසා. කොළඹ විශ්වවිද්‍යාලයෙන් මා අස් කෙරුණේ දේශපාලන හේතුන් නිසා බව නොදන්නා අයකු සිටී නම් ඒ ජී එල් පීරිස් වෙන්න ඕන. ඔහු කිසි දිනෙක පිළිගන්නා එකක් නැහැ මා අස් කෙරුණේ දේශපාලන හේතූන් මත කියා. ඔහුගේ සුපුරුදු ව්‍යාජ සන්සුන්කම පෙන්වා ඔහු කියාවි මට විරුද්ධ ව විද්‍යා පීඨ ගුරුවරුන්ගෙන් චෝදනා තිබූ බවත් උපකුලපති ලෙස ඔහුට ඒ සම්බන්ධයෙන් ක්‍රියා කිරීමට සිදුු වූ බවත්.


ඒත් ඔහු සාමාන්‍ය විධියට ක්‍රියාත්මක වුණේ නැහැ. ඔහු අධිවේගයෙන් ක්‍රියාත්මක වුණා. මට විරුද්ධ ව විද්‍යා පීඨයේ යම් ගුරුවරු පිරිසක් සනාතන සභාවේ දී චෝදනා කර තිබෙනවා. ඒ සනාතන සභා රැස්වීමට මට සහභාගි වීමට නොහැකි වූයේ එයට පෙර ම මා ගණිත අධ්‍යයනංශයේ අංශාධිපති ධුරයෙන් ඉවත් කර තිබීම නිසා. එය ප්‍රශ්නයක්. ජී එල් පීරිස් ඒ වන විටත් තමාට හිමි බලතල අනුව මට දඬුවම් කිරීමට පටන් ගෙන තිබුණා. 


මෙහි පසුබිම මා අර ලිපියේ සඳහන් කළ විද්‍යා පීඨ ශිෂ්‍ය ප්‍රශ්නය. විද්‍යා පීඨ සභාවේ දී සිසුන්ගේ ඉල්ලීම සාධාරණ යැයි කී ගුරුවරු සුළුතරයක් වුණා. ඒ ප්‍රශ්නය පවතින කාලයේ තමයි ජී එල් පීරිස් මා ගෙන්වා ජාතික චින්තනය උගන්වන්නේ ඇයි ද කියා ප්‍රශ්න කෙළේ. මා ඔහුගෙන් මූණට ම අසා සිටියේ අනෙක් අය විජාතික චින්තනය උගන්වනවා නම් මට ජාතික චින්තනය (චින්තනයේ ජාතිකත්වය) ඉගැන්වීමට නොහැකි ඇයි කියා. එසේ ඇසීමෙන් ටික කලකට පසුයි මට විරුද්ධ ව ඇතැම් ගුරුවරුන් සනාතන සභාවේ දී චෝදනා කෙළේ.


සාමාන්‍ය ප්‍රතිපත්තිය අනුව සභාවල ගන්නා තීරණ ක්‍රියාත්මක වන්නේ ඒ තීරණ අඩංගු රැස්වීම් වාර්තාව ඊළඟ රැස්වීමේ දී සම්මත වීමෙන් පසුව. ජී එල් පීරිස්ගේ වුවමනාව කෙතරම් වී ද යත් ඔහු සතියක් ගතවීමත් සමග විශ්වවිද්‍යාල පාලක සභාවේ රැස්වීමක් කැඳවා පෙර කී  සනාතන සභාවේ ඉදිරිපත් වූ චෝදනා රැස්වීම් වාර්තාව සම්මත වීමටත් පෙර පාලක සභාවට ඉදිරිපත් කළා. පාලක සභාව වහාම තීරණයක් ගත්තා මගේ වැඩ තහනම් කිරීමට. ජී එල් ට කොවිඩ් 19 සම්බන්ධ තීරණ ගැනීමට එතරම් හදිසියක් නැහැ. 


ජී එල් ගැන මා දන්නේ කුඩා කල සිට. ඒ තොරතුරු පසු දිනෙක. මගේ පියා ඔහුට කුඩා කල පෞද්ගලික උපකාරක පංති (ටියුෂන්) පවත්වා තියෙනවා. ඔහුගේ සමත්කම් අසමත්කම් මා හොඳින් දන්නවා. අප කතා කරන කාලයේ ජී එල් ප්‍රේමදාසවාදියෙක්. පසු කලෙක ඔහු චන්ද්‍රිකාවාදියෙක්. දැන් රාජපක්‍ෂ වාදියෙක්. ඔහු කලක් බෙදුම්වාදියෙක්. මංගලත් සමග අවලම් තවලම් ගිය අයෙක්. ඒ කොහොම වුණත් මගේ වැඩ තහනම පාලක සභාවෙන් අනුමත කර ගත් ඔහු මට කොළඹ විශ්වවිද්‍යාල භූමිය තහනම් ප්‍රදේශයක් කළා. ඒ හේතුවෙන් වෘත්තිය අරගලයක යෙදී සිටි ආචාර්ය සමිති සම්මේලනයේ රැස්වීම් කුමාරතුංග මුනිදාස මාවතේ මාර ගහක් යට පැවැත්වීම සිදු වුණා. ජී එල් මට විරුද්ධව ඊනියා ගෘහස්ථ පරීක්‍ෂණය පැවැත්වූයේ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ. මට විරුද්ධ ව චෝදනා පත්‍රය පිළියෙළ කළේ එකල නීති පීඨයේ සිටි ඊළාම්වාදියකු ආධාර කරගෙන. ඔහුට යහපාලන ආණ්ඩුවෙන් තනතුරුත් ලැබුණා. 


ඊනියා ගෘහස්ථ පරීක්‍ෂණයේ මා වැරදිකරු කරනු ලැබුවා. මා අස් කෙරුණා. එහි දී කොළඹ විශ්වවිද්‍යාලයේ මා වෙනුවෙන් කතාකළ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරුන් හිටියේ කිහිප දෙනයි. ඒ අතර පියසීලි විජේගුණසිංහ, අර්ජුන පරාක්‍රම හා වසන්තා සෙනෙවිරත්න හිටියා. වසන්තා මට පක්‍ෂ ව සාක්‍ෂි දීමට පවා ඉදිරිපත් වුණා. එහි දී ඈපාසිංහ ප්‍රමුඛ පිරිස් ඇයටත් බොරු චෝදනා ඉදිරිපත් කළා. 


එකල සහකාර කථිකාචාර්ය ව සිටි නිර්මාල් රංජිත්, ප්‍රේමකුමාර ද සිල්වා වැන්නන් ද මා වෙනුවෙන් කතා කළා. ප්‍රේමකුමාරට එකල ඔහුගේ අධ්‍යනාංශ ප්‍රධානියා වූ විප්ලවාදී ට්‍රොට්ස්කිවාදියකු ඒ පිළිබඳ තර්ජනයක් ද කර තිබෙනවා. අපි නොදන්න ට්‍රොට්ස්කිවාදය!  


මගේ පනස් වසර  ලිපියෙන් හතර දෙනකුට රිදී තියෙනවා. ඒ තුන්දෙනෙක් චම්පකගේ ගෝල බාලයන්. එය එසේ සිදුවන්න ඕන. ඔවුන් සිටියේ මා අස්කිරීමට පක්‍ෂ ව. ඔවුන් මගේ අස්කිරීමට විරුද්ධ ව පැවැත් වූ ශිෂ්‍ය අරගලය කඩා කප්පල් කෙරුවා. ශිෂ්‍ය නායකයන් ජී එල් පිරිස් සමග වැඩ කළා. ඔවුන් සමහරුන් ශිෂ්‍යයන් ලෙස නොසිටියත් ශිෂ්‍ය අරගලවලට සහභාගි වී ඒ කඩා කප්පල් කළා. මා කී හතර දෙනාගෙන් එක් අයෙක් එවැන්නෙක්. ඔහුගේ සහායට ඔහුගේ භාර්යාව ඉදිරිපත් වී සිටිනවා. ඇය රුහුණු විශ්වවිද්‍යාලයේ ඉගෙන ගත්තත් ඒ සියල්ල දන්නවා. නොදන්නවා නම් තමයි පුදුමය. දී කිරට බළල්ලුත් සාක්‍ෂි කිවුවලු.  අනෙක් තැනැත්තා ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඉගෙනගත් අයෙක්. හතරවැන්නිය ගැන මා දන්නේ නැහැ. ඇය නවසීලන්තයේ ඕක්ලන්ඩ් නුවර ජීවත් වන බව කියනවා.  ඇයට අනුව මගේ ලිපියෙන් කියැවෙන්නේ මා බිිරියට නොසලකන බව! ඒ තැනැත්තිය කොළඹ ඉගෙන ගත්තේ කොයි කාලයේ ද කියා දන්නේ නැහැ. 


චම්පකගේ ගෝල බාලයන් ජී එල් සමග වැඩ කළා. ඔවුන්ගෙන් එක් අයකු ගෙවිඳු කුමාරතුංග සංවිධානය කළ සම්මන්ත්‍රණයේ කතා කරන්න ඇති. එහෙත් ඔහු ජී එල් සමග වැඩ කළා. මේ සියල්ල ගැන විස්තර දන්නා අය ඉන්නවා. ඒ අද චිකාගෝ නුවර ජීවත් වෙන නන්දන පමණක් නො වේ. අවශ්‍ය පරිදි විස්තර සපයන්නම්.