History

Sunday, 12 September 2021

දොස්තරලා මොනවද කෙළේ

 

දොස්තරලා මොනවද කෙළේ

 

විපක්‍ෂය මොනව කිවුවත් දැන් කොවිඩ් පැතිරීම ටිකක් අඩුවෙලා. ඒකට හේතුව කුමක් ද? එන්නත ද, රට වැහීම ද, මිනිසුන් ප්‍රසිද්ධියේ නැති වුවත් දේශීය ප්‍රතිකාර ගැනීම ද? එය දැන ගන්නේ කොහොම ද? ඒ සඳහා ඊනියා විද්‍යාත්මක ක්‍රමයක් තියෙනවා ද? මා අද උදේත් අහගෙන හිටියා දේශීය ප්‍රතිකාර හරි ද කියා විද්‍යාත්මක ව  තීරණය කරන්න ඕන කියනවා. බටහිර වෙදකමට කොවිඩ් රෝගයට ප්‍රතිකාරයක් නැතිව තිබිය දී දේශීය ප්‍රතිකාර සුදුසු ද නැද්ද කියා තීරණය කරන්න බටහිර විිද්‍යාත්මක පරීක්‍ෂණ කරන්න කීමෙන් පැහැදිලි වන්නේ වහල් බව මිස අනෙකක් නො වෙයි.

 

මා එන්නත ගැන වැඩි යමක් කියන්නේ නැහැ. මට කියන්න වෙන්නෙත් බටහිර කවුරු හරි කියපු දෙයක් පමණයි. එන්නත ගැන බටහිරයන් අතරත් විවිධ මත තියෙනවා.  ඇතැමුන් කියන්නේ එන්නත ලබා ගත්තත් රෝගය නැවත එන්න පුළුවන් කියා. ඒ වගේ ම එන්නත වෙනත් ප්‍රභේදවලට එන්න වාතාවරණය සපයන ව කියාත් කියනවා. වැඩිහිටියන්ට ලබා දෙන්න ඕන එන්නත මොකක් ද, ළමයින්ට එන්නත ලබා දෙන්න ඕන ද, එහෙම නම් ලබා දෙන්න ඕන මොන එන්නත ද වගේ ප්‍රශ්න බටහිර සාකච්ඡා වෙනවා. මෙරට බටහිර වෙද මහත්වරු හා වෙද හාමිනේලා කරන්නේ පුනරුච්චාරණයක් පමණයි.

 

අර එන්නත හොඳ ද මේ එන්නත හොඳ ද කියා කීම අවසාන වශයෙන් දේශපාලන තීන්දුවක්. ලෝක සෞඛ්‍ය සංවිධානය ස්වාධීන ආයතනයක් කියා හිතන්න එපා. ඊනියා ජාත්‍යන්තර සංවිධානවලට නිලධාරීන් පත් කිරීම ම දේශපාලන ක්‍රියාවක්. සමහරු කියන්නේ කොවිඩ් සැලසුමක් ඇතුව පතුරවපු රෝගයක් බවත් එයට එන්නත් විකීණීමෙන් ලාබ ලබා ගැනීමට ඇතැම් සමාගම්වල පෙර සූදානමක් තිබූ බවත්.

 

ෆයිසර් හොඳය කියා කී නිසා ඇතැමුන් ෆයිසර් එන්නත ලබා ගන්න හා දෙන්න උනන්දු වුණා. ඒත් පසුගිය දා ලන්ඩනයේ පළවන ගාඩියන් පත්තරේ තිබුණ කියනව ළමුන්ට ෆයිසර් දුන්න ම වෙනත් රෝග ඇති වෙනව කියල. ඔය මොන සමාගමටත් දේශපාලන සම්බන්ධකම් තියෙනවා. ඒ ඒ එන්නත් නිපදවන සමාගම් අතර තරගයක් තියෙනවා. එය දේශපාලනය හා සම්බන්ධයි. දේශපාලනයෙන් තොර විද්‍යාවක්වත් සංගිතයක්වත් කලාවක්වත් නැහැ. ෆයිසර් කතාවත් මෙරට පුනරුච්චාරණය කරන්න (මේ කරනවා කියන්නෙ නැතිව ක්‍රියා පදයක් හදා ගන්න බැරි ද? සෙල්ලම් කරනවා කියන්නෙ කෙළිනවා කියන එකට. කරනවා කියන පදය වෙනත් භාෂාවලින් ගත් ක්‍රියා පද අවශෝෂණය කර ගන්න –- නැවතත් කර- බැරුව යොදන පදයක්. නාම පදවල බස් එක, ට්රේන් එක ආදී වශයෙන් එක කියා පදයක් යොදා ගන්නවා. අපේ නිරමාණ ශක්තිය අන්තිමට ම පිරිහිලා) බටහිර වෙද මහත්තුරු ඉන්නවා.

 

මා කියන්නේ නැහැ මෙරට බටහිර වෙද මහත්තුරුන්ට හා බටහිර වෙද හාමිනේලාට ඊනියා පර්යේෂණයෙන් ඒ ඒ වයස්වලට හොඳ එන්නත මොකක් ද කියා කියන්න කියා. උකුණන් හා ඉකිණියන් ලවා ගල් අද්දන්න පුළුවන් ද? බටහිර වෙදකමට ප්‍රතිකාරයක් නැතිව සිටිය දීත් මොවුන් පතුරවන්නේ අති විශාල ඔරොත්තු නොදෙන ආධිපත්‍යයක්. මෙරට කොවිඩ් රෝගය පැතිරුණු මුල් කාලයේ දී ආණ්ඩුව එයට වැට බැන්දා. එකල බටහිර වෙද මහත්තුරු හා වෙද හාමිනේලා පැත්ත පළාතක හිටියේ නැහැ. ඒ ප්‍රතිකාර නැති නිසා කරන්නේ කුමක් දැයි නොදත් නිසා. එහෙත් මුලින් ම හොට දැම්මේ පාදෙණියගේ ගෝලයන්. පාදෙණිය ජනාධිපතිතුමා ළඟ හැසිරෙන ආකාරයට වෙනස් ආකාරයකින් ගෝලයන් මාධ්‍යයේ හැසිරෙනවා. අපට නිරීක්‍ෂණයක් හැටියට කියන්න පුළුවන් බටහිර වෙද මහත්තුරු හා වෙද හාමිනේලා ප්‍රශ්නයට අත දැමීම වැඩිවීමත් සමග රෝගය පැතිරීමත් වැඩි වුණා කියා. අප අහනවා දොස්තරලා මොනවද කෙළේ කියා.

 

රෝගීන් වෙන් කරනවා කියන එක අපේ සංස්කෘතියේ ඇති දෙයක්. එහෙත් රෝගීන් වෙන් කළ පමණින් අප ගෙවල් වහන්නේ නැහැ. නෑදෑ හිතමිතුරන් ගෙදරට ඒම නම් හැකිතාක් වළක්වන බව ඇත්තයි. ඒ සඳහා අපට විවිධ සන්නිවේදන ක්‍රම තිබුණා. අද නම් ජනමාධ්‍ය තියෙනවා. කෙසේ නමුත් වෙන් කිරීම කියන එක  හරිහැටි සන්නිවේදනය වුණෙ නැහැ. ආසාදනය හා රෝගය වැළඳීම කියන සංකල්ප දෙක අතර වෙනසවත් සන්නිවේදනය වුණෙ නැහැ. බටහිර වෙදකමට ගෑවිච්ච අය පීසීආර් + අය බලෙන් උස්සන් ගියා. ඒ බටහිර විද්‍යාව රෝගය ගැන නොදැන සිටි නිසයි. දැනුත් දන්නේ නැහැ. ඔවුන් ප්‍රස්තාර සංඛ්‍යා ලේඛන ආදිය මගින් ජනතාව අන්දවමින් තම නොදැනුවත්කම හංගනවා. ඔවුන් දැන ගෙන හිටියේ රට වහන්න කියන එක පමණයි. රටවල් වහපු අයත් අද කියනවා එය සාර්ථක නැහැ කියා. රට වහපු එකෙන් ඇතැමුනට රට ජංගි නැතිවෙලා. කමක් නැහැ. බන්දුල ගුණවර්ධන දේශීය ජංගි දෙන්න සූදානම්.

 

බටහිර දැනුමේ ආධිපත්‍යය මෙරට ඇතිවෙලා අවුරුදු හැටක් පමණ. බටහිර දැනුමේ ආධිපත්‍යය ප්‍රභූ පාසල්වල ඉගෙන ගත්  අය අතර දහනවවැනි සිය වසේ සිට තිබුණා. එහෙත් ගමට එය ගියේ සුළු වශයෙන්. ඒත් යම් උගත්කමක් තිබූ අය මගින්. අප කුඩා කළ අප බෙහෙත් ගත්තේ වෙද මහතාගෙන්. එහෙත් ඇතැම් විටක ගුරුවරියක වූ අපේ අම්මා ඉංගිරිසි බෙහෙත් ටිකක් ගැනීමට අප එක්කන් ගියා. අප එකල අවුරුද්ද කියා කිවුවේ බක් මහේ අවුරුද්දට. ජනවාරි මාසයේ අපට අවුරුද්දක් ලැබුවේ නැහැ. අප එයට කිවුවේ ජනේරුව කියා. අපේ දෙමවුපියන් මා අවුරුදු හතේ සිට කොළඹ පාසල්වලට යැවුවා. අපට පාසල්වලින් බලපෑම් කළ නමුත් ගෙදර දී හා පන්සලේදී එය යම් පමණකට හරි කැපී ගියා. මා කුඩා කල පන්සල් පොත් කියෙවුවා.

 

එහෙත් බලා සිටිය දී සමාජය වෙනස් වුණා. අප බෙහෙත් ගන්න දොස්තර මහතා ළඟට ගියා.ඇතැම් විටක සිංහල බෙහෙත් ටිකක් ගැනීමට වෙද මහතා ළඟට ගියා. අපට ජනවාරියේ අවුරුද්ද ලැබුවා. බක් මහේ සිංහල අවුරුද්ද ලැබුවා. ඉංගිරිිසි හා සිංහල යන පද විශේෂණ ලෙස භාවිතාවේ වෙනසක් සිදු වුණා. බටහිර සංගීතයක් එකල තිබුණේ නැහැ. එහෙත් අවුරුදු හැටකට පමණ පෙර ඊනියා ලෝක සංගීතය ගෙදර භාෂාව සිංහල වූ අය අතරට ආවා. සුනිල් පෙරේරාගේ තාත්තා ජිප්සීස් කණ්ඩායම හදනවා මට මතකයි. එතෙක් අපට තිබුණේ ඉන්දීය සංගීත. මා ඉන්දීය සංගීත හොඳය කියනවා නො වෙයි. මේ ලිපියේ මාතෘකාවට පාදක වුණෙ අමරදේව කී කතාවක්. ඔහු කතෝලික පිලිපීනයේ මැග්සේසේ ත්‍යාගය දිනා ඇහුවේ මහ සඟ ගණ මොනවද කෙළේ කියලයි. 

 

අප බටහිර සංස්කෘතිය (දැනුම ද සංස්කෘතියේ ම කොටසක්) අවශෝෂණය නොකර අනුකරණය කිරීම කරනවා යන්න යොදා ගැනීම වගේ වැඩක්. කිරීම යන්න ඉතා ඈත අතීතයට යන්නක්. අප මල් පූජා කරනවා. පුදන කොට ම කාපි යකා කිවුවලු. අපි මේ බටහිර සංස්කෘතික ආධිපත්‍යය පැතිර යෑමට  නිදහස් අධ්‍යාපනය කෙතෙක් දුරට හේතු වුණා ද යන්න පසුව සොයා බලමු.

 

ලිපිය අවසන් කිරීමට පෙර අගමැති මහින්දට මගේ කණගාටුව ප්‍රකාශ කරන්න ඕන. ඔහුට පාප් වහන්සේ හමුවන්න බැහැ. පාප් වහන්සේ අද ස්ලොවේකියාව බලා පිටත් වෙනවා. හංගේරියාවේ සුළු වෙලාවක් නතර වෙනවා. සමහර විට මහින්ද වෙනුවට හංගේරියානු අගමැති වික්ටර් ඕබාන් හමුවේවි. ඉන් පසු ස්ලොවේකියාවට යනවා. එහි යුදෙව්වන් මහත් ඕනෑ කමින් බලා සිටිනවා පාප් වහන්සේ පැමිණ එරට යුදෙව් කතෝලික විරසකය සමනය කරාවි කියා. මෙරට බිෂොප් සභාව හා කාදිනල්තුමා පාප් වහනසේගේ ස්ලොවේකියා ගමන ගැන දැන සිටියේ නැද්ද? සමහර විට මහින්ද හා වික්ටර් (නැහැ අයිවන් නොවෙයි) පටලවා ගත්ත ද දන්නෙ නැහැ. පාප් වහන්සේ බුඩාපෙස්ට්හි අද අවසන් වන අන්තර්ජාතික සත්ප්‍රසාද සමුළුවේ අවසන් දේව මෙහෙය පවත්වනවා. මෙරට බිෂොප් සභාව ඒ සමුළුව මහින්ද බොලොඤ්ඤා සරසවියේ සහභාගි වූ අන්තර්ජාතික ආගමික සමුළුව සමග පටලවා ගත්තා කියා හිතන්න බැහැ. හැබෑට මහින්ද ආපසු එන්නේ කවදා ද?