History

Sunday, 28 November 2021

භාෂාවක් නැති ව වචන කතාකරන මෝඩ සිංහලයෝ

 

භාෂාවක් නැති ව වචන කතාකරන මෝඩ සිංහලයෝ

 

සිංහලයන් තරම් යටත්විජිත මනසක් ඇති ජාතියක් ලෝකයේ තවත් ඇතැයි මා හිතන්නේ නැහැ. ලංකාව හා මියන්මා දේශය යන දෙක ම ථෙරවාදී රටවල් වුවත් මියන්මා වැසියන් (බුරුම ජාතිකයන්) සිංහලයන්ට වඩා තම රටට භාෂාවට ලැදියි. යැන්ගොන් නුවර ඉංගිරිසි නාම පුවරු දකින්නට ලැබෙන්නේ කලාතුරකින්. එහෙත් අප නාම පුවරු හදන්නේ ඉංගිරිසින්ට ද කියා හිතෙනවා. බුරුම ජාතිකයන් ත්‍රිපිටකය බුරුම බසින් පවත්වා ගෙන යන්නේ බොහෝ කලක සිට. එහෙත් අප ත්‍රිපිටකය සිංහලට පරිවර්තනය කෙළේ ඉතා මෑතක දී. එහි දී  එක් එක් අය තම තමන්ට අවශ්‍ය ආකාරයට පරිවර්තනය කරන බවක් පෙනෙන්න තියෙනවා.

 

ඉංගිරිසි වචන නැතිව අපට කතා කරන්න බැහැ. අද උදේ මට ඇහුනා එක්තරා කාන්තාවක් මොකක් ද කේස් එක කියා අහනවා. මා හිතන්නෙ නැහැ ඇය ඉංගිරිසි වචන රාශියක් දන්නවා කියා. මා ඉංගිරිසි වචන රාශියක් දන්න බවක් එයින් කියන්නේ නැහැ. සමහර අය සිංහල කතා කරන්නේ සම සම ව මෙන් ඉංගිරිසි වචන යොදා ගනිමින්. අප භාෂාවක් කතා නොකරන නොලියන ජාතියක්. අප කතා කරන්නේත් ලියන්නේත් චචන. ඒ වචනවලින් අදහස් කරන්නේ මොනවාද කියා ඒ වචන යොදා ගන්නා අයවත් දන්නේ නැහැ. එය ප්‍රශ්නයක් නො වෙයි. ඒ චචන අසන අයට හරි කියවන අයට හරි ඉන් කියැවෙන්නේ මොකක් ද කියා දැන ගැනීමටත් වුවමනාවක් නැහැ. අවශ්‍ය වන්නේ වචන වැමෑරීම පමණයි.

 

අපට කිසිම දෙයක් හරියට දැන ගැනීමට අවශ්‍ය නැහැ. අපට නිරවුල් ව අදහස් ප්‍රකාශ කරන්න බැහැ. අද පරිපාලන සේවය සමස්තයක් ලෙස ගත්ත ම දුර්වලයි. එකල සිවිල් සේවකයන්ට යමක් නිරවුල් ව ඉංගිරිසියෙන් කීමේ යම් හැකියාවක් තිබුණා. ඒ ඔවුන් ඉංගිරිසින්ගෙන් ලබා ගත් හැකියාවක්. අද රාජ්‍ය සේවයේ ප්‍රධාන කාර්යයක් වෙලා තියෙන්නෙ විරුද්ධ පක්‍ෂයට තොරතුරු ලබා දීම. එහෙත් එයත් නිරවුල් ව කරන්නෙ නැහැ. වෙන්න උපාධිධාරී සජිත්ගේ නායකත්වයෙන් ඇති  විරුද්ධ පක්‍ෂය ඒ අවුල් සහගත තොරතුරු ඉදිරිපත් කරන්නේ තවත් අවුල් කරලා. ආණ්ඩුව එයට වඩාත් අවුල් පිළිතුරක් ලබා දෙනවා. ජනමාධ්‍යයෙන් එය තවත් අවුල් කර ඉදිරිපත් කරනවා. ජනතාව අතර නිරවුල් මතයක් තියෙන්න පුළුවන් ද? ජනතාවටත් නිරවුල් ව දැන ගැනීමේ වුවමනාවක් හරි හැකියාවක් හරි නැහැ. 

 

මෙය අතීතයේ සිට එන එකක් වෙන්න පුළුවන්. අප පාළි දන්නේ නැහැ. ඒත් පාළි වචන යොදා ගන්නවා. ඒ වචනවලට අපට සරිලන අර්ථ දෙනවා. අඤ්ඤා කොණ්ඩඤ්ඤ කියන එකෙන් අදහස් වන්නේ මොකක් ද කියල කාට හරි කියන්න පුළුවන් ද? ඇතැමුන් අඤ්ඤා කියන්නේ විශේෂිත වූ ඤාණයකට. මට නම් එහෙම කියන්න බැහැ. විතක්ක කියන එකේ එහෙම නැත්නම් විඥානය කියන එකේ තේරුම මොකක් ද? සංඛාර කියන්නෙ මොනවා ද? වාචී සංඛාර ආදිය ද? එහි තේරුම කුමක් ද? අටුවාවෙ තියෙන එක කට පාඩමෙන් කී පමණින් යමක් තේරුම් ගන්න පුළුවන් ද?

 

අප රටේ එදා සිට ම උගතුන් ඉඳලා තියෙනවා. බොහෝ ඇසූ පිරූ තැන් ඇති අය ගැන අප කියනවා. අදත් බොහෝ කියවූ අය ඉන්නවා. අද බොහෝ දෙනෙක් කියනවා තම කියවීම මේකයි කියා. සමහරු මුල දි මගෙනුත් ඇහුවා යමක් ගැන මගේ කියවීම මොකක් ද කියා. මා ඔවුන්ට කීවේ මා කියවන්නේ නැති බවයි. කියවීම කියන එකට බටහිර දැනුමේ විශේෂ අර්ථකථනයක් තියෙනවා. අහවල් චිත්‍රපටය ගැන ඔබේ කියවීම කුමක් ද කියන එකෙන් කියන්නෙ මොකක් ද? අප කියවීමක් ගැන කියවන්නේ මොන තේරුමෙන් ද?

 

අපේ යටත්විජිත මනස අද ඊයේ ඇති වූවක් නො වෙයි. ඉංගිරිසින් ඒ මනස තවත් වර්ධනය කළා පමණයි. පැරණි සිවිල් සේවකයන්  යම් නිරවුල්තාවකින් චක්‍රලේඛ නිකුත් කෙළේ යටත්විජිත මනසකින්. අද පරිපාලන සේවයේ චක්‍රලේඛ නිකුත් වන්නේත් යටත්විජිත මනසකින්. අද එදාට වඩා අවුල්. අද බොහෝ විට කියැවෙන වචනයක් තියෙනවා. ඒ අවුල. මොකක් ද කේස් එක එමෙත් නැත්නම් මොකක් ද සීන් එක කියා ඇහුව ම අපට ඇහෙනවා අවුලක් නැහැ කියනවා. ඒත් එය නිරවුල් නැහැ. අද ප්‍රශ්නය ම අවුල නිරවුල් නො වීම.

 

අප අවුරුදු එක්දහස් පන්සීයකට පමණ නිර්මාණයක් කර නැහැ. මා කියන්නේ අප අදහස් නිර්මාණය කර නැහැ කියන එක. මා කියන්නේ නැහැ කවි නිර්මාණය, ගීත නිර්මාණය නිර්මාණ නො වේ කියා. ඒ නිර්මාණ තමයි. ඒත් මා සඳහන් කරන්නේ සංකල්ප, කතන්දර (ප්‍රවාද) නිර්මාණය ගැන. අද අප රටේ ප්‍රධාන ප්‍රශ්නය ඩොලර් ප්‍රශ්නය. අපට කාණුවක් කාණුවක් ගානේ ආර්ථික විද්‍යාඥයන් ඉන්නවා. ඒත් ප්‍රශ්නයට විසඳුම් නැහැ. ඔවුන් බර වචන යොදා ගනිමින් මාධ්‍ය සංදර්ශන පවත්වනවා. ඔවුන් දන්නේ සංඛ්‍යා ලේඛන ඉදිරිපත් කිරීමට. ඩොලර් සංචිතය මෙපමණයි, අපට ගෙවන්න තියෙන ණය මෙපමණයි, සංචාරකයන්ගෙන් එදා ලැබුණු ඩොලර් ප්‍රමාණය මෙපමණයි, අද ලැබෙන ප්‍රමාණය මෙපමණයි, විදෙස් රැකියාවලින් එදා ලැබුණු ඩොලර් ප්‍රමාණය මෙපමණයි, අද ලැබෙන ප්‍රමාණය මෙපමණයි ආදී වශයෙන් සංඛ්‍යා ලේඛන ඉදිරිපත් කරනවා. ඒත් විසඳුම් නැහැ.

 

බටහිර වෙද මහතුන් ද ඊට දෙවැනි නැහැ. කොවිඩ් (බටහිරයන් මෙය කෝවිඩ් ලෙස උච්චාරණය කරනනේ මොන රීතිය අනුව ද කියා දන්නා අයකු කියනවා ද) ආසාදිතයන් මෙපමණයි, මරණ සංඛ්‍යාව මෙපමණයි, අනුරාධපුරයේ ආසාදිතයන් ඉහළ යෑමේ ප්‍රතිශතය මේකයි, පාසල් ළමුන් අතර ආසාදිත සංඛ්‍යාව මෙපමණයි, සමාජයීය දුරස්ථභාවය සඳහා තබා ගත යුතු දුර මෙපමණයි ආදී වශයෙන් ඔවුන් සංඛ්‍යා ලේඛන ඉදිරිපත් කරනවා. ජනතාව අහගෙන ඉන්නවා. දකුණු අප්‍රිකානු ප්‍රභේදය ගැන කියනවා. එංගලන්තයට දකුණූ අප්‍රිකානු ප්‍රභේදය ආසාදිතයන් මෙපමණ ඇවිත් කියන්න අප දන්නවා. ඒත් විසඳුම් දන්නේ නැහැ.

 

මේ කරුණු දැනුම මිණුම තරගවලට නම් හොඳයි. මහවැලි ගඟේ දිග කොපමණ ද? මහවැලි කලාපයේ වකුගඩු රෝගීන් කොපමණ ඉන්නවා ද? ඒ රෝගීන් අතර පිරිමි ප්‍රතිශතය කුමක් ද? අපට සංඛ්‍යා ලේඛන අවශ්‍ය නැහැ. අවශ්‍ය විසඳුම්. බටහිර තම ස්වාමීන්ටත් විසඳුම් නැහැ කියා අපේ විශේෂඥයන් කියාවි. ඔවුන් අඤ්ඤා ද, ඔවුන්ගේ විඥානය කුමක් ද. විශේෂඥයන් දේශපාලනඥයන්ට දෙවැනි නැහැ. මේ විවිධ අඥයන් අතර වෙනසක් තියෙනවා ද? අප යටත්විජිත මනසෙන් මිදෙන්නේ කවදා ද? අපේ ඥානය ගැන අපට විශ්වාසයක් නැහැ. ඒ ඥානය දැන් අපට නැද්ද? ඥානය නැත්තේ අඥානයන්ට ද? සිංහලයා මෝඩයා යැයි බටහිරයන් කියන්න ඇත්තේ අපේ තරම දැන ගෙන වෙන්න ඕන. අප ගිවිසුම්වලින් යටත් කරන්න පුළුවන් ජාතියක්. සකර්බර්ග්ගේ අනාථ කඳවුරේ පඬි නැට්ටන් ගැන ඔවුන් කියනවා ඇත්තේ තම පදයට නටන පල් මෝඩයන් කියා. පල් මෝඩයන් තමයි වැඩියෙන් නොතේරෙන වචන පාවිච්චි කරන්නෙ.