History

Monday, 29 November 2021

සිංහල බෞද්ධ ආර්ථිකයක් ගැන හිතමු

 

සිංහල බෞද්ධ ආර්ථිකයක් ගැන හිතමු

 

පුංචි බණ්ඩා ජයසුන්දර කියා තිබුණා රටේ ආර්ථිකය ඉතාම අවදානම් තත්වයක ඇති බව. මේ තොරතුරු ලැබෙන්නේ ජනමාධ්‍ය හා සමාජයීය මාධ්‍ය මගින්. ජනමාධ්‍ය කියන්නේ යම් සමාගමක් ජනතාව වෙනුවෙන් පවත්වාගෙන යන තොරතුරු ලබා දීමේ ක්‍රමයකට. එහි ඕනෑම කෙනකුට ඕනෑම දෙයක් කියන්න හරි ලියන්න හරි බැහැ. ඒ පාලනය කිරීමට ප්‍රවෘත්ති කතෘවරු විශේෂාංග කතෘවරු ආදී පිරිස් ඉන්නවා. ජනමාධ්‍ය තොරතුරුවලට අමතර ව එක්තරා වින්දනයක් ද ලබා දෙනවා. ගීත, නාට්‍ය, ඊනියා විශ්ලේෂණ ආදිය මගින්.  සමාජයීය මාධ්‍ය තනිකර ම මෙන් අද විද්‍යුත් මාධ්‍යයක්. එහි අදාළ තාක්‍ෂණය දැන ගත් විට තමන්ට ම ලියන්න පුළුවන්. එහි දී සාමාන්‍යයෙන් බාධාවන් ඇති වන්නේ නැහැ. තහනම් කිරීම් ආදිය සමහරවිට නොකරනවා නොවෙයි. එ එක්තරා පැත්තකින් තම සුපිරිසිදු බව පෙන්වීමට සකර්බර්ග් වැන්නන් යොදා ගන්නා ප්‍රෝඩාවක්. අනෙක් පැත්තෙන් බටහිර ක්‍රිස්තියානි නූතනත්ව ආධිපත්‍යයට යට නොවන්නන් යට කිරීමට කරන වැඩක්.

 

ඉස්සරත් සමාජයීය මාධ්‍ය නොතිබුණා නො වෙයි. එකල කවි කොළ තිබුණා. යම් දෙයක් පිළිබඳ තම මතය ප්‍රකාශ කිරීමට එය මාධ්‍යයක් වුණා. පෝස්ටරයත් සමාජ මාධ්‍යයක්. මා හිතන්නේ මාටින් ලූතර් තමයි පෝස්ටරයේ පියා. ඒ අතර අප සාමාන්‍යයෙන් කැලෑ පත්තර යනුවෙන් හැඳින්වෙන මාධ්‍යයක් ද තියෙනවා. එහි කතෘ අඥාතයි. අද මුහුණු පොතේ ද කැලෑ පත්තර තියෙනවා. ආරූඪ නම්වලින් ලියන්නේ කැලෑ පත්තර. සකර්බර්ග් කැලෑ පත්තර නවීකරණය කරලා කියන්නත් පුළුවන්.

 

ඒ කොහොම වුණත් ජයසුන්දරගෙ කතාව මා ලබා ගත්තෙ වෙබ් අඩවියකින්. වෙබ් අඩවිත්  සමාජයීය මාධ්‍ය වර්ගයක්. සමාජයීය මාධ්‍ය හා ජනමාධ්‍ය  ඉරක් ගහලා වෙන් කරන්න බැරි බවත් මා දන්නවා. ජනමාධ්‍යවත් සමාජයීය මාධ්‍යවත් සියයට සියයක් විශ්වාස කරන්න බැහැ. ජයසුන්දරගෙ කතාව ගැන මට සහතික වෙන්න බැහැ. වෙබ් අඩවියට අනුව ඔහු  මෙහෙමත් දෙයක් කියල තිබුණා. අපි ඒ මත පදනම් වෙමු.

 

කලින් රටේ වෙළඳ ශේෂය මීට පෙර වඩා හොඳ මට්ටමක පැවතුණා. සීමා පැනවීමට පෙර රට අපනයනය කළාට වඩා දෙගුණයක් ආනයනය කරමින් සිටියා. ලෝකයේ නැව් සහ භාණ්ඩ මිල දැන් ඉහළ ගිහින්. සංචාරක හා විදේශ ප්‍රේෂණ එන විට වෙළෙඳ හිඟය මසකට ඩොලර් බිලියන 10ක් වෙලා. අද වන විට රට ඩොලර් බිලියන 4ක ණය බරකට කොටුවී සිටිනවා.” ඔහු වැඩිදුරටත් පැවසීය.

 

ශ්‍රී ලංකාවට අතීතයේ සිය වගකීම් ඉටුකිරීමේ දුෂ්කරතා නොතිබූ බවද පෙන්වා දුන් ජනාධිපති ලේකම්වරයා 2020 දී ක්‍රියාත්මක කළ වෙළෙඳ සීමා හේතුවෙන් බොහෝ දෙනෙකුට අපහසුතා ඇතිවු බවද පැවසීය.” "

 

මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. පසුගිය කාලයෙ අවුරුදු කිහිපයක් හැරුණා ම මෙරට ආර්ථිකය පාලනය කෙළෙ ජයසුන්දර. අද ආර්ථිකය ඉතා අවදානම් තත්වයක තියෙනවා නම් එයට ජයසුන්දරත් වග කියන්න ඕන. ජයසුන්දර ආණ්ඩුවලට දුන්නු උපදෙස් මොනවා ද? යමපාලන කාලෙ විශාල ණය කන්දරාවක් අරගෙන තියෙනවා. මට ඔය ගණන් හිලවු මතක නැහැ. ජයසුන්දර ඒකට වග කියන්න ඕන නැහැ කියමු. ඒ හැරුණම ජයසුන්දරගෙ ආර්ථික ප්‍රතිපත්තිය මොකක් ද?

 

මා කිසිසේත් ම ආර්ථික විද්‍යාඥයෙක් නො වෙයි. මා විද්‍යාඥයකු නොවුණත් බටහිර විද්‍යාවට මොකුත් නොකළත් ගණිතමය භෞතික විද්‍යාවෙ රැඳී සිටීමට හැකි වුණා. ජයසුන්දර ගැන මා කියන දේ වැරදි වෙන්න පුළුවන්. මට තේරෙන්නෙ නැති නිසයි මා මේ ප්‍රශ්න නගන්නෙ.  වෙළෙඳ හිඟය මසකට මෙච්චරයි කියල ජයසුන්දර කියනවා. ඒ කියන්නෙ අපේ ආනයන අපනයනවලට වඩා එන්න එන්න වැඩිවෙලා කියන එක. දැන් එය නැති කරන්න බැරි නම් අඩු කරන්න ජයසුන්දර දීල තියෙන උපදෙස් මොනවා ද? මේ තත්වය අහසින් කඩා වැටුණු දෙයක් නො වෙයි.

 

ජයසුන්දර කියනවා අපේ වෙළෙඳ ශේෂය මීට වඩා හොඳ මට්ටමක තිබුණ කියා. මට්ටම මොකක් ද කියල නොකිවුවත් ඒ කාලෙ අපනයනය කළාට වඩා දෙගුණයක් ආනයනය කළා කියනවා. එහෙම කෙළෙ ඇයි? එතකොට වෙළෙඳ හිඟය වැඩි වෙන්නෙ නැද්ද? ඒ කාලෙ අපනයන වැඩි කරල ආනයන අඩු කළා නම් වෙළෙඳ හිඟය අද තරම් පහත මට්ටමකට වැටෙන්න බැහැ. එදා නැවු ගාස්තු අඩු නිසා හිතුමනාපෙ ආනයනය කළා ද? අප ආනයන අඩු කරන්න සැලැස්මක් ඇතුව (ඊනියා විද්‍යාත්මක කතාවක් නොවෙයි) වැඩ කෙළෙ බණ්ඩාරනායක මැතිණියගෙ කාලෙ විතර ද? 

 

යමපාලකයො ගත්ත ණය කන්දරාවට වෙච්ච දෙයක් නැහැ. මා අහගෙන හිටියා පාලිත තෙවරප්පෙරුම කියනවා රනිල් තරම් දක්‍ෂ නායකයකු නැති බව. තෙවරප්පෙරුම කියන හින්ද හොඳයි. ඒ ගත්ත ණය රනිල් මෛත්‍රිපාලට දුන්න ද? රනිල් දන්නෙ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යන්නයි මහා බැංකුවට යන්නයි විතරයි.

 

මේ 2020 පනවපු වෙළෙඳ සීමා මොනවා ද? ජයසුන්දර ඒ ගැන විස්තරයක් කියල නැහැ. අපි කිවුවට ජයසුන්දර ඒ විස්තර කරන එකක් නැහැ. පඬි නැට්ටන් කියන්නෙ අප ඉන්නෙ දූපත් මානසික තත්වයක කියලා. බටහිර ඉන්දීය දූපත්වල ඉන්න අය බහු දූපත් මානසික තත්වයක ඉන්නවා ද දන්නෙ නැහැ. ඔය ක්‍රිකට් කණ්ඩායම ආපහු යන්න ඉස්සෙල්ල ඒක ගැන දැන ගන්න පඬි නැට්ටකුට පුළුවන් ද? ඒ කොහොම වෙතත් අපි ණයට කන ජාතියක්. ණය වෙලා හරි ඇපල් මුද්දරම්පලම් කන්න ඕන. පාවහන් කර්මාන්තයට අවශ්‍ය අමු ද්‍රව්‍ය ගේන්න තියෙන මුදලින් හරි ඇපල් කන්න ඕන. ඇපල් කෑව කියල අපට නිවුටන්ලා වෙන්න බැහැ. ඇපල් ඔළුවට වැටුණ නොවෙයි ඇපල් නෑවත් අපට බැහැ. අපි බණ්ඩාරනායක මැතිණිය පරාජය කරලා ජේ ආර් පත් කර ගත්තෙ ඇපල් කන්න.

 

දූපත් මානසික තත්වය කොහොම වුණත් අපි දන්නවා අදත් එදත් ලෝකයෙ අපිට තනියම ජීවත් වෙන්න බැරි බව. ඉස්සරත් අපි වෙළෙඳම් කළා. අපට අශ්වයො ඉඳලයි අපේ රජවරු අශ්වයා පිටින් ගිහින් යුද්ධ කෙළෙ. අර වේළුසුමන යෝදයා (යෝධයාට වඩා යෝදයාහි ලෙන්ගතු අරුතින්) වුණත් මාගම ඉඳන් අනුරාධපුරේ ගියෙ බරකරත්තෙන් නො වෙයි. තම්මැන්නාව කියන්නෙ වෙළෙඳ කලාපයක් ද? රාජ්‍ය ඇමති අරුන්දික ප්‍රනාන්දුත් කියනව වගේ කුදිරමලේ කියන්නෙ අශ්වයො ගොඩ බාපු වරාය වෙන්න ඇති. කුවේණිගෙ නෑයන් ඝාතනය කරන්න විජය ගියෙත් අශ්වයා පිටින්. කුවේණි තරුණ කමට කළ මෝඩ වැඩට අපි තවමත් වන්දි ගෙවනවා. ඇයත් ජීවිතයෙන් වන්දි ගෙවුව. අපේ මෝඩ වැඩවල නම් කෙළවරක් නැහැ. මෝඩ වැඩ නැති වෙන්නෙ ජාතිය නැති වුණාම ද?

 

අප ආනයනය කරන්න ඕන. ඒත් ඒ මොනවා ද කියන එක ගැන කල්පනාවක් තියෙන්න ඕන. අපි ලෝක වෙළෙඳ පොළට අපනයනය කරන්න ඕන. අපට පහසුවෙන් ම අපනයනය කරන්න පුළුවන් බටහිර රටවල ඉල්ලුමක් ඇති කාබනික ආහාර. කාබනික ගොවිතැන ගැන විවිධ මත තියෙන්න පුළුවන්. අපි හෙළ ගොවිතැන ගැන උනන්දුවන අතර ලෝකයට අවශ්‍ය කාබනික ගොවිතැන මහා පරිමාණයෙන් කරන්න ඕන. අපට හෙළ වෙදකම මගිනුත් විදේශ විනිමය උපයා ගන්න පුළුවන්. ඒ අතර අපට පුළුවන් විධියට පොල් රබර් ආදී වගාවන්ගෙන් නිපදවන්න හැකි දේ අපනයනය කරන්නත් ක්‍රියා කරන්න ඕන. තේ යොදා ගෙන නිෂ්පාදනය කරන්න පුළුවන් දේ තියෙනවා. ලෝකයේ තැඹිලි තියෙන්නෙ ලංකාවෙ විතරයි කියනවා. මට වුවමනාවක් තිබුණ තැඹිලි මියන්මා දේශයට ආනයනය කරවන්න. එහි පොල් තියෙනවා. ඔවුන් එයින් ප්‍රයෝජනයක් ගන්නෙ නැහැ.  අප රටවල් දෙකට එකතු වෙලා පොල් කර්මාන්ත ඇති කරන්න පුළුවන්. 

 

මා නැවතත් මතක් කරනවා මා දන්නා බටහිර ආර්ථික විද්‍යාවක් නැති බව. ඒත් මා දන්නවා බටහිර භෞතික විද්‍යාවෙත් වැරදි තියෙන බව. මහා පිපිරුම (big bang) වගේ ම කළු කුහරත් (black holes) පට්ටපල් බොරු. ඒ දෙක ගැන ම අපට සිංහල බෞද්ධ දැනුමක් තියෙනචා. මා දන්නේ සංවට්ට කප්ප විවට්ට කප්ප විශ්වයක් ගැන හා කළු නොවන පෘෂ්ඨ ගැන. සිංහල බෞද්ධ ආර්ථිකයක් ගොඩ නගන්න කාලය ඇවිදින්. නිකවැරටියෙන් ආපු ජයසුන්දරට ඒ ගැන අදහසක් තියෙනවා ද?