History

Friday, 10 December 2021

වමකුට මගේ කණට ගහන්න අවශ්‍ය වෙලා

 

 

වමකුට මගේ කණට ගහන්න අවශ්‍ය වෙලා

 

මේ ලිපිය නොවැම්බර් 24 වැනි දා ලිපිය හා අදාළ ලිපි පෙළ හා සම්බන්ධයි. මෙය වමක් නැති වමාලාගේ කතාවයි. අද වමාලා ප්‍රධාන වශයෙන් කම්කරු මාවත ධාරාවේ හා ජ වි පෙ ධාරාවේ අනුප්‍රාප්තිකයන්. කම්කරු මාවත, විප්ලවවාදී කොමියුනිස්ට් සංගමය, පශ්චාත්නූතනවාදය අද නැත්තට ම නැති වී ගොස්. ජ වි පෙ මුල් පක්‍ෂය තවමත් ගමට යන්න හදනවා. ඔවුන් ගම කියා හිතාගෙන මහරගමින් වැඩ ඇල්ලුවා. මහරගමත් දැනට අවුරුදු පනහකට පමණ පෙර නම් ගමක් තමයි. ජ වි පෙරමුණට යන්න තඹුත්තේගම නම් ගමක් තියෙනවා. ඒත් රනිල්දාස එහි යන්නේ නැහැ. අද ජ වි රෙමුණෙන් කැඩුණු කෙකරගාමින් ජඩමාධ්‍යයට පින් සිද්ධවෙන්න ඉන්නවා. මේ කොයි වමාලත් අද වමක් නැති අනාථයන්.

 

වම නැතිවීම ජාතික වශයෙන් මෙන් ම ජාත්‍යන්තර වශයෙනුත් සිද්ධ වුණා. ජාතික වශයෙන් වම නැති වීමට ප්‍රධාන හේතුව වුණෙ 1952 ශ්‍රි ල නි පක්‍ෂයේ බිහි වීම. ශ්‍රී ල නි පක්‍ෂයේ බිහිවීමටත් ජාත්‍යන්තර තත්වයත් යම් ප්‍රමාණයකට බලපෑවා. ශ්‍රී ල නි පක්‍ෂය කියන්නෙ දහනවවැනි සියවසේ මෙරට ඇති වූ ක්‍රිස්තියානි විරෝධී බෞද්ධ ප්‍රබෝධයේ අනුප්‍රාප්තිකයෙක්. මා කලින් සඳහන් කර ඇති එකී බෞද්ධ ප්‍රබෝධයේ නායකයන් වුණෙත් ඉංගිරිසි අධ්‍යාපනය හා ඉංගිරිසි ආර්ථික ක්‍රමය නිසා බිහි වූ අය කියා. පසුව ඒ ව්‍යාපාරයට එකතු වූ ඕල්කට්තුමාත් ක්‍රිස්තියානි විරෝධියෙක්. ඒත් ඔහු බෞද්ධයෙක් නො වෙයි. ඔහු ක්‍රිස්තියානි විරෝධී වුණෙ පරම විඥානය පැත්තෙන්. ඒ කොහොම වුණත් මෙරට නූගතුන් ලෙස හැඳින්වුණු අයට සිංහල බෞද්ධ ජාතික ව්‍යාපාරයක් අවශ්‍ය වුණා. ධර්මපාලතුමා ඕල්කට්තුමාට විරුද්ධ ව ගොස් අර නූගතුන් කියන්නන්ට නායකත්වය දුන්නා. ඊනියා උගත් සිංහල බෞද්ධයන් ලේක්හවුසිය යොදා ගෙන ධර්මපාලතුමා නැති කළා. එතුමා රටින්  පිටව යන තැනට කටයුතු කළා.

 

ලේක්හවුසිය ඒ තරමට ම නැති වුණත් ජාතික චින්තන ව්‍යාපාරයටත් පහර දුන්නා. ඔබ්සර්වර් පත්‍රයේ මහින්දපාල අපට දිගට හරහට පහර දුන්නා. අනුරුද්ධ තිලකසිරි නමින් සිළුමිණටත් ලියූ දයාන් ජයතිලක තම ලේක්හවුස් ලිපි මගින් අපට පහර දුන්නා. කොළඹ විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨ පරිශ්‍රයේ තිබූ විවෘත ආපනශාලාවේ කොකාකෝලා නැතිවීම මහින්දපාලගේ ඔබ්සර්වර් කෝලමේ එක් ඉරිදාවක ප්‍රධාන ප්‍රවෘත්තිය වුණා. ඒ සියල්ල කෙරුණේ ප්‍රේමදාසගේ අවශ්‍යතාව උඩ.  ලේක්හවුසියේ හා ඉංගිරිසි උගතුන්ගෙ මේ පහරදීම් දරාගන්න බැරුව ගුණදාස අමරසේකර මට  කිවුවා දැන් මේ ජාතික චින්තනය අතහරිමු කියා. මා අතහැරියේ නැහැ. මා සිළුමිණ හා විශේෂයෙන් ඉරිදා දිවයින මගින් ප්‍රතිප්‍රහාරයක් එල්ල කළා. මට සහායට පැමිණියේ සිළුමිණට ලිපි පෙළක් ලියූ පූජ්‍ය බද්දේගම විමලවංශ හිමියන් පමණයි. එකල සිංහල බෞද්ධ විරෝධි ඉංගිරිසි  ක්‍රිස්තියානි නූතනත්ව දාසයන් වූ වමාලා හිටියේ දයාන් ජයතිලක සමග.

 

මහින්දපාල පසු කලෙක ජාතික දේශපාලනයකට ආවා. ඔහු දැන් ජීවත්වන්නේ ඕස්ත්‍රේලියාවේ මෙල්බන් නුවර. මට ඔහු එහි දී  දෙවතාවක් හමු වුණා. ඔහු අද තමා එදා ක්‍රියා කළ අන්දම ගැන කණගාටු වෙනවා. කෙසේ වෙතත් මට කොළඹ විශ්වවිද්‍යාලයේ රැකියාව අහිමි කිරීමට මේ ලේක්හවුසියේ ක්‍රියා කලාපයත් හේතු  වුණා. එදා ජී එල් පීරිස් හිිටියේ ප්‍රේමදාස එක්ක. අදත් මෙරට උගතුන් විශේෂයෙන් ඉංගිරිසි කතා කරන උගතුන් මට සලකන්නේ කලකට ඉහත ලාදුරු රෝගීන්ට සැලකූ ආකාරයට. ඒත් මා මේ උගතුන් ගැන හොඳින් දන්නවා.

 

ධර්මපාලතුමා රටින් පැන්නුවත් මෙරට ජාතික ව්‍යාපාරය නැති වුණේ නැහැ. එය ඊනියා නූගතුන් අතර අළු යට ගිනි පුපුරු මෙන් තිබුණා. තිස්ගණන්වල ඇරඹි මාක්ස්වාදී ව්‍යාපාරයට ඒ ජාතික ව්‍යාපාරයට නායකත්වය දෙන්න බැරි වුණා. වාමාංශික නායකයන්ට ජාතිකත්වයක් තිබණේ  නැහැ. ඔවුන් හතරවැනි ජාත්‍යන්තරයේ සහෝදරවරු. ඒ් ඊනියා නූගතුන්ට නායකත්වය දුන්නේ බණ්ඩාරනායක මහතා. බණ්ඩාරනායක මහතාට ජාත්‍යන්තර තත්වයත් බලපෑවා. 

 

බටහිර ක්‍රිස්තියානි නූතනත්වය කඩා වැටෙන්න පටන් ගත්තෙ මැක්ස් ප්ලෑන්ක් සමග. ඔහු නිවුටෝනීය සුසමාදර්ශයෙන් හා සත්භාවයෙන් කැඩුණේ නැහැ. ඒත් ඔහුට ඒ සත්භාවයට පටහැණි ව යන්න සිදු වුණා. ඒ  දහනවවැනි සියවස අවසානයේ විසිවැනි සියවස මුල. එහෙත් ප්ලෑන්ක්ටවත් 1905 දී අයින්ස්ටයින්ටවත්  වෙනත් සත්භාවයක් ගොඩනගා ගන්න බැරි වුණා. ඔවුන් ක්‍රියාත්මක වුණෙ නිවුටෝනීය නැත්නම් සම්භාව්‍ය සත්භාවයේ. මේ සත්භාව අවුල පිළිබඳ යම් අවබෝධයක් තිබුණෙ එකල සිටි බටහිර විද්‍යාඥයන් අතරින් නීල්ස් බෝර්ට පමණයි. ඔහු ඩෙන්මාර්කයේ හිටියෙ. ඔහුට චීන යින් යැන් දර්ශනය ගැන අවබෝධයක් තිබුණා. ඔහුට ඩෙන්මාර්කයෙන් ගෞරව සම්මානයක් ලැබුණු අවස්ථාවෙ ඔහු තම ලාංඡනයෙ සංකේතය ලෙස යෙදා ගත්තෙ යින් යැන් සංකේතය. එයින් එකක් තුළ එහි විරුද්ධය ද තියෙන බව කියැවෙනවා. එය ඇරිස්ටෝටල්ට හා ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චින්තනයට පටහැණියි.

 

බෝර් ක්වොන්ටම් භෞතිකයේ කෝපන්හේගන් විවරණයට මුල් වුණා. කෝපන්හේගන් නුවර ඩෙන්මාර්කයෙ අගනුවර. බෝර් පමණයි කෝපන්හේගන් නුවරින් පෙරදිග චින්තනයක් අනුව යමක් කළෙ. අද කෝපන්හේගන් කියන්නෙ බටහිර ක්‍රිස්තියානි නූතනත්වයෙ තිප්පොළක්.  එහි පෙරදිග චින්තනවලට විරුද්ධ ව ඊනියා පර්යේෂණ කරනවා. ඒ ඊනියා පර්යේෂණවලට පශ්චාත් උපාධි සම්මාන ලබා දෙනවා. ඩෙන්මාර්කය බටහිර ක්‍රිස්තියානි නූතනත්වයෙ ලකුණූ වූ ගුහාවක්.

 

ක්වොන්ටම් භෞතිකය වෙනත් සත්භාවයක් ගැන ඉඟියක් ලබා දුන්නත් බටහිර විද්‍යාඥයන්ට ඒ මත ඉඳගෙන අලුත් දෙයක් නිර්මාණය කර ගන්න බැරි වුණා. අයින්ස්ටයින් එහි කියැවෙන සම්භාවිතාවන් පිළිගත්තෙ නැහැ. ඔහු කීවේ දෙවියන් වහන්සේ දාදු කෙළින්නෙ නැහැ කියා. පසුව පෝල් ඩිරැක් ලග්රාන්ජීය ක්‍රමය අනුව යමින් සාපේක්‍ෂතාවාදී ක්වොන්ටම් සමීකරණයක් ඉදිරිපත් කළා. අද බටහිර භෞතික විද්‍යාඥයන් එහි එල්ලිලා ඒ සමීකරණය සන්තතික බව කියමින් නිවුටෝනීය සත්භාවයට එකඟව එය කාලයේ විකාශය වන බවක් කියනවා. ඩිරැක් සමීකරණයෙන් කියැවෙන්නේ ඊනියා තරංග ශ්‍රිතයේ විකාශයක් මිස අංශුවක ප්‍රතිබද්ධ ගුණවල සමගාමී විකාශයක් නො වෙයි. මැනුම්වල දී සම්භාවිතාවන්ගෙන් ඉවත් වෙන්න ක්වොන්ටම් ජාගොඩටවත් බැහැ. අවශ්‍ය අයකුට ඒ වෙනත් සත්භාවයක් ගැන පළ කර ඇති පත්‍රිකා කියවන්න පුළුවන්.

 

බටහිර භෞතික විද්‍යාවේ මේ කඩා වැටීම අනෙක් ක්‍ෂෙත්‍රවලට ද දැනෙන්නෙ වුණා. සමාජයිය විද්‍යාවන්හි එය පිළිබිඹූ වූයේ ඊනියා පශාචාත්නූතනත්වයක් බිහි වීමක් ලෙස. ඒ සම්බන්ධ අදහස් පශ්චාත්නූතනවාදය ලෙස ප්‍රසිද්ධ වුණා. මේ වන විට සෝවියට් දේශයේ ස්ටැලින්වාදය ස්ථාපිත වී ඒකාධිපතිවාදී රාජ්‍ය ධනවාදයක් ගොඩ නැගී තිබුණා. එහි ඊනියා කම්කරු පංති සංවිධාන තිබුණේ නමින් පමණයි. ස්ටැලින්ගේ හෙංචයියන් හැරුණු විට අනෙක් දේශපාලන ක්‍රියාකාරීන් ඝාතනය කෙරුණා. ස්ටැලින් හා හිට්ලර් අතර විශාල වෙනසක් තිබුණේ නැහැ.

 

බටහිර රටවල ඊනියා සමාජ ප්‍රජාතන්ත්‍රවාදීන් කර කියා ගත නොහැකි තත්වයකට පත් ව තිබුණා. ධනවදය කඩා වැටෙන්නෙත් නැහැ, සමාජවාදයක් ගැන තිබූ බලාපොරොත්තුවත් නැති වෙලා. කොහොමටත් ලෝකෙ තිබුණෙ ජාතිකවාද. එය නැති කරන්න  එක් පැත්තකින් ඉංගිරිසින් තම ජාතිකවාදය ජාත්‍යන්තරවාදයක් ලෙස ලෝකයට ම දුන්නා. අනෙක් පැත්තෙන් මාක්ස්වාදීන් ඊනියා ජාත්‍යන්තරවාදයක් ගොඩ නැගුවා. මාක්ස්වාදී පළමුවැනි ජාත්‍යන්තරය තමයි එහි මුල් පියවර. ඉන් පසු බටහිර යුරෝපීය සමාජ ප්‍රජාතන්ත්‍රවාදීන් දෙවැනි ජාත්‍යන්තරය ගොඩ නැගුවා. එයත් සමග රුසියාවේ ඊනියා කම්කරු විප්ලවය කිරීමට බැරි බව දත් ලෙනින තුන්වැනි ජාත්‍යන්තරය ගොඩ නැගුවා. එය ජාත්‍යන්තරයක් නොව රුසියන් ජාතිකවාදී සංවිධානයක්. එයින් කියැවුණේ රුසියන් ජාතිකවාදී ධනේශ්වර විප්ලවය.  ස්ටැලින් එය ශක්තිමත් කළා. ට්‍රොට්ස්කි මාක්ස්ගේ ජාත්‍යන්තර කතාව අනුව දැක්කා තුන්වැනි ජාත්‍යන්තරය කඩා වැටුණු බව. ඔහු හතරවැනි ජාත්‍යන්තරයක් ගොඩ නැගුවා. කීර්ති බාලසූරියටවත් විජේ ගුණසිංහටවත්  (විජේ ඩයස්) තුල්සිරි අන්ද්‍රාදිටවත් වික්‍රමබාහු කරුණාරත්නටවත් එය උස්සන්න බැරි වුණා. අනිච්චා වත සංඛාරා!

 

ඉංගිරිසින්ගෙ හා මාක්ස්වාදීන්ගෙ ජාත්‍යන්තරවලින් හැංගිලා තිබුණු ජාතිකවාදී අදහස් ලෙනින්  සහ වෙනත් අය සමග නැවත මතුවුණා. ලෙනින්ගෙ ධනවාදී විප්ලවය සිදු වුණෙ 1917 දී. බටහිර සමාජයීය විද්‍යාඥයන් මේ සියල්ලෙන් අවුල් වුණා. ඔවුන්ට පසුව කියන්න පුළුවන් වුණෙ ඒ පශ්චාත්නූතනත්වයක් කියා පමණයි. එහෙත් ඔවුන්ට විකල්පයක් තිබුණෙ නැහැ. සංගත දැනුම් පද්ධතියක් ගොඩ නගා ගන්නත් බැරි වුණා. අරයගෙ මෙයාගෙ අදහස් ටිකක් පමණයි තිබුණෙ.

 

මෙරට ජාතිකවාදී අදහස් නැවත කරළියට ආවෙ 1952න් පස්සෙ. බණ්ඩාරනායක මහතාට ඉංගිරිසින් ගොඩ නගන්න උත්සාහ කළ ඊනියා ජාත්‍යන්තරවාදයෙන් කැඩෙන්න පුළුවන් කම තිබුණා.  පනස්හයේ දරුවො ජාතිකවාදීන්. අද මාක්ස්වාදී ජාත්‍යන්තරයක් නැහැ. ඉංගිරිසින් ගොඩ නගන්න උත්සාහ කළ ජාත්‍යන්තරය නම් තාමත් තියෙනවා. වමාලා ඒ ජාත්‍යන්තරයෙ. ඒ කියන්නෙ ධනවාදී ජාත්‍යන්තරයෙ. ඔවුන් දත්මිටි කාගෙන ජාතිකත්වයට විරුද්ධ වෙනවා. එක් අයකු කියා  තියෙනවා මගේ කණට ගහන්න ඕනෙ කියලා. ඒක වම් කණ නම් වෙන්න බැහැ. මතු සම්බන්ධයි.