History

Thursday, 9 December 2021

පිටපොට ගොස් පිටට පොට විකිණීම

 

පිටපොට ගොස් පිටට පොට විකිණීම

 

අපි පිටපොට ගිය ජාතියක්. අප තරම් අනුකාරකයන් ලොවේ වෙන කොහේවත් නැතිව ඇති. අපි අනුන්ගෙ. අපට අපේ ම කියල කියන්න දෙයක් නැති තරම්. රට දූෂිතයන්ගෙන් පිරිලා. මා කියන්නෙ හැමෝ ම ගැන නො වෙයි. නමුත් අවාසනාවකට වැඩි පිරිසක් ගැන. අපි බලන්නෙ අපි කොයිතරම් බටහිර දැනුම දන්නවා ද කියල පෙන්නන්න. ටික දෙනෙක් බලන්නෙ තමන් කොයි තරම් ඉන්දීය දැනුම දන්නවා ද කියා පෙන්නන්න.

 

අද මුදලට කරන්න බැරි දෙයක් නැති තරම්. අර කියමනක් තියෙනවා යමකුට මිලක් තියෙනව කියලා. ජේ ආර් ජයවර්ධන ඒක දැන ගෙන හිටියා, ප්‍රසිද්ධියේ ඒ බව කිවුවා, ඒ අවශ්‍ය මිල ගෙවුවා. බල්ලොත් නොකන සල්ලි කිවුවට බල්ලන්ට කන්න දෙන්නත් සල්ලි ඕන. කොමිස් ගන්න එක සාමාන්‍යයෙන් බටහිර නූතනත්වයේ අංගයක්. ඒත් අපේ රටේ කොමිස් ගන්නෙ නැහැ. කොමිස් ගහනවා. කොමිස් ගහන්න බැරි නම් මාටියා ගහනවා.

 

රටේ සම්පත් විකුණන එක ගැන හැම දෙනා ම කතා කරනවා. අපි හිඟමනට වැටිලා. ණයට කාපු ජාතියකට නිර්මාණශීලිත්වයක් නැති ජාතියකට කුමරතුඟු මුනිදසුන් කී පරිදි මර ගී කීම හැර කරන්න දෙයක් නැහැ. අද තත්වයට මෙරට පාලනය කළ දේශපාලනඥයන් නිලධාරීන් පමණක් නොව අප ද වග කියන්න ඕන. අපට ඒ වගකීමෙන් නිදහස් වෙන්න බැහැ. අප හැම දෙයක් ම රජයෙන් බලාපොරොත්තු වුණා. දැනුත් බලාපොරොත්තු වෙනවා. අපෙන් රජයට සතපහක්වත් දෙන්න අපි කැමති නැහැ. අර ක්ලේම් මේ ක්ලේම් දාන එක අපේ ජීවිතවල ප්‍රධාන කාරණයක් වෙලා. කිසිවකු රට ක්ලේම් කරන්නෙ නැහැ. අපි අනුන්ගෙ නම් රටත් අනුන්ගෙ වෙන එක පුදුමයක් නො වෙයි.

 

අද අපට ඩොලර් නැහැ. ආණ්ඩුව කරගෙන යන්නෙ අමාරුවෙන්. ඒත් ආණ්ඩුව වැටෙන්නෙ නැහැ. එයට ප්‍රධාන ම හේතුව සජිත් හැර හැමෝ ම දන්නවා රට කරගෙන යන්න කොයි තරම් අමාරුද කියලා. ඒ නිසා  ආණ්ඩුව දුන්නත් ගන්න ඉන්නෙ සජිත් විතරයි.  විපක්‍ෂය කරගන්න බැරි සජිත්ට ආණ්ඩුවක් කරගන්න බැරි බව නොදන්නෙ සජිත් විතරයි.

 

අපි හැමෝ ම දාර්ශනිකයන්. සමහර වෙලාවට මට ඇහෙනවා රූපවාහිනි නාළිකාවල ගීත තෝරන වැඩ සටන්වලට පැමිණෙන අය කරන දාර්ශනික කතා. ඒව ඇහෙන කොට හීන් බබා සීයගෙ අගය දැනෙනවා. අපට තියෙන්නෙ මං පොර මානසිකත්වය. ඒත් ඩොලර් ප්‍රශ්නයට විසඳුමක් දෙන්න පොරක් නැහැ. අද කවුරුත් දන්නවා රජය ඩොලරයකට ගෙවන රුපියල් ගණන කළුකඩේ ගෙවන ගණනට වඩා අඩුය කියා. දැන් බැංකුව තීරණයක් අරගෙන සෑම ඩොලරයකට ම රුපියල් දහයක් වැඩියෙන් ගෙවන්න. මා හිතන්නෙ නැහැ ඒකෙන් වැඩක් වේවි කියා. ඩොලරයකට අඩුම තරමෙන් රුපියල් තිහක් වැඩියෙන් ගෙවන්න වෙයි.

 

පිටරට රැකියා කරන්නන් එවන ඩොලර් සඳහා මෙන් ම අපනයනවලින් ලැබෙන ඩොලර් සඳහා ද වැඩි මිලක් ගෙවන්න ඕන. ඒ සඳහා ක්‍රමයක් සකස් කරගන්න ඕන. අප ඉන්ධන සඳහා විශාල මුදලක් පිටරටට ගෙවනවා. රථවාහන වතුරෙන් දුවන්න බැහැ. බැරි එකේ හොඳකුත් තියෙනවා. පුළුවන් වුණා නම් අපට වතුරටත් විශාල මුදලක් ගෙවන්න වෙන්න තිබුණා. කොහොමටත් ඉන්ධන ආනයනය අඩු කරගන්න සැලැස්මක් තියෙන්න ඕන. බස් ගාස්තු ආහාර ප්‍රවාහන ගාස්තු පාසල් ප්‍රවාහන ගාස්තු ආදිය වැඩි නොකර ඉන්ධන ගාස්තු වැඩි කරන්න පුළුවන් ද? ඒ නියාමනය කරන්න වෙයි. ගෑස් සමාගම් පැරණි ගෑස් සිලින්ඩරවල තිබූ කවරය උඩින් රතු කවරයක් ඔතා එවනවා කියනවා. එය ඇත්තක ද කියා මා දන්නේ නැහැ. මෙරට යම් ක්‍රියාවක් නියාමනය කිරීම පහසු නැහැ. අප ඒ තරමට දියුණුයි. 

 

දැනට අවුරුදු පනහකට පමණ පෙර විදේශ විනිමය උපයන සහතික (FEEC) ක්‍රමයක් තිබුණා. ඒ ක්‍රමය සංශෝධනය කර යොදා ගන්න පුළුවන් ද?

 

අපට මුදල් අවශ්‍ය බව නොදන්නා කෙනෙක් නැහැ. එහෙත් එහි සීමා පනව ගන්න පුරුදු වෙන්න ඕන. මා මේ කියන්නෙ මධ්‍යම පංතියට මිසක් එදා වේල පිරිමහා ගන්න රැකියා කරන අයට නො වෙයි. එහෙත් අවාසනාවකට උගත් මධ්‍යම පංතියේ සමහරු මුදල් ඉපයීම සඳහා  නොකරණ දෙයක් නැහැ. රටේ පැරණි ලියවිලි ආරක්‍ෂා කිරීම භාර දී ඇති අය ම එකී ලියවිලි අපේ පැරණි යටත්විජිත ස්වාමිවරුන්ට විකුණනව නම් කරන්නේ කුමක් ද?

 

මා වෙලාවකට කණගාටු වෙනවා ඉතිහාසය හා පුරාවිද්‍යාව සඳහා සහතික අධ්‍යාපනයක් ලබා නොගැනීම ගැන. එහෙත් එවැනි අධ්‍යාපනයක් ලැබ විශ්වවිද්‍යාල ආචාර්ය මණ්ඩලයට එකතු වුණා නම් බලධාරීන් මා අස්කරන්නේ බොහෝ කලකට පෙර. මගේ ගණිතය හා භෞතික විද්‍යාව බලධාරීන්ට මෙතරම් හිසරදයක් නම් මගේ ඉතිහාසය හා පුරාවිද්‍යාව මොන තරම් කරදරයක් වෙන්න තිබුණ ද?

 

අපේ ඉතිහාසයේ රටේ විවිධ කොටස් යටත් කර ගෙන සිටි චෝලයන් පාණ්ඩ්‍යයන් චේරයන් කාලිංගයන් වංගයන් පෘතුගීසීන් ලන්දේසීන් ඉංගිරිසින් ආදීන්ට අපේ පැරණි ලේඛන විකුනන්නන් ඉන්නවා. අද මෙරට ඉතිහාසයට වැඩියෙන් ම බලපෑම් කරන්නෙ නෙදර්ලන්තය ඩෙන්මාර්කය වගේ උතුරු යුරෝපීය රටවල්. ඔවුන් මෙරට ඊනියා උගතුන් පුහුණු කරනවා, ඊනියා උගතුන්ගෙන් මුදලට අපේ ලිපි ලේඛන ලබා ගන්නවා. ඒ ඉතිහාසය ඔවුන්ට ඕන විධියට ලියන්න. ඒ සඳහා ඔවුන් මෙරට ඊනියා උගතුන් යොදා ගන්නවා. මේ උගතුන් වැරදි කරුවන් වූ පසු එයින් බේරීම සඳහා විවිධ අය යොදා ගන්න හදනවා. මේ රටේ අවාසනාව ඕනෑම වැරදිකරුවකුට දන්නා හඳුනන බලධාරීන් ඉන්නවා නම් නිදහස් වීමට හැකි වීම.

 

මෙරට ඊනියා උගතුන්ගෙන් රටට සිදු වී ඇති සේවය කුමක් ද? බටහිර වෛද්‍ය විශේෂඥයන් කියන අය දන්නේ සංඛ්‍යා ලේඛන කියවන්න. කොවිඩ් ආසාදිතයන් මෙපමණයි මිය ගිය මෙපමණයි ආදී වශයෙන් කියන්න විශේෂඥයන් කුමකට ද? මා  සංඛ්‍යා ලේඛන ප්‍රස්තාර ආදිය යොදා ගන්නේ නැහැ. ඒ මට ඒ සඳහා පරිචයක් නැති වීම නිසා වෙන්න පුළුවන්. ඒ කුමක් වුවත් අද ප්‍රශ්නවලට නිදහස් අධ්‍යාපනයෙන් ජනතාවගේ මුදලින් සහතික ලැබූ උගතුන්ගෙන් විසඳුම් ලැබෙන්නේ නැහැ. එය විඳ දරාගත්තා කියමු. ඒ ඊනියා උගතුන් රටේ ඓතිහාසික ලියවිලිත් විකුණනවා නම් කළ යුත්තේ කුමක් ද?