History

Wednesday, 22 December 2021

උත්සව සමය කාගෙ ද?😁

 

උත්සව සමය කාගෙ ද?

 

මේ උත්සව සමයයි. උත්සව සමයේ ජනතාවට හිරිහැර නොකරන්න වග බලාගන්න ඕන. මෙය මේ දිනවල නිතර රූපවාහිනියේ ඇහෙන කතාවක්. ඒ කතාව ඇහෙන හැම විටක ම මගේ හිතට එන්නෙ කාගෙ උත්සව සමය ද කියා. මෙය මගේ උත්සව සමයක් නම් නො වෙයි. අපේ ගෙදර උත්සවයක් සඳහා කිසිම ලක ලැහැස්තියක් නැහැ. ඒ අපි උගතුන් නොවන නිසා වෙන්න පුළුවන්. උගත් ජනමාධ්‍යවේදීන් උත්සව සමයට ගජරාමෙට ලැහැස්ති වෙනවා වෙන්න පුළුවන්.

 

කොළඹ විශ්වවිද්‍යාලයෙ උප කුලපතිනියටත් උත්සව සමය ද දන්නෙ නැහැ. හාමුදුරුවන් අතේ තිබුණු බම්බුව උදුරා ගත්ත එකට උත්සව පවත්වමු ද? ඒ මොකක් වුණත් උපාධි ප්‍රදානොත්සවයට අදාළ අතුරු නියම ප්‍රසිද්ධ කරනවා ද? අර ඇතැමුනට දෙවරක් එක ම උපාධිය පිරිනැමුවෙ කොහොම ද කියල කියනවා ද? උසස් අධ්‍යාපන අමාත්‍යාංශය ඒ ගැන හොයලා බලනවා ද? උගත් ජනමාධ්‍යවේදීන්ට මේ උත්සව සමය නිසා ඒ ගැන හොයා බලන්න වෙලාවක් නැද්ද? ඔවුන් ජනතාව ඉදිරියෙ සිංහ වෙස් ගත්තත් එඩිටෝරියල් නැත්නම් සංස්කාරකලා ඉදිරියේ කැණහිලුන්. සංස්කාරකලාගෙන් අහන්නෙ නැතුව උප කුලපතිනියගෙන් ප්‍රශ්න කරන්නෙ නැහැ.

 

උප කුලපතිනිය ජනාධිපතිතුමා පත් කළ කුලපති හාමුදුරුවන්ට විරුද්ධ ද? මා නම් මෛත්‍රිපාල ජනාධිපති වුණු විගස ඔහුට විරුද්ධත්වය පාල විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමෙන් අස් වුණා. උප කුලපතිනිය හාමුදුරුුවන් පත් කිරීමට විරුද්ධ නැතුව ඇති.  ජඩමාධ්‍යවේදීන්ට හාමුදුරුවන් අට පාස් ද කියල හොයල බලන්න පුළුවන්.  අට පාස් නැති ජනතාවගෙ මුදලින් ඉගෙන ගත්ත බටහිර වෙදමහත්තුරු අද අට පාස් නැති ජනතාවට තම උගත්කමේ මහිමය උත්සවාකාරයෙන් පෙන්වනවා. දවල් දනියෙල් රෑ මිගෙල් පාදෙණියට සෞඛ්‍ය ලේකම්කම දෙන්න හාමුදුරුවො නිර්දේශ කළෙ නැත්තෙ ඇයි?

 

උගත් ජනමාධ්‍යවේදීන් හිම කරත්ත ඇදීමට පිනිමුවන් හොයන්න ඩෙන්මාර්කයට උතුරින් තියෙන රටවලට යෑමට සූදානම් වෙනවා ඇති. ඩෙන්මාර්කය කියන්නෙ ලංකාවට වැදගත් රටක්. මා කලිනුත් කියා ඇති නෙදර්ලන්තය ඩෙන්මාර්කය, නෝර්වේ වගේ රටවල් තමයි දැන් ලංකාවට වඩාත් ම වැදගත් වෙන්නෙ. ඩෙන්මාර්කය වැදගත් වෙන්නෙ කෝපන්හේගන් විවරණය නිසා නොවෙයි. මෙහේ නීල්ස් බෝර්ට වඩා වැඩ කාරයො ඉන්නවා. ක්වොන්ටම් ජාගොඩගෙන් අහන්න. ඩෙන්මාර්කය වැදගත් වෙන්නෙ තාක්‍ෂණයේ ඉතිහාසයෙ ඉඳන් ඕනැම දෙයක ඉතිහාසය සඳහා ආචාර්ය උපාධියක් ලබා ගැනීමට සිංහල බෞද්ධ විරෝධී නිරාලාට (ඊනියා නිරාගාමිකයන්ට ම නොවෙයි) තියෙන හොඳ ම රට නිසා.

 

ඉතිහාසය ගැන කතා කළ නිසා මේ ඊනියා උත්සව සමයේ ඉතිහාසය ගැනත් කියන්න ඕනෙ.  හුඟ දෙනෙක් හිතන්නෙ ඊනියා උත්සව සමය ක්‍රිස්තුස් වහන්සේගේ උත්පත්තිය හා සම්බන්ධයි කියල. මා වැස්සකටවත් විශ්වවිද්‍යාලයකට ගොඩ වෙලා නැහැ කිවුව ජෙප්පිය ඊනියා උත්සව සමයෙ ඉතිහාසය ගැන මොනව කියනවා ද දන්නෙ. වැස්සකට විශ්වවිද්‍යාලෙකට යන්න වෙන්නෙ ඒ අසළින් කුඩයක් නැතිව පයින් යනකොට වැස්සොත්. මා ඔය විශ්වවිද්‍යාල පැත්තෙ වැහි දවස්වල තියා අනෙක් දවස්වලවත් ඇවිදින්න ගිහින් නැහැ. ජෙප්පියන් නම් යනවා ඇති. ඔවුන්ට විප්ලවීය වැඩ කොටසක් කරන්න ඇති. 

 

කාන්තාරෙ උපන් යේසුස් ක්‍රිස්තුස් වහන්සෙ හිම කරත්තවල ගියෙ නැහැ. පිනි මුවන් දකින්නත් නැතුව ඇති. නත්තල කියන්නෙ උත්පත්තිය හා සම්බන්ධ වචනයක්. මේ කාගෙ උත්පත්තිය ගැන ද කියන්නෙ. මිසරයෙ හිටියා මිත්‍ර කියල  දෙවි කෙනෙක්. ඒ හිරු දෙවියන්. සමහර විට දෙවියන්ගෙ රජු හැටියටත් සැලකුණා. අපිත් හිරු දෙවියන්ට සලකනවා. අපට මිසරය නැත්නම් වත්මන් ඊජිප්තුව හා ඇමරිකාවෙ මායාවරුන් අතර සම්බන්ධකම් තිබිල තියෙනවා. මිසරය හා අප අතර තිබුණු සම්බන්ධය ගැන මා කෙටි නාට්‍යයක් රචනා කරල කැලණියෙ සිසුන් ලවා වේදිකාගත කෙරෙවුවා. මේ රටවල ඔරායන් ග්‍රහ මණ්ඩලයෙ තරු තුනක් පිහිටි ආකාරයට පිරමිඩ හදල තියෙනවා. අප බෞද්ධ වීමෙන් පසු මේ පිරමිඩ චෛත්‍ය වුණා. චෛත්‍යයක් කියන්නෙත් පිරමිඩයක් තමයි. මිසරයෙ පිරමිඩවල පාරාවො රජවරුන්ගෙ සිරුරු තැන්පත් කළා. අපේ චෛත්‍යවල බුදුහාමුදුරුවන්ගෙ ධාතුන්වහන්සේ නිධන් කළා. මා මේ සම්බන්ධය ගැන මියන්මාහි ඊජිප්තු තානාපතිතුමා සමග කතා කළා. එතුමා ඒ ගැන දැන සිටියේ නැහැ. 

 

අපේ හිරුදෙවි මංගල්‍යය පවත්වන්නෙ බක්මහේ. මිසරයන් පැවැත්තුවෙ දෙසැම්බර් විසිපස්වැනි දා. ඒ මිත්‍ර දෙවියා නැත්නම් හිරු දකුණට ගොස් ආපසු උතුරට ඒමට හැරෙන දිනය එදා හැටියට ඔවුන් සලකපු නිසා. අද නම් බටහිර තාරකා විද්‍යාවට අනුව එය දෙසැම්බර් විසිඑක ලෙස සැලකෙන්නෙ. පඬි නැට්ටන්ට ජෙප්පන්ට ජෙප්පියන්ට නම් හිරු ගමන් කරන්නෙ නැහැ. මිසරයෙ නැත්නම් ඊජිප්තුවෙ තිබුණු දැනුමත් ග්‍රීකයන් හා පසුව රෝමකයන් (රෝම වැසියන්) ගත්තා. ග්‍රීකයන් කෙළෙ ඒ දිනවල ලංකාවෙ භාරතයෙ බැබිලෝනියාවෙ මිසරයෙ සහ තවත් එවැනි රටවල තිබුණු දැනුම ස්වසිද්ධාත්මක (axiomatic) ක්‍රමයකට අවශෝෂණය කිරීම. ඒ දැනුම අවශෝෂණය කර ගත්තට පස්සෙ ඔවුන්ට කරන්න දෙයක් තිබුණෙ නැහැ. ඒ ශිෂ්ඨාචාරය ම නැති වෙලා ගියා. අපි ඒ දවස්වල ග්‍රීකයන්ට කිවුවෙ යවනයන් කියලා. පණ්ඩුකාභය රජුටත් ග්‍රීක නැත්නම් යවන සමබන්ධකම් තිබුණා.

 

මිත්‍ර දෙවියනුත් ග්‍රීකයන් මිසරයෙන් ලබාගත් එකක්. එය රෝමයටත් ගියා. අද ඔවුන් කියන්නෙ මිත්‍ර දෙවියා ග්‍රීක රෝම දෙවියෙක් කියලා! කොහොම හරි දෙසැම්බර් විසිපස්වැනි දා මිසරයෙ මිත්‍ර දෙවියන්ගෙ උපන් දිනය ලෙස සැලකුණා. හිරු දෙවියන් ආපහු උතුරට එන්න පටන් ගන්න දවස නෙ. රෝමකයන් ද එය ඒ විධියට පිළිගත්තා. ඔවුන් යේසුස් ක්‍රිස්තුස් වහන්සේත් එදින උපන් දෙවියන් ලෙස සැලකුවා. උන්වහන්සෙගෙ උපන් දිනය පිළිබඳ ව ඓතිහාසික සාධක නැහැ.

 

නත්තල කියන වචනය උත්පත්තිය හා සම්බන්ධ ලතින් වචනයෙන් බිඳී එන්නක්. අප පාසලේ ලතින් ඉගෙන ගන්න කොට මිත්‍ර දෙවියන් ගැන නැතුව ඉතිරි කතාව ඉගෙන ගත්තා. රෝමය නැත්නම් ලෝකයට කතෝලික ආගමක් නැහැ. කතෝලික ආගම ඇති වුණෙ තුන්වැනි සියවසේ ක්‍රිස්තුස් වහන්සෙ ඉපදිලා සියවස දෙකක් ගියාට පස්සෙ. කාන්තාරයෙ උපන් ක්‍රිස්තුස් වහන්සේ සීතල යුරෝපයේ යළි උපතක් ලැබුවා. ඒකත් බෝන් අගේන් තමයි. හිම කරත්ත පිනිමුවන් නත්තල් ගස් ජනමාධ්‍යවේදීන්ට හා අනෙක් අයට අවශ්‍ය වුණා. 

 

ග්‍රෙගරි දින දර්ශනය ඇති වුණාට පස්සෙ දෙසැම්බර් විසිපහ ජනවාරි හයට තල්ලු වුණා. ජුලියන් දින දර්ශනයට අනුව පවත්වපු රුසියාවෙ ඔක්තේම්බර් විප්ලවය නොවැම්බරයට, අපේ අවුරුද්ද අප්‍රේල් දහතුනට දහහතරට තල්ලු වුණා වගේ. රොබට් නොක්ස් හිටපු කාලෙ අපි අවුරුද්ද පවත්වල තියෙන්නෙ ජුලියන් දින දර්ශනය අනුව මාර්තු අග.  ග්‍රීක ඔතොඩොක්ස් පල්ලිය ක්‍රිස්තු උපත පවත්වන්නෙ ජනවාරි හයවැනි දා. රුසියාවෙ හා නැගෙනහිර යුරෝපයෙ තියෙන්නෙ ග්‍රීක ඔතොඩොක්ස් ක්‍රිස්තියානිය. නැහැ එහි දයලෙක්තික භෞතිකවාදයක් දැන් නැහැ. ඒක තියෙන්නෙ රුසියාවෙ ඉගෙන ගත්ත පඬි නැට්ටන්ගෙ ඔළුවල විතරයි. පඬි නැට්ටකු මෙය වැරදියට වටහා ගනීවි. නත්තල කොහොම වෙතත් අලුත් අවුරුද්දට නිශ්චිත දිනයක් නැහැ කියාවි.

 

මිත්‍ර දෙවියන්ගෙ උපන් දිනය හා ආශිත සති දෙක බටහිර යුරෝපයෙ උත්සව සමය වුණෙ එහෙමයි. ඒ දිනවල එංගලන්තෙ ඇමරිකාවෙ කඩවල් වහලා. ඩෙන්මාර්කයෙ කොහොම ද දන්නෙ නැහැ. අපට  ජඩමාධ්‍යවේදීන් නිසා උත්සව සමයක් එන්න හදනවා. මිත්‍ර කියන්නෙත් හිරු දෙවියන්ට. හින්දුන් මේ උත්සවය පවත්වන්නෙ ජනවාරි 14 වැනි දා. එ හිරු දෙවියන් මකර රාශියට යන දවස. නැත්නම් මකර සංක්‍රාන්තිය. ඉංගිරිසින් සිංහල අවුරුද්ද සිංහල හින්දු අවුරුද්දක් කළා. ඒ හින්දු අවුරුද්ද ජනවාරි 14 පටන් ගනිද්දි. හින්දු දින දර්ශනය අනුව බක් මාසෙ හතරවැනි මාසෙ. පඬි නැට්ටන් අපේ අවුරුද්ද  සිංහල දෙමළ අවුරුද්ද කරලා. මියන්මා සිට නැගෙනහිරට මෙ සූර්ය උත්සවය අප්‍රේල් දහහතර පැවැත්වෙන්නෙ. එය ජල ක්‍රීඩා උත්සවයක් ලෙසයි පැවැත්වෙන්නෙ.  

 

ඒත් අද බටහිරයන් මිත්‍ර ගැන දන්නෙ නැහැ. ඒ නිසා අප දන්නෙත් නැහැ. නන්දිමිත්‍ර ගැන දන්නවද දන්නෙ නැහැ. රෝහිණි කතාවෙ මිත්‍ර කියන්නෙ නන්දිමිත්‍රගෙ මාමා. එයා එළාරට සේවය කළා. අද නම්  මෙරට උගතුන් බටහිරයන්ට සේවය කරනවා. කාණුවක් කාණුවක් ගානෙ ඉන්න ආර්ථික විද්‍යාඥයන් ජාමූලෙට (IMF) යන්න කියනවා. ඔවුන් හා රනිල් හිතන්නෙ මේ ආර්ථික අර්බුදයට හේතුව ජාමූලෙට නොයෑම කියලා. රොනී පනී තමයි ඉස්සෙල්ල ම ජාමූලෙට පැන්නෙ.  ජාමූලෙට යෑමත් මේ අර්බුදයට එක හේතුවක්. මෙහෙ නිකම් කියව කියව ඉන්න රනිල්ට ජාමූලෙ රස්සාවක් අරන් දෙන්න පුළුවන් ද?