History

Thursday, 23 December 2021

ගොවිතැන අල කිරීම හා බටහිර බම්බු උපාධිය


ගොවිතැන අල කිරීම හා බටහිර බම්බු උපාධිය

 

සුද්ද රට පාලනය කළා නම් මීට වඩා හොඳයි කියනු මා අසා තියෙනවා. ඒ කියමනත් එක්ක මා එකඟ වන්නේ නැහැ. එහෙත් අද රට පාලනය කරන කළු සුද්දන් ගැන හොඳක් කියන්න බැහැ. මා කියන්නේ දේශපාලනඥයන් ගැන නොවෙයි. පරිපාලන නිලධාරීන් ගැන. බටහිර උගතුන් ගැන. බටහිර වෙද මහතුන් ගැන. බටහිර නීතිඥයන් ගැන. බටහිර කෘෂි විද්‍යාඥයන් ගැන. බටහිර විිද්‍යාඥයන් ගැන. බටහිර සමාජයීය විිද්‍යාඥයන් ගැන. මේ සියලු දෙනා ම සෘජුව හරි  වක්‍ර ව හරි අප පාලනය කරනවා.

 

අද වෙනදටත් වඩා තත්වය බරපතලයි. නිෂ්ශබ්ද විලියම් නමින් ප්‍රසිද්ධ රජු ඕලන්දයේ නැත්නම් නෙදර්ලන්තයේ පිහිටවපු ලෙයිඩන් විශ්වවිිද්‍යාලය අද සිංහල බෞද්ධ විරෝධීන් පුහුණු කරන මධ්‍යස්ථානයක් බවට පත්වෙලා. එහි ඉගෙන ගන්න නිරාලා මෙහේ ඇවිත් වැඩ කරන්නෙ නෙදර්ලන්තෙට. ඔවුන් ඉතිහාසය විකෘති කරනවා විතරක් නොවෙයි ඉතිහාසය අපට අහිමි කරනචා. නිරාලා එක්ක කතාකරන එකත් කාලය කා දැමීමක්.

 

මේ උගතුන් මගේ අදහස්වලට දක්වන්නේ දැඩි වෛරයක්. මා ඊනියා විප්ලවාදියෙක් නොවෙයි. ඒ බොරුවත් මා හොඳින් දන්නවා. 87-89 කාලෙ විප්ලවයට පවන් ගහපු අය ගැනත් මා දන්නවා. උගතුන්ට මා විශ්වවිද්‍යාලයෙන් අස් කළත් සමාජයෙන් අස් කරන්න බැහැ. ඒ මටත් ඔවුන් ගරු කරන එංගලන්තයේ විශ්වවිිද්‍යාලයකින් ලැබුණු ආචාර්ය උපාධියක් තියෙන බැවින්. ඒත් ඒ ගැන මට ඇති ආඩම්බරයක් මාන්නයක් නැහැ. මා විිද්‍යාඥයකු වීමට එංගලන්තයට ගොස් බැරුව ආපසු පැමිණි අයෙක්. මා බටහිර විද්‍යාවට වැදගත් එකතු කිරීමක් කර නැහැ.

 

අද ඇති අර්බුදය මේ උගතුන්ගේ උපදෙස් නිසා ඇති වූවක්. එය අවුරුදු හැත්තෑවක පමණ උපදෙස්වල ප්‍රතිඵලයක්. පුංචි බණ්ඩා ජයසුන්දරත් ඔවුන්ගෙන් තවත් අයකු පමණයි. ජාමූල (IMF) විජේවර්ධනලාගේ කාලෙත් අර්බුදය තිබුණා. රොනී පනී ජාමූලෙට පැන්නේ අවුරුදු හතළිහකට එහා පැත්තෙ. ඔහුත් හිටපු පරිපාලන නිලධාරියෙක් (සිවිල් සේවකයෙක්). ඔවුන් කළු සුද්දන් පමණයි. සුද්දන් නො වෙයි. ඔවුන් සුද්දන් අනුකරණය කරන්න උත්සාහ කළත් ඒ හරියට කරන්න බැරි අය. ඔවුන්ට හිතන්න බැහැ. සුද්දන්ගෙ අධ්‍යාපනය විසින් ඔවුන් වල්මත් කෙරිලා. ජාමූලෙට යමු කියන්න විජේවර්ධනලා අවශ්‍ය නැහැ. රනිලුත් කියනවා. ඔහුත් නීති පීඨයෙ හිටපු අයෙක්.

 

මා හිතන්නෙ නැහැ සුද්දන්ට අපට විශ්වවිිද්‍යාලයක් දීමට එතරම් උනන්දුවක් තිබුණා කියා. ඔවුන් අපට විශ්වවිද්‍යාල ආයතනයක්  දුන්නෙ හරියට ම අවුරුදු සියයකට උඩදි. ඒ ලන්ඩන් විශ්වවිිද්‍යාලෙ උපාධිවලට සිසුන් පුහුණු කරපු ටියුෂන් කඩයක්. අද කොළඹ විශ්වවිද්‍යාලය ටියුෂන් කඩය පිහිටුවීම ආඩම්බරයෙන් සමරනවා. ඔවුන්ගෙ පුහු බම්බු උපාධි මාන්නය නිසා කුලපති හාමුදුරුවන්ට විරෝධය පානවා. උන්වහන්සේට සහතික සුදසුකම් නැති එක ඔවුන්ගෙ මාන්නෙට ප්‍රශ්නයක් වෙලා. ඔවුන් මන්නෙ කොහොම වෙතත් මාන්නෙ උස්සා ගෙන එනවා හාමුුදුරුවන්ට විරුද්ධ ව.

 

එංගලන්තයේ ජීවත්වන මගේ මිත්‍ර අයිවන් අමරසිංහ කියනවා සුද්දන්ගෙ මැන්චෙස්ටර් විශ්වවිද්‍යාලෙ කුලපතිටත් උපාධියක් නැහැ කියලා. ඒ විතරක් නොවෙයි ඔහුගෙ දෙමව්පියන් කවුද යන්න ගැනත් ප්‍රශ්න තියෙනවා කියලා. කොළඹ අය හරියට අනුකරණය කරන්නෙත් නැහැ.  මැන්චෙසටර් විශ්වවිද්‍යාලය හොඳ වැඩ කාරයො හිටපු ඉන්න තැනක්. අර පරමාණු කතාව ගොතපු රදර්ෆඩ් තම කතාව ගෙතුවෙ මැන්චෙස්ටර් විශ්වවිිද්‍යාලෙ ඉන්න කාලෙ. කොළඹ විශ්වවිිද්‍යාලෙ අයත් කතන්දර ගොතනවා. ඒ කතන්දරත් එක්ක මැන්චෙස්ටර් කතා මොනවා ද?

 

මට වෙන කතන්දර දැන ගන්න ඕන නැහැ. කොළඹ විශ්වවිද්‍යාලෙ උපාධි ප්‍රදානෙත්සවය පිළිබඳ අතුරු නියම (By-Laws) දැන ගන්න පුළුවන් ද? එක් පුද්ගලයකුට එක ම උපාධිය දෙවරක් ගන්න පුළුවන් කියා තීරණය කෙළෙ මොන පාලක මණ්ඩල රැස්වීමෙ ද? ජී එල් පීරිස් වැනි ජාත්‍යන්තර කීර්තියට පත් වුණා ය කියන නීති විශාරදයකු උප කුලපති ධුරය දැරූ විශ්වවිද්‍යාලයක ඔය අතුරු නියම නැහැ කියල කීයටවත් හිතන්න බැහැ.

 

සුද්දන් ඉන්දියාවෙ විශ්වවිිද්‍යාල ඇති කරද්දි අපට විශ්වවිද්‍යාලයක් දුන්නෙ නැත්තෙ ඇයි. රාජකීය විද්‍යාලෙ කලක් මදුරාසි කල්කටා විශ්වවිද්‍යලවලට සිසුන් පුහුණු කෙරුවා. මියන්මාහි යැන්ගොන් විශ්වවිද්‍යාලෙ පිහිටෙවුවෙ 1920 දි. අපට විශ්වවිද්‍යාලයක් ලැබුණෙ 1942 දි. සුද්දන් අපේ තරම දැනගෙන හිටිය ද? අද මෙරට බටහිර වෙදමහතුන් කරන්නෙ මොනවා ද? වැඩ වර්ජන  කිරීමත් එමගින් ඔවුන්ට ඉගැන්වූ අට සමත් හා අසමත් ජනතාවට හිරිහැර කිරීමත් බටහිරින් ලැබෙන නිවේදන කියවීමත්  ඔවුන්ගෙ දිනචර්යාව වෙලා. මට දැන ගන්න ලැබිල තියෙන විධියට රජයේ වෛද්‍ය නිලධාරි සංගමය වර්ජනය කළත් දවල් දනියෙල් රෑ මිගෙල් වැඩ වර්ජනය කරල නැහැ. 

 

කෘෂිකර්ම අමාත්‍යංශෙ ලේකම් ධුරයට හතරවැනියත් පත් කරලා.  මෙරට ගොවිකම  දියුණු කරන්න ඔය කෘෂි විද්‍යාඥයන්ගෙන් වෙලා තියෙන සෙත මොකක් ද? ඔය කෘෂි විද්‍යාඥයන් කියන්නෙ කවුද? ඔවුන් ඉපදෙන කොට ම අර මහෞෂධ පඬිතුමන් අනුව ගිහින් වී කරල් මිට මොලව ගෙන උපන් අය ද? ඔවුන් උසස් පෙළ ඉගෙන ගනිද්දි බටහිර වෙදමහතුන් වීමේ සිහිනය දැකලා පසුව (නො)දත් දොස්තර කෙනකු වෙන්නවත් බැරුව අපේ කරුමයට කෘෂිකර්මය හදාරපු අය. මෙරට අධ්‍යාපනය සකස් වෙලා තියෙන්නෙ රැකියාවක් සඳහා මොකක් හරි ඉගෙන ගන්න මිසක් මිසක් සිප්සතර ඉගෙනීමට නොවෙයි.

 

ඔය කෘෂි විද්‍යාඥයන්ට කෘෂිකර්මය ගැන ඇල්මක් පහල වුණෙ කවදා ද? මව් කුසයෙදි නම් නො වෙයි. කාබනික පොහොර වගාව කියන්නෙ ආර්ථික විද්‍යාඥයන් දීල සාමාන්‍යයෙන් කියන විධියට කෘෂි විිද්‍යාඥයන් අල කරපු දෙයක්. දැන් ගොවීනුත් නලින් බණ්ඩරත් අල පෙන්නනවා. ගොවීන් දන්නවා කෘෂි විද්‍යාඥයන් නොදන්න බව. බටහිර පොහොරවලට සරිලන විධියට සකසපු බීජවලට කාබනික පොහොර දැමීම ගොවිතැන අල කිරීමක්. ජනාධිපතිතුමා නූතනත්වයට ගොදුරු නොවුණු ගොවීන්ගෙන් උපදෙස් ගන්නව නම් කෘෂි නිලධාරීන් හමු වෙනවට වඩා රටට යහපත්.  

 

ලෝකයේ ම ඊනියා ජාත්‍යන්තරවාදය හෙවත් ඉංගිරිසි ජාතිකවාදය කඩා වැටිල තියෙන වෙලාවක තව තවත් මෙරට කළු සුද්දන්ගෙන් උපදෙස් ගන්නෙ අහවල් දේකට ද? අප හැමෝ ම කතා කරන එන්නත කියන තරම් සාර්ථක නැහැ. ඊශ්‍රායලය හතරවැනි එන්නතටත් ගිහින්. ඔය mRNA ක්‍රම වේදය එන්නතක් ද කියන ප්‍රශ්නය අද මතුවෙලා. අපට බොහෝ රෝග ආහාරයෙන් ම සුව කර ගන්න පුළුවන්. අපේ වෙදකමේ ආහාර ඖෂධත් වෙනවා. කොහොමටත් අපේ ගොවිකමට හා වෙදකමට එතරම් ඩොලර් යන්නෙ නැහැ. අපි බටහිර වෙදකමට යොදන මුදලෙන් දසදාහෙන් එකක්වත් වියදම් නොකර ඔය රෝගීන් සුවපත් කරන්න පුළුවන්. ගොවිතැන ගැනත් එහෙමයි. අපි සුද්දන්ගෙ බොරු කතන්දරවලින් රැවටෙන්න හොඳ නැහැ. බටහිර දැනුමෙන් ගන්න ඕන ටික විතරක් අවශෝෂණය කර ගනිමු. අද ඇති අර්බුදය බටහිරයන්ගෙ කතන්දර විශ්වාස කිරීම නිසා ඇති වූවක්.

 

ණයට කෑව දැන් ඇති.  අපි ආනයන අඩුකරලා අපනයන වැඩි කරන්න ඕන. ඒත් ඒක කරන්නෙ කොහාම ද ? උගතුන් ඒ ගැන යමක් කියනවා ද? බලන් ඉමු.