History

Saturday, 25 December 2021

නත්තලේ කතාව හා දෙවියන් වහන්සේ

 

නත්තලේ කතාව හා දෙවියන් වහන්සේ

 

අද නත්තල්. සමහරුනට හැමදාම නත්තල් කියලත් කතාවක් තියෙනවා. මා මේ ලිපිය ලියන්නේ සිංහල බෞද්ධයෙක් හැටියට. එහෙත් මගේ බෞද්ධකම බොහෝ දෙනාගේ බෞද්ධකමෙන් වෙනස් වෙන්න පුළුවන්. මා රාග ද්වේෂ මෝහ ඇති මිනිහෙක්. මා  සියලු සංකල්ප දෘෂ්ඨිවාද බොරු කියල කියන්නෙක්. මට නිවන සංකල්පයක් නොවෙයි. එය සංකල්පයක් නම් මා නිවනත් බොරුය කියා කියනවා. නිවන වචනයෙන් විස්තර කරන්න පුළුවන් නම් එය බොරුවක් වෙන්න ඕන. නැති මනස නැති මනසක් බව නැති මනසෙන් සම්මාබෝධ කර ගැනීම කියන්නෙ නිවන වචනයෙන් විස්තර කිරීමක් නො වෙයි.  නිවන කියන්නෙ තැනක් තත්වයක් නො වෙයි. නිවන් සැප කියා දෙයක් නැහැ. දුක නැති කිරීම කියන්නෙ සැප ඇති කිරීම නොවෙයි. නැති මිනිස්සු දුකත් සැපත් දෙක ම නැති කරන්න ඕන. දුක නැත්නම් සැප කියන්නේ ද්වෛතවලට (dualities) පුරුදු වෙච්ච ද්විකෝටික න්‍යායෙ ඉන්න අය. මා නිවන් සැපක් බලාපොරොත්තු වන්නෙ නැහැ.

 

ඒ පූර්විකාව නැති මා ගැන සුළු හැඳින්වීමක් කිරීම සඳහා පමණයි. නත්තල කියන වචනය අපට ආවෙ පෘතුගීසීන්ගෙන්. එය ලතින් නටල් නාටාලිස් වචන සමග සම්බන්ධයි. එයින් කියැවෙන්නේ උත්පත්තිය. පෘතුගාලයෙ දකුණු අප්‍රිකාවෙ බ්‍රසීලය වගේ රටවල නටාල් නැත්නම් නැටෝල් කියා නගර තියෙනවා. බ්‍රසිලයෙ කතාකරන්නෙ පෘතුගීසි. එහි ඩි සිල්වලා ෆර්නැන්ඩු ලා ඉන්නවා. වෙලාවක බ්‍රසීලයට යන්න ඕන. දකුණු අප්‍රිකාවෙ නැටෝල් ප්‍රාන්තය එලෙස නම් කළෙ වස්කෝ ද ගාමා කියල කියනවා. නැටෝල් ප්‍රාන්තයේ ලන්දේසීන් ගෙන ගිය වෙල්ලාලයන් නැත්නම් කෘෂිකාර්මික කම්කරුවන් ඉන්නවා. ලන්දේසීන් ඔවුන් යාපනයටත් ගෙනාවා. රෝම ලන්දේසි නීතිය තියෙන්නෙ දකුණු අප්‍රිකාවෙ හා ලංකාවෙ පමණයි.  

 

කොහොම හරි නත්තල උත්පත්තිය හා සම්බන්ධයි. එය දෙවියන් වහන්සේගේ උත්පත්තිය. උන්වහන්සේ මිනිස් වෙසින් මිනිස් ලොවේ උපන් දවස. අපි අද තමන් දෙවියන් වහන්සේ කියා සිතන මෙරට බටහිර වෙදමහත්තුරු හා කොළඹ විශ්වවිිද්‍යාලයේ කුලපති හාමුදුරුවන් නූගතකු කියා හිතන පුහු නීති උපාධිධාරීන් ගැන නොවෙයි නියම දෙවියන් වහන්සේ ගැන කතා කරමු. සියළු සංකල්ප බොරු බව කියන මට දෙවියන් වහන්සේ ඇත්තක් නො වෙයි. මා ඇත්තක් ඇති බව පිළිගන්නේ නැහැ. මා බුදුහාමුදුරුවන් අනුගමනය කරමින් සත්‍ය ගවේෂණය කරන්නෙ නැහැ. මට තියෙන්නෙ මා ද ඇතුළු හරියන, වැඩ කරන සංකල්ප ටිකක් මිස හරි සංකල්ප නො වෙයි. ඒත් අපි සම්මුතියෙන් සංකල්ප යොදා ගන්නවා.

 

මට දෙවියන් වහන්සේ කියන්නෙ ප්‍රියතම සංකල්පයක්. එය යුදෙවු සංකල්පයක්. යෙහෝවා කියා කියනවා. ඒ දෙවියන් වහන්සේ සිතෙන් මවා ගන්න බැහැ. යුදෙවුවන් ක්‍රිස්තුස් වහන්සේට විරුද්ධ වුණේ ඇයි? රෝම අධිරාජයාට උන්වහන්සේ ගැන පැමිණිළි කෙළේ ඇයි. මෙහි දී තමයි යුදෙවු දහම හා කතෝලික දහම අතර වෙනස ඇති වන්නෙ. ඔවුන් එක ම දෙවියන් වහන්සේ ගැන විශ්වාස කරනවා කිවුවත් මට දැන් හිතෙන්නෙ එහෙම නොවෙයි කියල. යුදෙවු දෙවියන් වහන්සේ වියුක්තයි. කතෝලික දෙවියන් වහන්සෙ සංයුක්තයි. කතෝලික දෙවියන් වහන්සේ ක්‍රිස්තුස් වහන්සේ ලෙස සංයුක්ත චරිතයක් බවට පත්වුණා.

 

යුදෙවු දෙවියන් වහන්සේ සමග සම්බන්ධ වු අනාගත වක්තෘවරුන් හිටියා. ක්‍රිස්තුස් වහන්සේ අනාගත වක්තෘ කෙනකු පමණක් නො වෙයි. උන්වහන්සේ දෙවියන් වහන්සේ ද වුණා. ඒ අතර උන්වහන්සේ දෙවියන් වහන්සේගේ පුත්‍රයා ද වුණා. අද දේශපාලනයෙ ඉන්න ඇතැම් පුත්‍රයන් ද හිතන් ඉන්නෙ, වැඩ කරන්නෙ තමන් දෙවියන් වහන්සේගේ පුත්‍රයන් ලෙස සලකමින්. ක්‍රිස්තුස් වහන්සේ දෙවියන් වහන්සේ බව කීම යුදෙවුවන් ප්‍රතික්‍ෂෙප කළා. උන්වහන්සේ තමන් වහන්සේ අනාගත වක්තෘ කෙනකු බව පමණක් කිවුව නම් සමහර විට ඊනියා දෙවැනි ලෝක යුද්ධය ඇති නොවන්නත් තිබුණා.

 

ක්‍රිස්තුස් වහන්සේ මනුෂ්‍යයකු ලෙස උපන්නත් මරියතුමිය කන්‍යාවක්. ඒ කියන්නෙ ක්‍රිස්තුස් වහන්සේ මිනිසකු වුණත් මිනිස් පුතකු නොවූ බව. උන්වහන්සේ දේව පුත්‍රයන්. බටහිරයන් අතර මෙහෙම කතාවක් තියෙනවා. එක්තරා තරුණියකට දරු ගැබක් ඇතිවෙලා වෛද්‍යවරයකු හමුවෙන්න ගිහින්. වෛද්‍යවරයා ඇගෙන් අහල පුරුෂයකු සමග සහවාසයක් ඇති වුණෙ කවද ද කියලා. තරුණිය කියලා එහෙම සහවාසයක් වුණෙ නැහැ කියලා. වෛද්‍යවරයා ඒ ගමන ජනේලෙ ළඟට ගිහින්. තරුණිය අහල ඇයි කියලා. ඒ ගමන වෛද්‍යවරයා කියල ගිය පාර ඔහොම දෙයක් වුණා ම දිවැසිවරු තුන්දෙනෙක් ආවා. මා මේ ජනේලෙන් බලන්නෙ දිවැසිවරු එනවා ද කියා.

 

මා ක්‍රිස්තුස් වහන්සේගෙ උපත විහිළුවට ලක් කරනවා නො වෙයි. බටහිර වෛද්‍ය විද්‍යාව වුණත් පිළිගන්නවා එහෙම කන්‍යා දරු උපත් ඇති වන්න පුළුවන් කියා. කොහොමත් බටහිර වෛද්‍ය විද්‍යාව නාරිවේදය හා ප්‍රසව විද්‍යාව ගැන ඇති එක ම දැනුම් පද්ධතිය නො වෙයි. දෙවියන් වහන්සෙ ක්‍රිස්තුස් වහන්සෙ ලෙස කන්‍යාවකගෙ කුසින් බිහිවීමත් උන්වහන්සෙ තමන්වහන්සෙ දෙවියන් වහන්සේගෙ පුත්‍රයා වීමත් ඇරිස්ටෝටලීය න්‍යායට එකඟ වෙන්නෙ නැහැ. එහෙත් එය ත්‍රිකෝටික න්‍යායත් සමග එකඟ වෙනවා. මා හිතන්නෙ තොමස් ඇක්වයිනාස්තුමා කතෝලික දහම ඇරිස්ටෝටලීය න්‍යාය සමග එකතු කිරීමට ගත් වෑයම අසාර්ථක වුණා කියලා.

 

ක්‍රිස්තුස් වහන්සේ දෙවියන් වහන්සේ ද? ඔවු. උන්වහන්සේ දෙවියන් වහන්සේගෙ පුතා ද? ඔවු. එහෙම වෙන්න පුළුවන් ත්‍රිකෝටික න්‍යායෙ. මා ඒ බව කොළඹ විශ්වවිද්‍යාලෙ ගණිතය උගත් සිසුන්ට කියා දීල තියෙනවා. ඒ චතුස්කෝටිකය උගන්වන අතර.  නැහැ ඒ පොතේ තියෙන දැනුමක් නො වෙයි. පොතේ තියෙන දේ ඉගෙන ගන්න සිසුන් විශ්වවිිද්‍යාලවලට එන්නෙ අහවල් දේකට ද? එකල විිද්‍යා පීඨයෙ ඔය කියන ආගමික සංහිඳියාව හොඳින් ම තිබුණා. කතෝලික රොෂාන් පිරිත් දවසෙ ධාතු කරඬුව හිසේ තබා ගෙන වැඩැම්මුවා. ඔහු ත්‍රිකෝටික න්‍යාය ගැන දන්නවා. නත්තල නත්තලක් වන්නෙ ත්‍රිකෝටික න්‍යායෙ මිස ඇරිස්ටෝටලීය  ද්විකෝටිකයෙ නො වෙයි.

 

ක්‍රිස්තුස් වහන්සේ සංයුක්ත වීම යුදෙවුවන්ට ඇල්ලුවෙ නැහැ. යොහෝවා දෙවියන් වහන්සේගෙ පිළිම නෙළන්න බැහැ. නෙළා නැහැ. ඒ උන්වහන්සෙ පවනෙ බොරු විරුවකු වීම නිසා නො වෙයි. උන්වහන්සෙ වියුක්ත වීම නිසා. එහෙත් දෙවියන් වහන්සේ වූ ක්‍රිස්තුස් වහන්සේ සංයුක්ත චරිතයක් වීම නිසා උන්වහන්සේගෙ චිත්‍ර අඳින්න පුළුවන්. පිළිම නෙළන්න  පුළුවන්. එ විතරක් නොවෙයි මරියතුමියගෙ පිළිම නෙලන්නත් පුළුවන්. කතෝලික ආගම යෙහෝවා දෙවියන් වහන්සේට වෙන ම අර්ථකථනයක් උත්පත්තියක් දීල තියෙනවා.

 

කතෝලික ආගමේ දෙවියන් වහන්සේ යෙහෝවා දෙවියන් වහන්සේට වඩා බ්‍රහ්මන්ට ළඟයි. යෙහෝවා දෙවියන් වහන්සේ ලෝකය මවල බාහිර ව ඉන්නවා. ඒ දෙවියන් වහන්සේ එක් එක් අයට පෞද්ගලිකයි. නමුත් කතෝලික දෙවියන් වහන්සේ  මිනිසුන්ට සාමූහිකව අයත්. මාටින් ලූතර් මේ සාමූහිකත්වය නැවතත් පෞද්ගලිකත්වයකට හැරෙවුවා. අයින්ස්ටයින්  තම දෙවියන් පෞද්ගලික යැයි කියන විට යුදෙවු චින්තනයත් ලූතර්ගෙ ක්‍රිස්තියානි චින්තනයත් මතක් වෙනවා. බ්‍රහ්මන් ලෝකය මැවුවෙ හරියට මකුළුවා මකුළු දැලක් වියනවා වගේ. බ්‍රහ්මන් ලෝකයෙන් අයින් වෙන්නෙ නැහැ. මකුළුවා දැලෙන් අයින් වෙන්නෙ නැහැ. කතෝලික දෙවියන් වහන්සෙත් මිනිසුන්ගෙන් අයින් වෙන්නෙ නැහැ. උන්වහන්සෙ ක්‍රිස්තුස් වහන්සේ ලෙස උත්පත්තියක් ලැබුවෙ ඒ බව සිහිකරමින්.