History

Friday, 24 December 2021

සහතික අවුල

 

සහතික අවුල

 

බටහිරයන් පැමිණීමට පෙර අපට උප්පැන්න සහතික, විවාහ සහතික, මරණ සහතික ආදිය තිබුණෙ නැහැ. ඉංගිරිසින් තමයි ඒ ලේඛනවල ආකෘතිය සකස් කෙරුවෙ. ඒ කියන්නෙ අප ඉංගිරිසින් එන්න ඉස්සර ඉපදුණෙවත් විවාහ වුණෙවත් මැරුණෙවත් නැහැ කියන එක නො වෙයි. අප ඉපදුණා විවාහ වුණා මැරුණා. ඒත් පොතක ලිවුවෙ නැහැ.

 

ඒකට හේතු ගණනාවක් තිබුණා. අපට වචනය විශ්වාස වුණා. ලිය කියවිලි අවශ්‍ය වුණෙ නැහැ. ඒ වගේ ම දේපොල උරුම වීම  වගේ දේ තිබුණෙ නැහැ. දේපොළ උරුමය ලිඛිත ව පෙන්වන්න අවශ්‍ය වුණෙ නැහැ. රාජකාරි ක්‍රමය සාමූහිකත්වය අපේ ආරථිකයෙ  පදනම වුණා. සහෝදර සහෝදරියන් රජකමට සටන් වැදුණු බව නම් ඉතිහාසයේ සඳහන් වෙනවා. තිස්ස කුමරුත් ගැමුණු කුමරුට විරුද්ධ ව සටන් වැදුණා. එහෙත් ජනතාව අතර උරුම සටන් තිබුණෙ නැහැ.

 

ඉංගිිරිසින් මේ සියල්ල වෙනස් කළා. ඉංගිරිසින් වැට ඉන්නට මිනී මරාගන්න පුරුදු කළා. ඔවුන් ලිය කියවිලි සහතික මත යැපෙන සංස්කෘතියක අය. උපාධි සහතිකයත් තවත් සහතිකයක්. කොළඹ විශ්වවිද්‍යාලයෙ උප කුලපතිනියගෙන් මා ඉල්ලුවා උපාධි ප්‍රදානොත්සවය පිළිබඳ අතුරු නියමවල පිටපතක්. තාම ලැබුණෙ නැහැ. ඒ නියමවල එක ම උපාධිය එක ම තැනැත්තකුට කී වතාවක් දෙන්න පුළුවන් ද කියන එක තියෙන්න ඕන. මටත් දැන් හිතිල තියෙනවා අර පෙරහැරෙ ගිහින් උපාධි සහතිකෙ නැවත ලබා ගන්න. අනභිමුඛයෙන් ලබා ගත් සහතිකෙ දාපු තැනක් මට මතක නැහැ. රාමු කර ගන්න අමතක වුණා.

 

ඉංගිරිසින් සකස් කරපු උප්පැන්න සහතිකෙ අපට හුරු නැහැ. ඉංගිරිසි සුද්දන් ගියාට පස්සෙත් කළු සුද්දන්නට බැරි වුණා අපට ගැලපෙන සහතිකයක් සකස් කර ගන්න. ඒ අපේ උගතුන්ගෙ බුද්ධි මහිමය. ඉංගිරිසින් සකස් කරපු උප්පැන්නෙ තියෙනවා නම කියල කොටුවක්. ඕකෙ මොකක් ද ලියන්නෙ කියන එක ප්‍රශ්නයක්.  ඊට පස්සෙ තියෙනවා පියාගෙ සම්පූර්ණ නම. දැන් ප්‍රශ්නය වෙන්නෙ ළමයගෙ සම්පූර්ණ නම මොකක් ද කියන එක. පියාට වාසගම පෙළපත් නමක් තියෙනවා. සමහරුනට සර්නේම් කියන නම අග පෙළපත් නමත් තියෙනවා. ළමයගෙ සම්පූර්ණ නම ඒ ඒ අය අනුව අවස්ථාව අනුව වෙනස් වෙන්න පුළුවන්.

 

උදාහරණයකට මගේ නම ඇත්තෙ නලින් කුමර් ද සිල්වා කියලා. ඒත් මා (තාත්තා) පාසලට දුන්නෙ ලිඳමුලගෙ නලින් කුමාර් ද සිල්වා කියලා. ලංකාවෙදි ලිඳමුලගෙ කොටස යොදා ගන්න එක ප්‍රශ්නයක් වුණෙ නැහැ. ඒත් මා ලන්ඩන් විශ්වවිද්‍යාලෙ උසස් පෙළ පරීක්‍ෂණයට ඉල්ලුම් කළ අවස්ථාවෙ ප්‍රශ්නයක් මතු වුණා. දැන් කවුරු හරි ප්‍රශ්නයක් අහවි අහවල් දේකට ද ලන්ඩන් පරීක්‍ෂණයට පෙනී හිටියෙ කියල. ඒ දවස්වල ලන්ඩන් උසස් පෙළ සමත් නම් එය ලංකාවෙ උපාධි අන්තර්මධ්‍යම (intermediate) ලෙස සැලකුවා. ඒ මගින් රැකියාවකට ගියාම අන්තර්මධ්‍යම වැටුප ලැබෙනවා.

 

මට අවශ්‍ය වෙලා තිබුණ මෙරට විශ්වවිද්‍යාල ප්‍රවේශ පරීක්‍ෂණයෙන් පස්සෙ ටික කලක් රැකියාවක් කරන්න. ලන්ඩන් සහතිකේ පිහිටෙන් මා වාද්දුව මධ්‍යම විදුහලේ උසස් පෙළට ගණිතය ඉගැන්නුවා. මගෙන් වාද්දුවෙ ඉගෙන ගත් ශිෂ්‍යයෙක් පසුව පේරාදෙණියෙත් මගේ ශිෂ්‍යයෙක් වුණා. ඔහුට අවැඩක් වුණෙ නැහැ.

 

ඒ කොහොම වුණත් ලන්ඩන් විශ්වවිද්‍යාලය පිළිගත්තෙ නැහැ ලිඳමුලගෙ කියන එක මගේ නමේ කොටසක් කියල. ලිඳමුලගෙ කොටස නැතිව ලංකාවෙ මට රැකියාවකට සහතිකේ ඉදිරිපත් කරන්නත් බැහැ. ඉංගිරිසින් එවැනි අවස්ථාවලට ගැලපෙන ක්‍රමයක් සකස් කරල තියෙනවා. මා දිවුරුම් පෙත්සමක් දුන්නා නලින් කුමාර් ද සිල්වා හා ලිඳමුලගේ නලින් කුමාර් ද සිල්වා කියන්නෙ එක්කෙනා  කියල. ලන්ඩන් විශ්වවිිද්‍යාලය ඒක පිළිගත්තා.

 

ඒකෙ අනෙක් පැත්ත වුණා අපේ ලොකු පුතා සම්බන්ධයෙන්. අර ජ වි පෙ හා ආණ්ඩුවෙ තර්ජනවලින් ගැලවිල එංගලන්තෙ ඉන්න කාලෙ ලොකු පුතාට අවශ්‍ය වුණා ලංකාවට එන්න. ඔහුගෙ නම තිබුණෙ මවගෙ ගමන් බලපත්‍රයෙ. එකල ඔහුට වයස දහසයක් නැහැ. ඒත් තනියම එන්න ඔහුට ම කියල ගමන් බලපත්‍රයක් තියෙන්න ඕන. මා ලන්ඩනයේ ලංකා මහා කොමසාරිස් කාර්යාලයට ගියා පුතාට ගමන් බලපත්‍රයක් ලබා ගන්න.

 

ඔහුගෙ උප්පැන්න සහතිකයෙ නම තියෙන්නෙ ද සිල්වා කොටස නැතිව දේවාදිත්‍ය කියල. මහා කොමසාරිස් කාර්යාලෙ දැනමුත්තෙක් කිවුවා පුතාගෙ ගමන් බලපත්‍රයෙ දේවාදිත්‍ය ද සිල්වා කියල ලියන්න ඕන කියල. මගේ නමේ ද සිල්වා කියන කොටස ඔහුට හිමි කියල කිවුව. මා කිවුව දේවාදිත්‍ය තමයි ඔය ඊනියා සර්නේම් එක කියල. අපි දේවාදිත්‍ය කියල දැම්මෙ ම ද සිල්වා අහක් කරන්න කියා. නිලධාරියා කියනවා ඒ අහක් කරපු කොටස තියෙන්න ම ඕන කියලා. පැයක් පමණ වාද කළත් ඔහු මා කී දේ පිළිගත්තෙ නැහැ. මා කිවුව මට මහා කොමසාරිස්තුමා හමුවෙන්න ඕන කියල. ප්‍රශ්නෙ එතනින් ඉවර වුණා. ද සිල්වාත් එතනින් ඉවර වුණා.

 

විවාහවලදි සමහරුන්ට ඕන වෙනවා ඔය නම මුල පෙළපත් නාමය නම අග පෙළපත් නාමය බවට පත් කරන්න. ඒත් විවාහ ලේකම්තුමන්ල එයට ඉඩ දෙන්නෙ නැහැ. මේ නම පිළිබඳ ගැටළුවට විසඳුමක් ඕන. අප ඉංගිරිසි ජාතිකවාදයයි සිංහල ජාතිකවාදයයි පාස්සන්න ගියා ම මේ ප්‍රශ්නය මතුවෙනවා. ළමයගෙත් සම්පූර්ණ නම කියල යොදනවා නම් මවට හා පියාට පුළුවන් තම දරුවගෙ සම්පූර්ණ නම තීරණය කරන්න.

 

උප්පැන්න සහතිකයෙ තියෙනවා පියාගෙ මවගෙ වර්ගය ලියන්න. ඉංගිරිසියෙන් race  කියල කියන්නෙ. ඒකත් ඉංගිරිසින් තමයි ඇතුල් කරල තියෙන්නෙ. ඒ කාලෙ අපි සිලෝන්. සිලෝන් කියන්නෙ අරාබි සෙලාන් කියන එකෙන් බිඳුණු එකක්. සෙලාන් කියන්නෙ සිංහලාන් කියන එකෙන් බිඳිචච එකක්. අඩු තරමෙන් පස්වැනි සියවසේ ඉඳන් අපි සිංහල දේශය. සිලනීස් කියන්නෙ සිංහලය කියන එක. සිංහල දේශය මෑත කාලයෙ ලංකාව වෙලා තියෙනවා. කවුරු කළා ද දන්නෙ නැහැ.

 

ඉංගිරිසින් මෙරට ජනවර්ග කිහිපයක් දැක්ක. ඔවුන්ට අවශ්‍ය වුණා සිංහලයට තිබූ තැන නැති කරන්න. ඔවුන්ගෙ බෙදා පාලනය කිරීම කියන්නෙ විශේෂිත ජාතිය හරි ජනවර්ගය හරි දුර්වල කරන්න අනෙක් ජනවර්ගවලට තැන දීම, ඒ ජනවර්ග විශේෂිත ජනවර්ගයට විරුද්ධ ව උසිගැන්වීම. රේස් කියන එක කිසිම පදනමක් නැති සංකල්පයක්. සංස්කෘතිය කිවුව නම් එයට වඩා හොඳයි. අප එකිනෙකාගෙ රේස් හොයන්න වංගයට කාලිංගයට කේරළයට පාණ්ඩ්‍ය දේශයට රේස් යන්නෙ නැහැ. අපේ රේස් හොයන්න රාජස්ථානයට යන්න වේවි.

 

දැන් පඬි මතයක් තියෙනවා වර්ගය කියන තැන ලාංකික කියල ලියන්න. ලාංකික කියල ජාතියක් වර්ගයක් නැහැ. ලාංකික භාෂාවකුත් නැහැ. අනෙක ලංකාවෙ උප්පැන්න සහතිකේක ලාංකික කියල ලියන්නෙ අහවල් දේකට ද? අර මාළු ලෑල්ලෙ කතාව මතක් වෙනවා. ඒ කොහොම වෙතත් පඬි නැට්ටන් කියනවා ලංකාව බහුවාර්ගික රටක් කියල. ඒ අතර ම ඔවුන් කියනවා උප්පැන්න සහතිකයෙ වර්ගය සඳහන් කරන්න එපා කියල, වර්ගය අනුව මිනිසුන් හඳුන ගන්න එක වැරදියි කියලා. එහෙනම් බහුවාර්ගික කියන එක නතර කරන්න.

 

අප නම් කියන්නෙ මේ රට නැවතත් සිලෝන් නැත්නම් සිංහලේ කියල හඳුන්වන්න කියලා. සිංහල සංස්කෘතිය තමයි මෙරට විශේෂිත සංස්කෘතිය. ඉංගිරිසින් හා ඔවුන්ගෙ ඇම්බැට්ටයන් (සුද්දන් හා කළු සුද්දන්) ඒ බව පිළිගන්න කැමති නැති එක තමයි මේ වගේ ප්‍රශ්නවලට මුල. උප්පැන්න සහතිකයෙ සංස්කෘතිය මොකක් ද කියල ලියන්න පුළුවන්. සමහර මුස්ලිමුන් ඉන්න පුළුවන් සංස්කෘතිය සිංහල කියල ලියන්න කැමති. සමහරු දෙමළ කියල ලියාවි. තවත් සමහරු මුස්ලිම් කියල ලියාවි. පඬි නැට්ටන්ට නැටි කියල ලියන්න පුළුවන්. නැත්නම් නැති කියල ලියන්න පුළුවන්. ඔවුන්ට සංස්කෘතියක් හැදියාවක් නැහැ. ඔවුන් දන්න එක ම දේ සිංහල බෞද්ධ විරෝධී වීම. වමාලටත් පුළුවන් මංගලත් එක්ක එකට සිංහල බෞද්ධ විරෝධි වෙන්න.

 

පඬි නැට්ටකු අහන්න පුළුවන් මෙරට බහුසංස්කෘතික කියල පිළිගන්නව ද කියල. නැහැ එයට හේතුව පඬි නැට්ටන් හා ඔවුන්ගෙ සුදු ස්වාමිවරුන් බහුසංස්කෘතික කියන එකෙන් අප වැනි රටවල සියලු සංස්කෘතීන් සමාන ලෙස බහුසංස්කෘතිය නිර්වචනය කිරීම. ඒත් බටහිර රටවල විශේෂිත නොවෙයි ආධිපත්‍ය සංස්කෘතියක් තියෙනවා. ඒක අප මතත් පටවනවා.