History

Thursday, 24 February 2022

සුනිල්ගේ විප්ලවය හා අනෙක් සුනිල්

                 සුනිල්ගේ විප්ලවය හා අනෙක් සුනිල්

 

සුනිල් මාධව ප්‍රේමතිලක මිය ගිහින්. මට ඔහු කෙරෙහි තිබුණේ සුහද හැඟීමක් නොවෙයි. ලක්මිණේ එකල වැඩ කළ බොහෝ දෙනකු පිළිබඳ මට සුහද හැඟීමක් නැහැ. ඒ ගැන මා කලින් කියා ඇති.  මේ ලිපිය සුනිල් මාධව පිළිබඳ සටහනක් ද නොවෙයි. මෙය ඊනියා විප්ලවවාදීන්ගේ බුද්ධිය හා හදවත අතර කතාවක්. නැහැ මෙය පඬි නැට්ටන්ගේ ඊනියා ද්වයංගී (binaries) කතාවක් ද නොවෙයි. පඬිනැට්ටන් දන්න ද්වයංගියක් නැහැ. මා දන්නවා මෙරට ඊනියා විප්ලවවාදීන් සුනිල් මාධවට ආදරය කළ බවත් මට ආදරය නොකරන බවත්. එහෙත් මා ඔය ආදරය කියන එක පඬි නැට්ටන්ගේ අර්ථයෙන් දන්නේ නැහැ. අද ඔවුන් ආදරය කියන වචනය කැමති කියන්නෙහි පර්යාය පදයක් ලෙස ව්‍යවහාර කරනවා.

 

මිනිසුන් ඒ ඒ දේ අවබෝධ කරගන්නේ බුද්ධියෙන් හා හදවතින්. නිවන පමණක් එයින් වෙනස් වෙනවා. නිවන කියා දෙයක් සැපක් නැහැ. බොරුව බොරුව බව සම්මාබෝධය තමයි නිවන. එය පසෙකින් තබමු. අපේ අවබෝධය සමහර විට හදවතින් පමණක් වෙන්න පුළුවන්. තවත් සමහර විටක බුද්ධියෙන් පමණක් වෙන්න පුළුවන්. බොහෝ විට ඒ දෙකේ මිශ්‍රණයක්. අපේ සංස්කෘතියේ සෙනෙහස කියා වචනයක් තියෙනවා. මව් සෙනෙහස, පිය සෙනෙහස, දරූ සෙනෙහස, මුණුබුරු සෙනෙහස ආදී වශයෙන්. අප ලියන්නේත් සෙනෙහෙ කොළ. දැන් නම් එස් එම් එස්.

 

ඔය සෙනෙහසත් හදවතේ මෙන් ම බුද්ධියේත් කතාවක්. බුද්ධිය නිසා අප සමහර විට ලාභාපේක්‍ෂාවන් ඇති කර ගන්නවා. ඒ ලාභාපේක්‍ෂාවන් ඉටු නොවෙන කල, අප  දෙමවුපියන් මහමග දමා යනවා. සමහරවිට ඊට වඩා දේ කරනවා. අප බුද්ධියෙන් අපාය නැති කර ගෙන. අප පවට බිය නැහැ. අද මෙරට සංස්කෘතිය අනුව දෙමවුපියන් මහමග දමා යෑම වරදක් නම් එය කා නිසා කුමක් නිසා වෙන වරදක් ද? අප සංස්කෘතික දෙබිඩ්ඩන්. 

 

මැනල ද පුතේ කිරි දුන්නේ මා නුඹට කියන කවි පදයේ ලාභාපේක්‍ෂා කතාව ගැබ් වෙලා තියෙනවා. එය මවටත් පුතාටත් බලපානවා. අප කිසිම ලාභාපේක්‍ෂාවක් නැතිව සෙනෙහස දක්වන්නේ මුණුබුරු මිණිබිරියන්ට වෙන්න ඕන. එය අසීමිත අපර්යන්ත (unbounded) සෙනෙහසක්. එහෙත් හැම සීයල ම ආච්චිල ම එසේ සෙනෙහස දක්වනවා කියා මා කියන්නේ නැහැ.  ලේලිට අකමැති නම් ලේලිගේ දරුවනට සෙනෙහසක් ඇති නොවන්න පුළුවන්.

 

සමාජ අසාධාරණය අප අත්විඳින්නේ බොහෝ විට හදවතින්. මා  හිතන්නේ පිලිප් ගුණවර්ධන මෙරට දී ම ඒ අත්දැකීම ලැබුවා. ඒ බොරළුගොඩ රාළහාමි සිද්ධියෙන් වෙන්න පුළුවන්. එහෙත් ශ්‍රෙෂ්ඨාධිකරණ විනිශ්චයකරුවකුගේ පුතකු වූ ද එවකට සමාජයේ වැදගත් ස්ථානයක් හිමි කරගෙන සිටි බර්ගර් ජනවර්ගයට අයත්වූ ද රාජකීය විදුහලේ දීප්තිමත් ආදි ශිෂ්‍යයකු වූ ද පීටර් කෙනමන්ට සමාජ අසාධාරණත්වය පිළිබඳ හැඟීම ලැබුණේ කෙසේ ද? එය සමහර විට ලංකාවේ දී බුද්ධියෙන් ලැබෙන්න ඇති. එහෙමත් නැත්නම් කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ දී හදවතින් ලැබෙන්න ඇති. ලංකාවේ නීති විිද්‍යාලයේ දී ලැබුණා වෙන්නත් පුළුවන්.

 

සමාජ අසාධාරණය පිළිබඳ අවබෝධය හදවතින් ලැබුණු අයට මඳ කලකින් ලංකාවේ මාක්ස්වාදී මුසා අහන්නට ලැබෙනවා. මාක්ස්වාදය විද්‍යාත්මක ය විද්‍යාව සත්‍යය සොයා යන්නේ ය වැනි බහුබූතත් ඒ අතර වෙනවා. මාක්ස්වාදයවත් විද්‍යාවවත් හැදෑරූවේ නැතත් අර හදවතින් සමාජ අසාධාරණය දුටු අය ටික කලෙකින් ම මාක්ස්වාදියකු වෙනවා. ඉන් පසු දයලෙක්තිය නිර්ධන පංතිය ආදී වචනත් ඉගෙන ගන්නවා. අර වෙළෙඳ දැන්වීමක තියෙන මානව ධර්මතා අප නිර්වචනය කරයි යන්න ලියපු අයටවත් දකින අයටවත් තේරෙන්නෙ නැති වුණාට එය සමාජගත වෙනවා.

 

දයලෙක්තිය කියන පට්ටපල් බොරුව ගැන නොදනිතත් එය භාවිතා කරන්න පුළුවන්. එයට හේතුව අසන්නන් හා කියවන්නන් ද එය නොදැනීම. මා අපෝහකයේ දරිද්‍රතාව ලියා දැන් අවුරුදු තිහකට වැඩියි. ඒ ගැන පඬි නැට්ටන් වගේ වගක් නැතිව ඉන්නවා. මෙරට ඊනියා දාර්ශනිකයන්ට රේඛීය චින්තනය ආරම්භය අනිර්වාචිත භූතාර්ථ ගැන කිසිම අවබෝධයක් නැති ව අපෝහකයක්  දයලෙක්තියක් දැන ගන්නේ කෙසේ ද? ඔවුන් හෙගල්ගේ Logic පොත කියවා තියෙනවා ද දන්නේ නැහැ. මාර්ටින් වික්‍රමසිංහ ඊනියා ද්වන්දාත්මක භෞතිකවාදය ගැන ලියා ඇති ඔහුටවත් නොතේරුණ දේවත් කියවා තියෙනවා ද දන්නේ නැහැ.

 

හදවතින් සමාජ අසාධාරණය දැක බුද්ධියෙන් වටහා ගන්න හදන අයගෙන් සමහරු ටික කලෙකින් වංචනිකයන් වෙනවා. ලංකාවේ පළමු පරම්පරාවේ මාක්ස්වාදීන් බොහෝ විට එංගලන්තයේ දී සමාජ අසාධාරණය අත්විඳ පසුව බුද්ධියෙන් මාක්ස්වාදී වූ අය. ඔවුන් පොතපත කියෙවුවා. තමන් අවබෝධ කරගත් ආකාරයෙන් අවංක ව ඊනියා කම්කරු පංතිය සංවිධානය කළා. ඔවුන් සමාජවාදය දුටුවේ ධනපති ක්‍රමයේ සමාජ වර්ධනය  ඉදිරියට ගෙන යෑමක් ලෙස. ඔවුන්ට අනුව ධනපති ක්‍රමයට සමාජ වර්ධනය තවදුරටත් ගෙන යන්න බැහැ. ඒ නිසා කම්කරු පංතිය බලය අතට ගෙන සමාජ වර්ධනය කරන්න ඕන. ඔවුන්ට පවත්නා සමාජය කෙරෙහි ඊර්ෂ්‍යාවක් තිබුණේ නැහැ. ඔවුන්ට අවශ්‍ය වූයේ අසාධාරණය නැති කර සමාජ වර්ධනය දිගට ම කර ගෙන යෑමටයි.

 

එහෙත් පසුකාලීන ඊනියා විප්ලවවාදීන්ට එවැනි අවබෝධයක් තිබුණේ නැහැ. ඔවුන් සමහරු හදවතින් පමණක් විප්ලවවාදීන් වුණා. ඒ අය අතරින් සමහරු සමාජයට වෛර කළා. ජ වි පෙ ක්‍රියාකාරිකයන් වූයේ බොහෝ විට එවැන්නන්. ඔවුන් පංති පහකින් සියල්ල අවබෝධ කළා. හෙගල් මාක්ස් ට්‍රොට්ස්කි ආදීන් මොනවටද ඕව ලියල තියෙන්නෙ. මාක්ස් හෙගල් ඔළුවෙන් හිටවන්න උත්සාහ කළා. අන්තිමට මාක්ස් ඔළුවෙන් හිට ගත්තා. ඔහු රාජ්‍ය ධනවාදය ඇති කරන්න කියා දුන්නා. ඒත් ඒ ඊනියා විප්ලවවාදීන් එක දෙයක් කළා. ඔවුන් විප්ලවය එපා කෙරෙවුවා. අද ක්වොන්ටම් ජාගොඩ පමණක් විප්ලවයට කඩේ යනවා.

 

අර හදවතින් සමාජ අසාධාරණය දුටු සමහරුනට සුනිල් මාධව වීරයකු වුණා. දිවයිනේ අටවැනි පිටුව සත්‍යවාදියකුගේ දින පොත ඔවුන්ට බණ පොත වුණා. මට නම් එහි කිසිම රුචියක් ඇති දෙයක් තිබුණේ නැහැ. හිස් වචන ටිකක් පමණයි. ඒත් සුනිල් ඒ ලිවුවේ අවංක ව. අනෙක් සුනිල් මෙන් සත්‍යයේ අසත්‍ය ගීත ලියන්න ගියේ නැහැ. අනෙක් සුනිල් කෙළේ වෙළෙඳාමක්. ඔහු විප්ලවයට පවන් සලා  තරුණ තරුණියන්ට එළොවත් මෙළොවත් නැති කළා.

 

මේ අතර තවත් පිරිසක් ඊනියා බුද්ධිමතුන් වීමට සිංහල (බෞද්ධ) සංස්කෘතියට පහර දෙන්න පටන් ගත්තා. ඔවුන් හා බටහිරයන් අතර ඇත්තේ එකඟතාවක්. ඒ සිිංහල බෞද්ධ සංස්කෘතිය නසා දැමීම. මංගලට ද තිබුණෙ ඒ අභිලාෂය. ඔවුන් එකිනෙකාට උපකාර කර ගන්නවා. මුදලින් හා ශ්‍රමයෙන්. ඔවුන් සිංහල බෞද්ධ සංස්කෘතියට පහර දෙන්නේ බටහිර ක්‍රිස්තියානි නූතනත්වය වෙනුවෙන්. මෙය විස්තරාත්මක ව පසුව කියන්න ඕන.       


පොතේ නම අපෝහකයේ දරිද්‍රතාව නොව අපෝහකයේ රූපිකය විය යුතුයි.