History

Friday, 25 February 2022

ඊනියා බුද්ධිමතුන් හා ගිය හකුර

 ඊනියා බුද්ධිමතුන් හා ගිය හකුර

 

අපි රුසියාවෙ ප්‍රශ්නෙ පස්සෙ කතා කරමු. පුටින් ප්‍රශ්නය හොඳින් කළමනාකරණය කරාවි. අපේ ප්‍රශ්නවල දී රුසියාව අපට ආධාර කළා. ඒ බව අමතක කරන්න හොඳ නැහැ. බටහිර රටවල් දැන් බලවත් නැහැ. ගමේ හිටපු රාළහාමි චරිතය තමයි ඔවුන් රඟපාන්නෙ. එහෙත් බටහිරයන් රුසියාවෙ ඊනියා යුද විරෝධයක් ඇති කරන්න උත්සාහ ගන්න බව පේනවා. යුද විරෝධී නම් බටහිරයන්ට තියෙන්නෙ නේටෝව හා එවැනි අනෙක් සංවිධාන විසුරුවා හරින්න. එවිට ලෝකයේ යුද තත්වය සෑහෙන ප්‍රමාණයකින් අඩු වේවි. යුක්‍රේනයෙ  ප්‍රශ්නයට නේටෝවත්  වග කියන්න ඕන.

 

රුසියාවෙ ප්‍රශ්නෙ අපට බලපාන්නෙ මූලික වශයෙන් තෙල් සම්බන්ධයෙන්. අප එයට සූදානම් වෙන්න ඕන. කවදා හරි තෙල් මිල වැඩි කරන්න වෙනවා. එයට මුහුණ දෙන්න වෙනවා. ප්‍රශ්නය යට ගහන්න බැහැ. මෙය ආණ්ඩුවේ ප්‍රශ්නයක් මිසක් ගම්මන්පිළගෙ ප්‍රශ්නයක් නො වෙයි. අප ඩොලර් රැක ගන්න කටයුතු කරන්න ඕන. අද ක්‍ෂණික ප්‍රශ්නය ඩොලර් ඉපයීම නො වෙයි. ඩොලර් රැක ගැනීමයි.

 

ඊනියා බුද්ධිමතුන්ට ලොකු කතා (කන්ටේනර් ටෝක්) දෙන්න පුළුවන් ඩොලර් ඉපයීම ගැන. අපත් දැන් කලක ඉඳන් ම කියනවා තොරතුරු තාක්‍ෂණය මගින් ඩොලර් ඉපයීම ගැන. අප තොරතුරු තාක්‍ෂණයට දක්‍ෂයන් බව මා කියා ඇති. වියුක්ත  ප්‍රවාදාත්මක චින්තනයෙහි අදක්‍ෂයන් වුවත් අපට ප්‍රවාද නැති තොරතුරු තාක්‍ෂණයෙහි දස්කම් පාන්න පුළුවන්. අප දැන් අවුරුදු විස්සකටත් වැඩි කාලයක් තිස්සේ තොරතුරු තාක්‍ෂණයට  යොමු විය යුතු බව කියනවා.

 

එහෙත් අපේ දරුවන් හා තවත් කිහිප දෙනකු හැරෙන්න වෙනත් කිසිවකු එය පයිසෙකට මායිම් කෙළෙ නැහැ.  මා දරුවන්ට විශේෂයෙන් කී දෙයක් නැහැ. ඔවුන්ගේ ජීවිතවලට මා බලපෑම් කර නැහැ. එහෙත් කෙසේ නමුත් ඔවුන් ඒ ක්‍ෂෙත්‍රයට යොමු වෙලා (ජඩමාධ්‍යවේදීන්ට වේදිනියන්ට අනුව ඔවුන් පළමු උපාධි ලබා තියෙන්නෙ පිටරට).  ජඩමාධ්‍යවේදීන් ඇතුළු පඬියන් පඬි පෝතකයන් පඬි නැට්ටන් මා කී දේ මිථ්‍යාවක් ලෙසත් සලකන්න ඇති. එහෙම නැත්නම් නාථ දෙවියන් කී දෙයක් යැයි කියා බැහැර කරන්නත් ඇති. මට තොරතුරු තාක්‍ෂණයෙන් උපාධියකුත් නැහැ. කොහොමටත් ජඩමාධ්‍යවේදීන්ට අනුව මා මැන්ටලයක්. අවුරුදු විස්සකට පෙරත් මා මැන්ටලයක්. ජඩමාධ්‍යවේදීන් සලකන්නෙ ආචාර්ය මහාචාර්යවරුන්ට බව මා අත්දැකීමෙන් දන්නවා. ඔවුන්ට අනුව මගේ ආචාර්ය උපාධිය නොමේරූ එකක්.

 

ඊනියා බුද්ධිමතුන්ටත් වියුක්ත ව හිතන්න බැහැ. ඔවුන් ඩිජිටල් තාක්‍ෂණය ගැන කතා කරන්නේ අපේ දක්‍ෂකම් අදක්‍ෂකම් විශ්ලේෂණය කරල නොවෙයි. ඒ අර වෙළෙඳ දැන්වීමේ දුව ඩොක්ටර් කෙනකු වෙන්න මහන්සි වෙනව වගේ. අද ඩිජිටල් තාක්‍ෂණයට තැනක් තියෙනවා. අප ඉගෙන ගන්නෙ පොහොසත් වෙන්න, ගොඩ යන්න. ධම්මික පෙරේරාත් කියන්නෙ අධ්‍යාපන ඉන්ජෙක්සන් එක දෙන්න කියා. ඒ පොහොසත් වෙන්න.

 

මා නිකම් හොයල බැලුව ධම්මික පෙරේරා කොච්චර ඉගෙන ගෙන තියෙනවා ද කියා. මා හිතන්නෙ හයිසන්බර්ග්ටත් ඉගැන් වූ ක්වොන්ටම් ප්‍රබුද්ධටත් ධම්මික පෙරේරාට වඩා  අධ්‍යාපන සුදුසුකම් තියෙනවා කියා. එය එතරම් හොඳ උදාහරණයක් නොවෙන්න පුළුවන්. හයිසන්බර්ග්ට ඉගැන්වීම සුළු පටු දෙයක් නො වෙයි. ඔය ඉංජිනේරු පීඨවලින් ඉංජිනේරුවන් කී දෙනකු බිහි වෙලා ඇත් ද? ඔවුන්ගෙන් කී දෙනකු පොහොසත් වෙලා තියෙනවා ද? අර පළමු ඉංජිනේරු උපාධිධාරිණිය වූ සුමි මුණසිංහ නම් සාර්ථක ව්‍යාපාරිණියක වූවා. ඇය අපට වඩා අවුරුද්දක් ජ්‍යෙෂ්ඨයි. නැහැ මා ඉංජිනේරු උපාධිධාරියෙක් නො වෙයි. මා හිටියෙ පේරාදෙණියෙ ගඟෙන් නුවර පැත්තෙ. අධ්‍යාපන ඉන්ජෙක්සන් වැඩ කරන්නෙ නැහැ.

 

අද අපට අවශ්‍ය අලුතෙන් හිතන්න පුළුවන් අය. විශ්වවිද්‍යාලවලින් එවැන්නන් බිහි වෙන්නෙ නැහැ. ධම්මික පෙරේරා වුණත් බිහි වුණෙ විශ්වවිද්‍යාලයකින් නො වෙයි. ලෝකයේ හැම විශ්වවිද්‍යාලයකින් ම කෙරෙන්න හිතන්න බැරි අය බිහි කිරීම. විශ්වවිිද්‍යාලවල පාසල්වල කාර්යභාරය හිතන්න පුළුවන් අය බිහි කරන එක නොවෙයි. ඒ ආයතන විසින් කෙරෙන්නෙ බටහිර ක්‍රිස්තියානි නූතනත්ව චින්තන ආධිපත්‍යයට සිසුන් යට කිරීම.

 

බටහිර රටවල මෙන් ම අපේ රටෙත් මේ අධ්‍යාපනය ප්‍රතික්‍ෂෙප කරන අය තමයි බොහෝ විට අලුතෙන් හිතන්නෙ. ධම්මික පෙරේරාත් ඔය අධ්‍යාපනය ප්‍රතික්‍ෂෙප කරපු අයෙක්. එහෙමත් නැත්නම් අධ්‍යාපනයෙන් ප්‍රතික්‍ෂෙප කරනු ලැබූ අයෙක්. බිල් ගේට්ස් ගැන හොයල බලන්න. ව්‍යාපාර පැත්තෙන් නැත්නම් ව්‍යවසායකත්වයෙන් ඔවුන් අලුතෙන් හිතනවා. ඒ අතර බටහිර ඉන්නවා අධ්‍යාපන ක්‍ෂෙත්‍රයේ ම අලුතෙන් හිතන අය. ඔවුන් අලුත් දැනුම් සංස්කරණය (නිර්මාණය) කරනවා. ඔවුන් අධ්‍යාපනය ප්‍රතික්‍ෂෙප කරන්නෙ නැහැ. ඔවුන් ඒ අධ්‍යාපනය මගින් ම එතෙක් තිබූ සමහර දැනුම් ප්‍රතික්‍ෂෙප කරනවා. මේ සම්බන්ධයෙන් හොඳ ම උදාහරණය ඇල්බට් අයින්ස්ටයින්. අපේ රටෙන් එවැන්නන් බිහි වන්නෙ නැහැ. ඒ සඳහා වියුක්ත චින්තනයෙහි ඉහළට යන්න ඕන.

 

එහෙත් මේ ධාරාව බටහිරත් දැන් නැවතිලා. බටහිර භෞතික විද්‍යාවෙත් හරිහමන් අලුත් දැනුමක් බිහි වෙන්නෙ නැහැ. අර තන්තුවාදයෙන් (string theory) කෙරෙන්නෙ ලණු දෙන එක පමණයි. අලි හෙම්බිරිස්සාව ගැන බටහිරයන් දන්නෙ මොනවා ද? ඒත් අපේ තියෙන බයාදුකම නිවටකම වහල්බව ආදීය නිසා අප බටහිර දැනුමට වැඳ පුදා ගෙන ඉන්නවා. අප බටහිරින් එන නිවේදන කියවන්නන් පමණයි. පාසලෙත් සරසවියෙත් ජනමාධ්‍යයෙත් කරන්නෙ නිවේදන කියවීම පමණයි.

 

ඔය පඬියන් ලොකු කතා කිවුවත් එක රැයෙන් තොරතුරු තාක්‍ෂණය දියුණු කරන්න බැහැ. අප ඩොලර් උපයන්න කටයුතු කරන්න තිබුණෙ අවුරුදු විස්සකට පමණ පෙර. එසේ කළා නම් අපේ සන්නාම ඇති කර ගත්ත නම් අද අපට ඩොලර් අර්බුදයක් නැති වෙන්න තිබුණා. අද ක්‍ෂණික ප්‍රශ්නය ඩොලර් ඉපයීම නො වෙයි, ඩොලර් රැක ගැනීම. පඬියන් ඒ ගැන කියන්නෙ මොකක් ද? අපේ පැරැන්නන් ඔක්ස්ෆර්ඩ් කේම්බ්‍රිජ්  හාවඩ් ප්‍රින්ස්ටන් ගියේ නැහැ. ඒත් ඔවුන්ගෙ වටින කියමන් තියෙනවා. ඉන් එකක් තමයි ගිය හකුරට නාඬන්නේ තියෙන හකුර රැකගන්නෙ කියන එක.

 

අද අප තියෙන ඩොලර් ටික රැක ගන්න බලමු. ඒ අතර උපයන්න බලමු. එහෙත් ප්‍රධාන කාර්යය ඩොලර් රැක ගැනීම. ඒ සඳහා ක්‍ෂණික ව කරන්න පුළුවන් ආනයන අඩු කිරීමයි. අපේ අවශ්‍යතා තෝරා බේරා ගනිමු. අත්‍යවශ්‍ය මොනවා ද යන්න තීරණය කරමු. එය ඊනියා ප්‍රජාතාන්ත්‍රික ව කරන්න බැහැ. ඒ ඒ අයගේ අවශ්‍යතා වෙනස්. රට වෙනුවෙන් කල්පනා කරල අවශ්‍යතා තීරණය කරන්න ඕන. එහෙත් පොඩි ප්‍රශ්නයක් තියෙනවා. රට වෙනුවෙන් කල්පනා කරන අය එසේ කරන්නෙ මොන රට වෙනුවෙන් ද?