History

Monday, 16 May 2022

අපි බුද්ධාගම්කාරයන් නොවෙමු

 අපි බුද්ධාගම්කාරයන් නොවෙමු 


ඊයේ ලිපියට ලැබුණු ප්‍රතිචාර අතරින් තුනක් කැපී පෙනෙනවා. එක් අයකු කියා තිබුණේ මා බොදුනුවකු වශයෙන් පෙනී සිටිය ද විවිධ ආගම් අදහන්නකු බවයි. ඔහු ඒ නිගමනයට පැමිණියේ කෙැසේ දැයි මට හිතා ගන්න බැහැ. මගේ අනුමානය නම් ලිපියේ ආගම් කිහිපයක් ගැන සඳහන් කර තිබූ බැවින් ඔහු ඒ නිගමනයට එන්න ඇති බවයි. මා කිසිම ආගමක් අදහන්නේ නැහැ. අඩු ගණනේ බටහිර විද්‍යාවවත් අදහන්නේ නැහැ. බටහිර විද්‍යාවත් පදනම් වන්නේ විශ්වාසය මතයි. ඇදහීම පදනම් වන්නේ විශ්වාසය මතයි. බුදුදහම විශ්වාසය මත පදනම් වන්නේ නැහැ. එව බලව එහි පිළිවෙතයි. මා බුදුදහම මත පදනම් වූ සංස්කෘතියක ජීවත් වෙනවා.


තවත්  අයකු කියා තිබුණේ මගේ ප්‍රශ්නවලට පිළිතුරු එක්තරා ථෙරවාද වෙබ් අඩවියකින් ලබා ගත හැකි බවයි. මා බෞද්ධ දර්ශනය යනුවෙන් හැඳින්වෙන දැනුම් පිළිබඳ විශේෂඥයන් හමු වී තියෙනවා. එහෙත් ඔවුන්ට පිළිතුරු තිබුණේ නැහැ. මනස සංස්කරණය වන්නේ කෙසේ ද යන ප්‍රශ්නයට ඔය වෙබ් අඩවියේ පිළිතුරු තියෙනව ද කියා මා දන්නේ නැහැ. සියලු ප්‍රශ්නවලට පිළිතුරු තමන් සතු ය කියා සිතීම නම් එතරම් හොඳ දෙයක් නො වෙයි.  


තුන්වැන්නකු කියා තිබුණේ 2002 දී ලියූ ලිපි තරම් හොඳ ලිපි දැන් ලියන්නෙ නැති බවයි. එය ඔහුගේ දැකීම. එහෙත් නිවන විශ්වාසයක් නොවන බව පෙන්වීමට මට හැකි වූයේ මෑතක දී. සමහර විට ඔහු තවමත් නිවන විශ්වාසයක් ලෙස සිතනවා ඇති. එහෙත් ඔහු මගේ ලිපි ගැන කියන්නේ බොහෝ දෙනා මෙන් ම දේශපාලනය මත පදනම් වී බව පැහැදිලියි. මා ගෝටා ගෝ කියනවා නම් මහින්දට නාකි මයිනා කියනවා නම් සමාජවාදයක් ගැන කතා කරනවා නම් මගේ ලිපි විශිෂ්ට වන බව මා දන්නවා.  


ඒ ප්‍රතිචාර දැක් වූ තිදෙනා ම බෞද්ධයන් (බුද්ධාගම්කාරයන්) වීමට ඇති ඉඩකඩ (සම්භාවිතාව) අධික වෙන්න ඕන. මට අද කතා කරන්න ඕන බෞද්ධකම ගැනයි. ඊයේ කලකට පසු මෙරට බෞද්ධයන් වෙසක් ආමිස පූජාවට සහභාගි වුණා. ප්‍රතිපත්තිත් රැක්කා. පන්සල් ගියා. අටසිල් සමාදන් වුණා. ශීල ව්‍යාපාර තිබුණා. සිරිතක් ලෙස බණ ඇහුවා. ගෙවල් සැරසිලි කළා. පහන් පත්තු කළා. තවත් බොහෝ දේ කළා. ඒත් අපි බෞද්ධ ද? අපි හිතනවා අපි බෞද්ධ කියා.


අප සිංහල බෞද්ධයන්. අද වන විට අප ආගම්කාරයන්. මා නම් හිතන්නේ අප ආගම්කාරයන් වුණේ ඕල්කට්තුමාගෙන් පස්සෙ කියල. බුද්ධාගම කියන වචනෙ යොදා ගන්න පටන් ගත්තෙ කවද ද කියල කවුරු හරි හොයල බලනවා ද? බුඩිසම් කියල එකක් නම් තියෙන්න නැතුව ඇති. ඕල්කට්තුමා අපේ සිංහලකම නැති කරල ජාත්‍යන්තර බෞද්ධයන් කළා. අපට දැන් ජාත්‍යන්තර බෞද්ධ කොඩියක් තියෙනවා. ඒ කොඩිය ඕල්කට්තුමා නිර්මාණය කරල තියෙන්නේ අපේ පරම්පරාවෙ (ඨකුරාර්ථ දේවාදිත්‍ය ලිඳමූලගේ) කොඩිය අනුව. මට ඒ ගැන ආඩම්බරයක් නැහැ. මට ඇත්තේ කණාගාටුවක්. ඒ තීරු කොඩිය ගැන. අප ආගම්කාරයන් වීම ගැනත් මට ඇත්තේ කණගාටුවක්. මෙහි ඇති රූපය ඒ පරම්පරා කොඩියෙ. 


අපට විශ්වාසයක් මත පදනම් වෙන්න අවශ්‍ය නැහැ. අප යම් සංස්කෘතියකට අයත්. එහෙත් අප නිරාගාමිකයන්. අපේ සංස්කෘතිය, එනම් සිංහල බෞද්ධ සංස්කෘතිය, ආගමක් විශ්වාසයක් මත පදනම් වූවක් නො වෙයි. තමන් ඊනියා නිරාගාමිකයන් යැයි කියා ගන්නා අය පදනම් වන්නෙ විශ්වාසය මත. ආරම්භය, තාර්කිකත්වය, ඇරිස්ටෝටල් න්‍යාය ගැන ඔවුන් විශ්වාස කරනවා. ඒ සියල්ල වියුක්තයි. ං= ඹ හා ඹ = ඡ නම් ං – ඡ කියා සාධනය කරන්න බැහැ. එය උද්ගමනයක් (ඉනඩඋචටඉඔන) පමණයි. බටහිර ගණිතයේ ඇත්තෙ වියුක්ත උද්ගමන. බටහිර විද්‍යාවේ වියුක්ත උපකල්පන පියර්ස්ගෙ සංකල්පයක් වූ  අපහරණ (අබඩඋචටඉඔන)  ලෙස ඉදිරිපත් කෙරෙනවා. බුදුදහමේ වියුක්ත සංකල්ප නැහැ. සිංහලයන්ට වියුක්ත ව හිතන්න බැරිත් ඒ නිසා ය කියා හිතෙනවා. නිවන වියුක්ත තබා සංකල්පයක්වත් නො වෙයි. එය නාම පදයකින් කියන්නක් නො වෙයි. නිවන කියන්නෙ නැවත ඉපදීම නැති කිරීම. එපමණයි.  සිදුහත් කුමරු ඊයේ වැනි දිනෙක  ඉපදිලා කිවුවෙ මේ මාගේ අවසාන ඉපදීම කියලයි.     


ඒත් කරුමෙට මා නම් නැවත ඉපදෙනවා. ඒ බව මා දන්නවා. එහෙත් කිනම් භවයක ද කියා දන්නේ නැහැ. නැවත ඉපදෙන බවට සාක්‍ෂි තියෙනවා. කැනඩාවේ ඉපිද එක්සත් රාජ්‍යවල මිය ගිය ඉයන් ස්ටීවන්සන්ගෙ කතා පමණක් නොවෙයි තවත් කතාත් තියෙනවා. ආරම්භයක් හා රේඛීය චින්තනයක් මත පදනම් වෙන බටහිර ක්‍රිස්තියානි නූතනත්ව සංස්කෘතිය ආගමිකයි. චක්‍රීය චින්තනයක් ඇතුව නිරාගාමික සංස්කෘතියකට අයත් වූ අපි අද ආගමික සංස්කෘතියක ඉන්නෙ. එහි බටහිර විද්‍යාව, බටහිර දැනුම, අධිපරිභෝජනය, බොරු ෂෝක් පමණක් නොව බොරු උගත්කමත් තියෙනවා. වාසනාවකට සෝපාකට බොරු උගත්කමක් තිබුණෙ නැහැ. 


අප දැන් බෞද්ධ සංස්කෘතියෙන් ඈත් වෙලා බුද්ධාගම්කාරයන් වෙලා. ඇත්තට ම අපි බෞද්ධ ආලේපයක් සහිත ක්‍රිස්තියානි නූතනත්ව ආගමිකයන්. එය ඉතා මැනවින් පෙන්නුම් කරන්නෙ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කියා කියන්න පුළුවන්. අනෙක් විශ්වවිද්‍යාලවල වගේ ම එහිත් උගන්වන්නෙ බටහිර ක්‍රිස්තියානි නූතනත්ව ආගමික කතා. එහි පාරට පේන බිත්තියක දැවැන්ත බෞද්ධ කොඩියක් ආලේප කරල තියෙනවා. 


අප බටහිර ක්‍රිස්තියානි නූතනත්ව සංස්කෘතියක බුද්ධාගම්කාරයන් වෙලා. ඒත් අපට ක්‍රිස්තියානි නූතනත්වයටත් හරියට යන්න බැහැ. අපේ ඊනියා උගතුන්ට වියුක්ත ව හිතනවා තියා වියුක්ත කියන්නෙ මොකක් ද කියන එකවත් තේරුම් ගන්න බැහැ. අපි එක්තරා විධියකින් සංස්කෘතික දෙබිඩ්ඩො.