History

Sunday, 12 June 2022

රනිල්දාස හා ධම්මික පෙරේරා සංයෝගය

 

රනිල්දාස හා ධම්මික පෙරේරා සංයෝගය

 

රනිල්දාසත් කියල තිබුණ අපේ පරිභෝජන රටා වෙනස් කරන්න ඕන කියලා. එතන තියෙන්නෙ ටීයුබ් ලයිට් ප්‍රමාදයක්. අධිපරිභෝජනය හැමෝට ම වගේ පොදු වුණත් වඩාත් ම ගැලපෙන්නේ මධ්‍යම පංතියටයි. ඉහළ හා පහළ දෙගොල්ලන්ට ම. ඉහළ ධනපතියන් මෙරට නැහැ. ධම්මික පෙරේරා වුණත් ඉහළ මධ්‍යම පංතියේ අයකු පමණයි. ධම්මික පෙරේරා හා රනිල්දාස හොඳ මිතුරන්. සමහර විට සාමාන්‍ය ජෙප්පන් ඒ මිතුරුකම දන්නෙ නැතුව ඇති. ලාල් කාන්ත නම් දන්නව ඇති.

 

ලාල් කාන්ත නිතර කියන දෙයක් තමයි පාර්ලිමේන්තුව විසුරුවා හැරල මැතිවරණයක් පවත්වන්න ඕන කියල. එය කරන්න බැරි වුණත් මාත් ලාල් කාන්තගෙ යෝජනාවට කැමතියි. ඒ මැතිවරණයකින් ජෙප්පන් අතු ගෑවී යන නිසා. රට ගිනි තියල මැතිවරණ දිනන්න බැරි බව ජෙප්පන් හා සෙප්පන් තේරුම් ගන්න ඕන. ජෙප්පන් 1965 සිට මෙරට ක්‍රියාත්මක බව අමතක කරන්න බැහැ.  අවුරුදු පනස්හතක් කියන්නෙ පොඩි කාලයක් නො වෙයි. ලාල් කාන්ත හිතන්නෙ මන්ත්‍රීවරු පාර්ලිමේන්තුව විසුරුවා හරින්න කැමති වේවි කියල ද? ධම්මික පෙරේරා මන්ත්‍රී වෙච්ච ගමන් පාර්ලිමේන්තුව විසුරුවා හරින්න කැමති වෙයි ද? රනිල්දාසගෙන් අහල බලන්න.

 

අද තියෙන ආර්ථික අර්බුදය 1948 සිට පැවතෙන අපේ අධිපරිභෝජනය, බොරු ෂෝක් හා බොරු උගත්කම නිසා ඇති වූ එකක් මිස අරයගෙ මෙයාගෙ හොරකම් නිසා ඇති වූවක් නො වෙයි. හොරකම් නොකරන අය මෙරට ඉන්නෙ ටික දෙනකු වෙන්න ඕන. නියමිත වෙලාවෙදි වැඩ නොකර අතිකාල ලබා ගන්නා අය නැතුව නො වෙයි. ඒ අය කරන්නෙත් හොරකම්. කාර්යාලයෙ වියදමෙන් පෞද්ගලික දුරකතන ඇමතුම් ගැනීමත් හොරකම්. ඒවා පොඩි හොරකම් වෙන්න පුළුවන්. ඒත් හොරකම්. ඒ හොරකම් සියල්ල එකතු කළත් මල්වානෙ නිවස එකතු කළත් අර සිරිසේනගෙ ගෙවල් දෙක එකතු කළත් ඩොලර් බිලියන ගණනක් නම් වෙන්නෙ නැහැ.

 

මෙරට තරම් ප්‍රජාතන්ත්‍රවාදය ඇති රටක් තවත් නැතුව ඇති. බටහිර රටකට ගිහින් සිංහල බෞද්ධ සංස්කෘතියට එරට ක්‍රිස්තියානි සංස්කෘතියට ඇති තැන ලබා ගැනීමට උත්සාහ කරන්න. සිංහල බෞද්ධ සංස්කෘතිය පැත්තකට දාල ජපන් බෞද්ධ සංස්කෘතියට ඒ තැන ලබා ගන්න කිසිවකු උත්සාහ කරනවා ද? පහුගිය ජුනි හයවැනිදාට එංගලන්ත රැජින ඔටුනු පළඳලා අවුරුදු හැත්තෑවක් වුණා. ඒකට ප්ලැටිනම් ජයන්තිය කියා කියනවා.

 

ඉංගිරිසි සංස්කෘතියෙ ස්වර්ණ ජයන්තිය වජ්‍ර (දියමන්ති) ජයන්තිය ආදී වශයෙන් අවුරුදු පනහ හැට ආදියට ජයන්ති නම් කර තියෙනවා. මා මුලින් ඉගෙන ගත් වෑකඩ ඉස්කෝලෙ අවුරුදු පනහ හැට වෙනුවෙන් ස්වර්ණ ජයන්තිය (1930)  හා වජ්‍ර ජයන්තිය (1940)  සමරමින් හදපු ගොඩනැගිලි දෙකක් තියෙනවා. ඒත් ප්ලැටිනම් ජයන්තියක් පැවැත්තුවෙ නැහැ. ප්ලැටිනම් ජයන්තිය කාලෙ මා පාසලේ ශිෂ්‍යයෙක්. ප්ලැටිනම් කියන්නෙ නම් ඝනත්වය අධික ලෝහයක්. ඔය පහුගිය දා පැවැත්වුණු ප්ලැටිනම් ජයන්තිය නිමිත්තෙන් බකිංහම් මාළිගාවෙ හරි වෙනත් කොහෙ හරි සර්ව ආගමික උත්සව එහෙම තිබුණ ද කියල මෙරට බිරිතානි මහා කොමසාරිස්වරියගෙන් දැන ගන්න පුළුවන් ද?

 

අප රටේ වෘත්තීය සමිති ඒකාධිකාරියක් තියෙනවා. ඒක අමුතු ම විධියෙ ප්‍රජාතන්ත්‍රවාදයක්. පහුගිය දා විදුලි බල මණ්ඩලයෙ ඉංජිනේරුවො වෘත්තිය සමිති ව්‍යාපාරය මගින් රට අඳුරෙ තියෙන්න උත්සාහ කළා. ඉතා පැහැදිලි ව අද ආර්ථික අර්බුදයට වෘත්තීය සමිති ඒකාධිකාරයත් එක් හේතුවක්. අපට ඇත්තෙ රටට ඔරොත්තු නොදෙන කම්කරු නීති. බටහිර රටවල නැති තරමට මෙරට කම්කරු නීති තදයි. වරදකටවත් සේවකයකු අස් කිරීම මෙරට එතරම් පහසු දෙයක් නො වෙයි. වැඩ නොකර පඩි ලබා දීම වෘත්තිය තමිතිවල කාර්යභාරය කිවුවත් වැරදි නැහැ. බටහිර රටවල සේවය කරන අය මේ ගැන හොඳින් දන්නවා.

 

වෘත්තීය සමිති ව්‍යාපාරය මෙරටට පැමිණියේ බටහිරින්, විශේෂයෙන් ම එංගලන්තයෙන්. බටහිරින් ලබා ගත් දේ තමයි අද මෙරට සංස්කෘතියෙ ජීවන රටාවෙ වැදගත් වෙන්නෙ. අධ්‍යාපනය, ජනමාධ්‍ය, නීතිය වෙදකම, කාර්මික ක්‍ෂෙත්‍රය අදී බොහෝ තැන්වල ක්‍රියාත්මක වන්නෙ බටහිර ක්‍රිස්තියානි සංස්කෘතිය. අප බෞද්ධ සංස්කෘතියෙ ඉන්නෙ සංකේතාත්මක ව. බෞද්ධ සංස්කෘතියෙ අධිපරිභෝජනයක් තියෙන්න බැහැ. ආර්ථික අර්බුදය අප සිංහල බෞද්ධ සංස්කෘතියෙන් ඈත් වීම නිසා ඇති වූවක් ලෙසත් හිතන්න පුළුවන්. සල්ලහුක ජීවිතය තියෙන්නෙ කරණීය මෙත්ත සූත්‍රයෙ පමණයි.

 

බටහිරින් ගත් ඇතැම් දේ අප වර්ධනය කර ගෙන තියෙනවා. ඒ අපේ යහපතට නම් නො වෙයි.  අප බටහිර සංස්කෘතියෙ ඒ ඒ අංග ඊනියා වර්ධනයකට භාජනය කළත් බටහිර සංස්කෘතික සමස්තය ගැන තැකීමක් කළෙ නැහැ. අපට එය කරන්නත් බැහැ. ඒක අපේ සංස්කෘතියක් නො වෙයි. අධ්‍යාපනය හා  වෘත්තීය සමීිතිත් එසේ ඊනියා වර්ධනයකට භාජනය කළ අංග දෙකක්. අධ්‍යාපනය විභාග සමත්වීම මුලික කරගත් දෙයක් ලෙසයි "වර්ධනය" වෙලා තියෙන්නෙ. වෘත්තීය සමිති "වර්ධනයට" ලක් වුණෙ වැඩ කිරීම හා යුතුකම් වෙනුවට වැඩ නොකිරීම හා අයිතිවාසිකම් මුල් කර ගෙන.

 

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය පිහිටෙවුවෙ 1992 දි. ඒ මගින් මෙරටට ආයෝජකයන් කී නෙකු ඇවිත් තියෙනවා ද? සමස්තයක් ලෙස ගත්තම ආයෝජකයන් මෙරට එන්නෙ නැත්තෙ ඇයි. මෙරට කම්කරු නීති වෘත්තිය සමිති ඒකාධිකාරය කොයි තරම් දුරකට ආයෝජකයන් නැති වීමට හේතු වෙලා තියෙනවා ද? අද ආයෝජන මණ්ඩලය කියන්නෙ තවත් රැකියා මධ්‍යස්ථානයක් පමණ ද?   

 

ආර්ථික අර්බුදයට බොරු උගත්කම දායක වන එක් විධියක් තමයි වෘත්තිය සමිති හා බොරු සමාජවාදය. ඒ සමාජවාදය අද සමාජවදයක් වෙලා. අපි ආදායමට වඩා වියදම් කර ඇති බව රනිල්දාසත් කියනවා. ඒ වියදමට එක් හේතුවක් වෘත්තිය සමිති ඒකාධිකාරය. වැඩ නොකර පඩි ගැනීම. රනිල්දාසල දන්නව වෘත්තීය සමිති ව්‍යාපාරය ව්‍යාපාරයක් ම කර ගන්න. ධම්මික පෙරේරා වගේ ව්‍යාපාරිකයන් එක්ක ඔවුන් කරන්නෙ වෘත්තීය සමිති ව්‍යාපාරයක්. වැඩ නොකිරීම පඩි ගැනීම වැඩ වර්ජන වැඩ කිරීම හාම්පුතාට වදයක් නොවීම ආදිය අතර සමතුලිතතාවක් තබා ගැනීමට ඔවුන් සමත් වෙලා තියෙනවා. ධම්මික පෙරේරා අගමැති වෙලා රනිල්දාස විපක්‍ෂ නායක වුණොත් කොහොමද කියල මට වෙලාවකට හිතෙනවා.