History

Monday, 13 June 2022

වමාලා, නාපු විප්ලවය හා ජාතිකත්වය

 

වමාලා, නාපු විප්ලවය හා ජාතිකත්වය

 

ඉස්සර තිබුණු වමටත් දැන් ඉන්න වමක් නැති වමාලාටත් ඇති ප්‍රධාන ප්‍රශ්නයක් නම් මෙරට ජාතිකත්වය හඳුනා ගැනීමට නොහැකි වීම. ජාතිය සංස්කෘතිය ආදිය මත නොව ඊනියා පංතිය මත පදනම් ව ලෝකය දකින මාක්ස්වාදීන්ට එසේ නොහැකි වීම පුදුමයට කරුණක් නො වෙයි. ඩිව් ගුණසේකරගෙන් නිකමට අහල දැන ගන්න දෙන උත්තරේ මොකක් ද කියල. මාක්ස්වාදය කියන්නෙ විලම්බීතයක්. එය මාක්ස් ඊනියා විද්‍යාඥයකු වෙන්න ගිහිල්ල අනාගත්ත කතාවක්.

 

මාක්ස්වාදයෙ කියැවෙන්නෙ සමාජ විකාශය. මා දකින විධියට සමාජ විකාශය සන්තතික (continuous) මෙන් ම අසන්තතිකයි (discontinuous). අසන්තතතික අවස්ථාවල විප්ලවීය කියන වෙනස්කම් ඇති වෙන්න පුළුවන්.  ඒත් සෑම අසන්තතික අවස්ථාවක් ම විප්ලවීය වෙනසක් ඇති කරන්නෙ නැහැ. අද මෙරටත් ඇත්තෙ අසන්තතික අවස්ථාවක්. එහෙත් සමාජ විප්ලවයක් සිද්ධ වෙන්නෙ නැහැ.

 

ආතල්ගම නාගරිකයන් තව ටිකක් කල් ඉඳලා යන්න යයි. දැනටත් ඉන්නෙ ඉතා ටික දෙනයි. හවසට කොළඹ රටේ ඇතැම් පොෂ් කියන අම්මණ්ඩිල කිඩ්ස්ලත් එක්ක කානිවල් බලන්න එනවා. අර විශ්වවිිද්‍යාලෙට නම් යන එකක් නැහැ. අර විප්ලවය බලාපොරොත්තුවෙන් සිටි ඉහළ පෙළේ උගතුන් බුද්ධිමතුන් දැන් විශ්වවිද්‍යාලෙ දේශනවලට එන්නෙ නැද්ද? කලාලකරුවන් දකින්න නැත්තෙ ඇයි? ද්‍රවිඩරත්නට බැරි ද නාපු විප්ලවය ගැන ගීතයක් ලියන්න. නාපු කියන එකට ස්නානය කළ නොපැමිණි යන අර්ථ දෙන්න පුළුවන්. පැරැන්නන්ට පින් සිද්ධ වෙන්න  සිංහලය පොහොසත් භාෂාවක්.

 

සමාජ විප්ලවයක් කියන්නෙ සමාජයේ නිෂ්පාදන ක්‍රමයෙ නිෂ්පාදන මාතවල අයිතියෙ ආදියෙ වෙනසක් වීමක්. බටහිර යුරෝපයෙ එවැනි සමාජ විප්ලව දෙකක් දකින්න පුළුවන්. ග්‍රීසියෙ රෝමයෙ හා තවත් රටවල ප්‍රදේශවල එකල වහල් සමාජයක් තිබුණෙ. වහලුන් හා වහල් හිමියන් වශයෙන් මිනිස්සු (පිරිමින් හා ගැහැණුන්) බෙදිල හිටියෙ. වහලුන් අසාධාරණයකට ලක්වෙලා හිටියෙ. මැතකදීත් එක්සත් ජනපදවල වහලුන් හිටියා. ඒ ධනවාදයෙ යටතෙ තිබූ වහල් ක්‍රමයක්.

 

වහල් සමාජය වෙනසකට භාජනය වුණා. ඉන් පසු බටහිර යුරෝපයෙ වැඩවසම් සමාජයක් ඇති වුණා. ඉඩම් අයිතිය හා සේවය (ශ්‍රමය විකිණීම) එහි පදනමේ තිබුණා. ඉඩම් හිමියන් හා ප්‍රවේණිදාසයන් ලෙස සමාජය බෙදී හිටියා. ප්‍රවේණිදාසයන් අසාධාරණයට ලක් වුණා. ඒ සමාජ ක්‍රමයෙ අවස්ථා දෙකක් තිබුණ. පළමුව පාප්වහන්සෙගෙ අධිරාජ්‍යය. දෙවනුව ඒ ඒ රාජ්‍යවල රජුන් රදළයන් පූජකයන් පවත්වාගෙන ගිය රාජ්‍ය.

 

වැඩවසම් සමාජයට පසුව ඊනියා ධනවාදී සමාජය ඇති වුණා. එහි නිෂ්පාදන මාතය වෙනස් වුණා. කාර්මික සමාජයක් ඇති වුණා. කෘෂිකර්මයත් කාර්මික කෙරුණා. ඒ ඒ නිෂ්පාදන ආයතනවල අයිතිය ධනපතීන් සතු වුණා. කම්කරුවො එහි තම ශ්‍රමය විකුණුව. ලෙනින්ගෙන් පසුව සෝවියට් දේශයෙ ඇති වුණෙ රාජ්‍ය ඒකාධිකාරයක්. එයත් ධනපති රාජ්‍යයක්.

 

ඉහත සඳහන් විප්ලව දෙකේ ම පොදු ලක්‍ෂණයක් තියෙනවා. වහල් සමාජය වෙනස් කෙළේ ස්පාටකස්වත් වහලුන්ගෙ වෙනත් නායකයෙක්වත් නො වෙයි. වහලුන් කළ විප්ලවයක් නැහැ. වැඩවසම් ක්‍රමය වෙනස් කෙළෙ ප්‍රවෙණිදාසයන් නො වෙයි. ධනපතියන් ආවෙ වෙනත් සමාජ කොටසක් ලෙස. ඊනියා ප්‍රාග්ධනය එකතු වුණෙ වෙනත් තැනක. වෙනත් වචනවලින් කියනව නම් විප්ලවයට නායකත්වය දුන්නෙ සමාජ අසාධාරණයට ලක් වුණු පිරිස් නො වෙයි. ඔවුන්ට සමාජ නිෂ්පාදන මාත වෙනස් කරන්න බැහැ.

 

ධනපති ක්‍රමය පමණක් ඊනියා කම්කරු පංතියට වෙනස් කරන්න පුළුවන් ද? මාක්ස්ගේ ඊනියා ඓතිහාසික භෞතිකවාදයට අනුව කම්කරුවන්ට විශේෂ ශක්තියක් තියෙනවා ද? ධනපති ක්‍රමය වෙනස් කරන්න පුළුවන් පිරිසක් වත්මන් බටහිර සමාජයේ ඉන්නවා ද? ඔවුන්ට වෙනස් නිෂ්පාදන මාතයක් ඇති කරන්න පුළුවන් ද? එවැනි නිෂ්පාදන මාතයක් නිෂ්පාදන සම්බන්ධකම් තියෙනවා ද? ධනපති ක්‍රමයෙ අසන්තතික අවස්ථා ඇති වෙනවා. එහෙත් ඉන් සමාජ විප්ලවයක් වෙන්නෙ නැහැ.

 

මෙරට ඇත්තෙ බටහිරයන් අප මත පටවපු ධනවාදයක්. එහෙත් එය විකෘත ධනවාදයක්. අපේ ජාතිකත්වය දහනවවැනි සියවසේ අග භාගයේ සිට යටපත් කිරීමට ඉංගිරිසින් කටයුතු කළා. ඕල්කට්තුමාත් එහි දී විශාල කාර්යභාරයක් ඉටු කළා. 1912 මැතිවරණය මෙරට ජාතිකත්වයක් මත පදනම් වූවක් නො වෙයි. එය පදනම් වුණෙ ඊනියා ජාත්‍යන්තරවාදය ලෙස හැඳින්වුණු ඉංගිරිසි ක්‍රිස්තියානි ජාතිකත්වය මත. 1931 දි අප සර්වජන ඡන්ද මැතිවරණය පැවැත්වුයෙ ඉංගිරිසින්ගෙ පක්‍ෂ නැති වුවත් ඉංගිරිසි ප්‍රජාතන්ත්‍රවාදයක. 1935 මැතිවරණයට ජාත්‍යන්තරවාදී සමසමාජ පක්‍ෂය ඉදිරිපත් වුණා. ඔවුන්ගෙ ජාතිකත්වයක් තිබුණෙ නැහැ. 1947 වන විට එක්සත් ජාතික පක්‍ෂයත් තිබුණ. එයත් ජාත්‍යන්තරවාදී පක්‍ෂයක්.

 

1952 දි තමයි මෙරට ජාතිකත්ව පක්‍ෂය ඇති වුණෙ. එදා ඉඳන් අද දක්වා එකල වමටත් දැන් වමාලටත් ජාතිකත්වයෙ පක්‍ෂය තේරුම් ගන්න බැරි වුණා. වමේ පක්‍ෂ කැඩී යෑමටත් මූලික වශයෙන් බලපෑවෙ මේ ප්‍රශ්නයයි. 1965 බිහි වූ ජ වි පෙ ජාතිකත්වය හා ජාත්‍යන්තරවාදය අතර දෝලනය වුණා. එහි තිබූ ජාතිකත්වය සෝමවංශ අමරසිංහ පක්‍ෂය හැර යෑමත් සමහ නැති වුණා. රනිල්දාසට ඇති ජාතිකත්වයක් නැහැ. ඔහු රනිල් වගේ ම ජාත්‍යන්තරවාදියෙක්. රනිල් ජොන්සන්ට හා බයිඩන්ට සේවය කරනවා. රනිල්දාසට සේවය කරන්න ජාත්‍යන්තර සමාජවාදියෙක් නැහැ. ඔහු රනිල්ට සේවය කරනවා.

 

රනිල් මේ ආණ්ඩුවට එකතු වුණෙ ආණ්ඩුව රකින්න නො වෙයි. ඔහුට අවශ්‍ය ගෝඨාභයගෙ බලය නැති කරන්න. ඔහු මහින්දගෙ මිත්‍රයෙක් වෙන්න පුළුවන්. එහෙත් මහින්දගෙ දේශපාලනයට විරුද්ධයි. ගෝඨාභයගෙ දේශපාලනයටත් විරුද්ධයි. රනිල්දාසත් ඒ දේශපාලනයට විරුද්ධයි. රනිල්දාස ඒ දේශපාලනයට විරුද්ධ ව රනිල්ට සේවය කරනවා. මෙරට සිදුවන විප්ලවයක් නැහැ. අවාසනාවකට අද මෙරට ජාතිකත්වයේ පක්‍ෂයකුත් නැහැ.

 

මෙරට ජාතිකත්වයේ පක්‍ෂය නැති කෙළේ බැසිල් රාජපක්‍ෂ හා මෛත්‍රිපාල සිරිසේන. අද ශ්‍රී ල නි පක්‍ෂයක් නැහැ. එය මරා දැමුවෙ බැසිල් හා මෛත්‍රිපාල. පොහොට්ටුව කියල පක්‍ෂයක් තිබුණෙ නැහැ. එය බැසිල්ගෙ පෞද්ගලික සංවිධානයක්. අද බැසිල්ගෙ සංවිධානය නැහැ. ඩලස්ගෙ නායකත්වයෙන් පිහිටුවන්නෙ යන්නෙ තවත් ජාත්‍යන්තරවාදී පක්‍ෂයක්.

 

අද මෙරට ඇති වී තියෙන අසන්තතික අවස්ථාවෙ  ජාතිකත්ව අදහස් රට පුරා පැතිරී යනවා. රනිල්දාසටත් පමා වී හරි ඒ අදහස් කියන්න වෙලා. ඒත් ඔහු ජාතිකවාදියෙක් නො වෙයි. අද ජාතිකවාදී පක්‍ෂයකට විශාල ඉඩක් තියෙනවා. මේ අසන්තතික අවස්ථාවෙ සමාජ නිෂ්පාදන මාතවල වෙනසක් කරන්න බැහැ. අප ධනවාදී රටක් වුණෙ නැහැ. අප කෘත්‍රිම ධනවාදී රටක්. එය අපේ ශක්තියක්. අපට තවමත් අපේ ම වූ ක්‍රමයක් රටේ තියෙනවා. එහෙත් අපි එය අත්හැරලා ගොඩ ඇවිල්ලා. ත්‍රිරෝද හා ආරක්‍ෂක (සෙක්‍යුරිටි) සේවයෙන් නිෂ්පාදනයක් වෙන්නෙ නැහැ. අපි අපේ ක්‍රමයට යමු.               


චිත්‍රයෙන් පෙන්වන්නේ ස්පාටකස්ගේ වැටීම