History

Wednesday, 29 June 2022

අනුරාධපුරයට විදේශ ආධාර ලැබුණෙ නැහැ

 අනුරාධපුරයට විදේශ ආධාර ලැබුණෙ නැහැ

 

ඊයේත් පෙරේදාත් අප සිටියේ අනුරාධපුරයේ. ඊයේ ලිපිය ලිවීමට වෙලාවක් තිබුණේ නැහැ. අනුරාධපුරය කියන්නේ ලෝකයේ පැරණි ම නගරයක් නැත්නම් පුරයක්. මහාවංසය කියන විධියට අනුරාධපුරය ඉතා සැලසුම් සහගත ව ඉදිකරන ලද්දක්. එමෙන් ම එය අවුරුදු දහසකට වැඩි කලක් ලංකාවේ අගනුවර ව පැවතියා. එවැනි අගනුවර ලෝකයේ එතරම් නැහැ. අප අමතක කළත් ලෝකයේ ඓතිහාසක වශයෙන් පැරණිම වෘක්‍ෂය ඇත්තේ අනුරාධපුරයෙයි. ඒ ශ්‍රී මහා බෝධීන් වහන්සේ. ඓතිහාසික වශයෙන් කියන එකේ තේරුම ඒ පිළිබඳ ව ඓතිහාසික වාර්තාවක් තිබෙනවා  කියන එකයි. ඊට වඩා පැරණි ගස් ඇති. එහෙත් ඒ පිළිබඳ ඓතිහාසික සටහන් නැහැ.

 

ඇතැමුන් කියන විධියට මෙරටට වැඩම කරන ලද ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්‍ෂිණ ශාඛාව අනුරාධපුරයේ රෝපණය කර ඇත්තේ අද බොංසායි නමින් හැඳින්වෙන ක්‍රමයට. බිම් මට්ටමේ සිට උස්සන ලද භූමියක පාත්‍රයක් වැනි බිමක් සාදා එහි දක්‍ෂිණ ශාඛාව රෝපණය කර තියෙනවා. ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඩිය උසට වැඩෙන්නේ නැත්තේ එබැවිනුයි. ඒ තාක්‍ෂණය එදා අනුරාධපුරයේ තිබී තියෙනවා. එමෙන් ම රුවන්වැලි සෑය වැනි වෛත්‍යයක් ගොඩ නැගීම පහසු කාර්යයක් නො වෙයි. මහාවංසයට අනුව පේන්න තියෙන කාරණය තමයි සෑයේ සැලැස්ම ස්වරූපය නිර්මාණය ආදිය භික්‍ෂූන් වහන්සේගේ බවයි.

 

අද භික්‍ෂූන් වහන්සේ එවැනි කාර්යයන්ගෙන් වෙන් වී සිටීම අපේ ප්‍රශ්නවලට එක් හේතුවක්. අවාසනාවකට අද භික්‍ෂූන් වහන්සේ අපට අර්ථයෙන් අනුශාසනා කරන්නේ නැහැ. අර්ථය තබා ධර්මයත් අද ගිහියන් අතට පත් වී තියෙනවා.  කෙටියෙන් කියනවා නම් සිංහල බෞද්ධ සංස්කෘතික නායකත්වය භික්‍ෂුන් වහන්සේගෙන් ගිහියන් අතට පත් කර තිබෙනවා. එය බටහිර (ඉංගිරිසි) ක්‍රිස්තියානි අධ්‍යාපනයෙහි මෙන් ම ඕල්කට්තුමාගේ ඊනියා බෞද්ධ පුනරුදයේත් ප්‍රතිඵලයක්.

 

අද මෙරට බටහිර ක්‍රිස්තියානි අධ්‍යාපනයන් කෙරෙන ප්‍රධාන ම කාර්යය තමයි අපේ දැනුම් මිථ්‍යා මත කියා ප්‍රචාරය කිරීමත් බටහිර දැනුම තාර්කික බුද්ධිවාදී (හේතුවාදී) දැනුමක් කියා ඒත්තු ගැන්වීමත්. ඊනියා තාර්කික බූද්ධිවාදී දැනුමට ඇත්තේ තාර්කිකවත් බුද්ධිවාදීවත් ආරම්භයක් නොවෙයි. එහි ඊනියා සත්‍යයක් නැහැ. ආරම්භය හුදු හිතළුවක් පමණයි. ඇරිස්ටෝටල්ගේ න්‍යාය පට්ටපල් බොරුවක් පමණයි. එහි අනුමාන නීති ගොතාගෙන ඇත්තේ අභ්‍යුහනයෙන් නැත්තන් උද්ගමනයෙන්. එහෙත් න්‍යාය හා හිතළු මත ගොතාගෙන ඇති යම් කතන්දර සීමිත පරාසයක වැඩ කරනවා.

 

බටහිරයන් එලෙස වැඩ කිරීම අපට මහා ලොකු දෙයක් ලෙස පෙන්වනවා.  එය එතරම් දෙයක් නොවෙයි. කුඩා ළමුන් ඉගෙන ගන්නේ  ඒ වැඩ කරන ක්‍රමය මතයි. එහෙමත් නැත්තන් කරල බලන ක්‍රමය මතයි. පංචෙන්ද්‍රිය ගෝචර දැනුමට වෙනත් ක්‍රමයක් නැහැ.  කරල බලන එක හැරෙන්න. එහෙමත් නැත්තන් කරල බැලුව කියන අය විශ්වාස කිරීම. පඬි නැට්ටන් නම් කරන්නෙ කරල බලපු අය කියන ඒවා විශ්වාස කිරීම පමණයි.  එහෙත් බටහිරයන් එසේ කරල බලල සුළු පරාසයක හරියන එහෙම නැත්තන් වැඩ කරන හිතළු ඊනියා ප්‍රවාද බවට පත්කර ඒ ප්‍රවාද සත්‍ය එහෙම නැත්තන් සත්‍යයට ළඟා වෙන කතන්දර හැටියට ලෝකයට කියනවා.     

 

එහෙත් අරික්කාල් මාක්ස්වාදීන් නම් මාක්ස්වාදය විශ්වාස කරන්නේ කරල බලල හරී ගිහින් තියෙන නිසාවත් නො වෙයි. මාක්ස්වාදයෙ හරි ගිහින් තියෙන සමාජ විකාශයක් නැහැ. ඒත් අරික්කාල් මාක්ස්වාදීන් හරි ගිහින් නැති වුණත් මාක්ස්වාදය විශ්වාස කරනවා. එය හුදු විශ්වාසයක් පමණයි. අද ලංකාවේ තමන් සමාජවාදීන් යැයි කියා ගන්නන් රුසියාවට පක්‍ෂපාතියි. එය ඩිව් ගුණසේකරගේ පටන් සකර්බර්ග් අනාථ කඳවුරේ පඬි නැට්ටන් දක්වා දිව යනවා. එහෙත් රුසියාවේ ඇති සමාජවාදයක් නැහැ. තිබුණු සමාජවාදයකුත් නැහැ. මේ හුදෙක් බලාපොරොත්තු මත ඇති කරගත් කතා පදනම් කරගත් ආශ්වාදයක් පමණයි.

 

අනුරාධපුරයේ තිබූ දැනුම හුදු පංචෙන්ද්‍රිය ගෝචර දැනුමක් නො වෙයි. එහි ආධ්‍යාත්මික පැත්තක් ද තිබුණා. අපට දැන් ඒ කරන්න බැරි නම් වරද අප මත පැටවෙනවා. ඉංගිරිසින් අපේ දැනුම එක්කෝ අපට අහිමි කර තිියෙනවා. එහෙම නැත්තන් අපේ දැනුම තම සංස්කෘතියට අවශෝෂණය කරගෙන එය අපට නැවතත් වෙනත් මුහුණුවරකින් පටවනවා. අනුකාරකයන්ගේ පාරාදීසයක් බවට පත් වී ඇති අපේ රටේ පඬි නැට්ටන්ට ඇත්තේ බටහිර තම ස්වාමිවරුන් ගැන වූ විශ්වාසයක් පමණයි. පඬි නැට්ටන්  තම ස්වාමිවරුන් කියන දේ විශ්වාස කරනවා. ඔවුන් ඒ කිසි දා ඒ කරල බලන්නෙ නැහැ. ඒ කිරීම සඳහා ඔවුන්ට පුහුණුවක් ලබා ගන්න අවුරුදු විස්සක්වත් යාවි. ඒ පුහුණුවක් ලබා ගන්න පුළුවන් නම්. ඒත් ඔවුන්ට ඒ පුහුණුව තබා උසස් පෙළ බටහිර විද්‍යා දැනුමවත් ලබා ගන්න බැහැ. ඔවුන් එතරම් දක්‍ෂයන්.

 

පඬි නැට්ටන් කිසි දිනෙක ආධ්‍යාත්මික පැත්තට යොමු වන්නේ නැහැ. ඔවුන් එය බොරුවක් කියා ඉවත දානවා. අපි අනුරාධපුරයෙන් කොතරම් ඉවත් වෙලා නන්නත්තාර වෙලා ද? අපි හිතනවා අපි දියුණුයි කියා. රුවන්වැලි සෑය හදන්න විදේශ ආධාර හරි විදේශ බුද්ධිමතුන් හරි ලබාගත් බවට සාක්‍ෂියක් නැහැ.