History

Thursday, 30 June 2022

සජිත් රනිල්දාසගෙ විරෝධතා දේශපාලනයට

 

සජිත් රනිල්දාසගෙ විරෝධතා දේශපාලනයට 

 

අද මෙරට පවතින්නේ විරෝධතා දේශපාලනයක්. එහෙමත් නැත්තන් විශ්වවිද්‍යාල (කැම්පස්) දේශපාලනයක්. එය වෘත්තීය සමිති දේශපාලනයකට නෑකම් කියන දේශපාලනයක්. බලය ලබා ගැනීමට කරන දේශපාලනයක් නැහැ. ආණ්ඩුවටත් බලය රැක ගැනීමට කරන්න තරම් දෙයක් නැහැ. ආතල්ගම ඊනියා අරගලය පුස්සක් වෙලා ක්‍රිකට් ක්‍රීඩාංගනයෙන් ක්‍රීඩාංගනයට සටන් පාඨය, ගෝටා ගෝ හෝම් යන්න, ගෙනියනවා. ඔවුන්ට ඕස්ත්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම සමග ඕස්ත්‍රේලියාවට යන්න පුළුවන්.

 

කලින් දවසක රනිල්දාසගෙ විශ්වවිිද්‍යාල දේශපාලනය ගැන කිවුවා. විශ්වවිද්‍යාල (ශිෂ්‍ය) දේශපාලනය හා වෘත්තීය සමිති (කම්කරු) දේශපාලනය අතර සම්බන්ධයක් තියෙනවා. එහි බලය ලබා ගැනීම අරමුණක් නො වෙයි. එහි ඇත්තේ ඇතැම් ඉල්ලීමක් දිනා ගැනීම හා මූලික වශයෙන් විරෝධතා දැක්වීම. ඒ දේශපාලනයට හුරු වූවන්ට බලය ලබා ගන්නේ කෙසේ ද යන්න පිළිබඳ අවබෝධයක් නැහැ. ඔවුන් බලය ලබා ගැනීමට උත්සාහ කරන්නේ නැහැ.

 

සාමාන්‍යයෙන් වෘත්තීය සමිති ක්‍රියාකාරිකයන් බලයට පැමිණෙන්නේ නැහැ. කලකට පෙර ඕස්ත්‍රේලියාවේ වෘත්තීය සමිති ප්‍රධානියා වූ බොබ් හෝක් අගමැති වුණා. ඒත් සාමාන්‍යයෙන් එසේ වන්නේ නැහැ. ලංකාවේ අගමැති ජනාධිපති ධුරවලට පත්වී ඇති අය වෘත්තීය සමිති හරි විශ්වවිිද්‍යාල හරි දේශපාලනයේ යෙදී නැහැ. රනිල් විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ උගත් නමුත් ඔහු එහි ක්‍රියාකාරී දේශපාලනයක යෙදුණේ නැහැ. කම්කරු දේශපාලනයත් ශිෂ්‍ය දේශපලනයත් ඉල්ලීම් ටිකක් දිනා ගෙන කතා කර කර ඉන්න කතා මඬුල්ලක් මිස බලය ලබා ගැනීමට කරන්නක් නො වෙයි.

 

ලංකා සමසමාජ පක්‍ෂය ඊනියා කම්කරු පංති පක්‍ෂයක් වුණා. එහෙත් කම්කරු පංතිය කියා එකක් නැති බව ඔවුන්ට වැටහුණේ නැහැ. ඔවුන් කම්කරුවන් වෘත්තීය සමිතිවල සංවිධානය කළා. ඔවුන් හිතුවේ ඊනියා කම්කරු පංති විප්ලවය කම්කරුවන් මගින් කිරීමට. එඩ්මන්ඩ් සමරක්කොඩි වරක් කියා සිටියේ ලංකාවේ විප්ලවයේ අපිකේන්ද්‍රය (epicentre) වතුකරය කියායි! තොණ්ඩමන් ඔහුට කොහෙන් හිනා වුණා ද කියා දැන ගන්න නැහැ.

 

ලංකා සමසමාජ පක්‍ෂය හතරවැනි ජාත්‍යන්තරයේ ට්‍රොට්ස්කිවාදී පක්‍ෂයක්. ඔවුන් විප්ලවය ගැන කතා කළා. කම්කරු පංති ආඥාදායකත්වය ගැන වාද විවාද කළා. එහෙත් නැති කම්කරු පංති විප්ලවයක් කෙසේ සිදු වන්න ද? වැඩි කල් යෑමට පෙර එය ක්‍රියාවෙන් තවත් දෙවැනි ජාත්‍යන්තරයේ පක්‍ෂයක් වුණා. දෙවැනි ජාත්‍යන්තරයේ පක්‍ෂ නැත්නම් ඊනියා සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්‍ෂ තමයි බටහිර ප්‍රජාතන්ත්‍රවාදය පවතින රටවල පිහිටුවන්න පුළුවන්. බටහිර ප්‍රජාතන්ත්‍රවාදය නැති රටවල, සමාජවල, ලෙනින්-ස්ටැලින්වාදී පක්‍ෂ (සංවිධාන) පිහිටුවා රාජ්‍ය ධනවාදය බිහි කරන්න පුළුවන්. හතරවැනි ජාත්‍යන්තරය හා ඉන් පසු බිහි වූ සංවිධාන ලෙනින්ගේ වහරක් යොදා ගත්තොත් කතා සාප්පු පමණයි. මෙරට පළමු ස්ටැලින්වාදී පක්‍ෂය බිහිකරනු ලැබුයේ සමසමාජ පක්‍ෂයෙන් පන්නනු ලැබූ පිරිසක් විසින්!

 

මෙරට පැරණි වමේ පක්‍ෂ ට්‍රොට්ස්කිවාදී වේවා ස්ටැලින්වාදී වේවා කම්කරු (වෘත්තීය සමිති) හා ශිෂ්‍ය (විශ්වවිද්‍යාල ශිෂ්‍ය සමිති) දේශපාලනය කළ පක්‍ෂ. ෂන්මුගදාසන් වුණත් චීන කොමියුනිස්ට් පක්‍ෂයක් පිහිටෙවුවත් කම්කරු හා ශිෂ්‍ය දේශපාලනයෙන් එහාට ගියේ නැහැ. හොඳට හරි නරකට හරි සර්වජන ඡන්දය සහිත බටහිර ප්‍රජාතන්ත්‍රවාදය යම් ආකාරයකින් ක්‍රියාත්මක මෙරට වාමාංශික පක්‍ෂ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්‍ෂවලට පමණක් සීමා වෙනවා. එසේ නොවන පඬි නැට්ටන් කතා සාප්පුවල වාද විවාද කර ගන්නවා. ඔවුන් අද නම් සකර්බර්ග් අනාථ කඳවුරේ අඳෝනා කියමින් ඉන්නවා.

 

විජේවීරට විප්ලවයක් අවශ්‍ය වුණා. ඔහු දැන සිටි මාක්ස්වාදයක් නැහැ. ඔහු ඊනියා නිර්ධන පංතියක් ගැන කතා කළා. ඔහු මාක්ස්වාදය නොදැන සිටි නිසා ම විප්ලවය ගැන උනන්දු වුණා. ඔහු මෙරට ශිෂ්‍ය ව්‍යාපාරයේ යෙදුණු අයකු නො වෙයි. ඔහු සමග එකල ශිෂ්‍ය ව්‍යාපාරයේ නායකයන් දෙදෙනකු හිටියා. ඒ විද්‍යාලංකාරයේ ජී අයි ඩී ධර්මසේකර හා විද්‍යොදයේ මහින්ද විජේසේකර. ඔවුන් දෙදෙනාට ම ශිෂ්‍ය දේශපාලනය අවසානයේ දී ප්‍රශ්නයක් වුණා. ඔවුන් විප්ලවයේ සිටියේ නැහැ. විජේවීර කළ නොහැකි විප්ලවයක් ගැන සිහින මැවුවා. ඔහු එක් රැයින් පොලීසීවලට පහර දී බලය ලබා ගන්න හිතුවා. පසුව කීර්ති විජයබාහුගේ ඊනියා සන්නද්ධ කල්ලි මගින් බලය ගන්න උත්සාහ කළා.

 

මෙරට ඊනියා විප්ලවයක් කරලා ක්‍රමයේ වෙනසක් කරන්න බැහැ. මෙරට අංග විකල තත්වයෙන් හරි බටහිර ප්‍රජාතන්ත්‍රවාදයක් තියෙනවා. සමාජ ප්‍රජාතන්ත්‍රවාදී අදහස් නිසා රජය සතු ආයතන තියෙනවා. එනම් රාජ්‍ය ධනවාදයක් ද ක්‍රියාත්මක වෙනවා. ඊනියා සුබ සාධන රාජ්‍යයක් තියෙනවා. අද එය අර්බුදයට ගිහින්. ඒ මීහරකා හා එළ හරකා එකට බැඳීමේ ප්‍රතිඵලයක් ලෙස. අපට ඔරොත්තු නොදෙන ජීවන රටාවක් පවත්වාගෙන යෑමට ගොස්.  

 

විජේවීර ඝාතනය කෙරීමෙන් පසු ජ වි පෙ ශිෂ්‍ය හා කම්කරු දේශපාලනයට ගොස්. ඔවුන්ට ද කළ හැක්කේ විරෝධය පෑම පමණයි. ඉල්ලීම් එකක් දෙකක් දිනා ගැනීම පමණයි. පඬි නැට්ටන්ට කතා කරන්න පක්‍ෂයක් පවත්වාගෙන යෑම ඔවුන්ගෙන් හා ඔවුන්ගෙන් කැඩී ගිය කෙකරගාමීන්ගෙන් සිදු වෙනවා. විමල් වීරවංශ කණ්ඩායමත් අවසානයේ දී යෙදෙන්නේ ශිෂ්‍ය දේශපාලනයක. එනම් විරෝධතා දේශපාලනයක. ඔවුන් ඊනියා සර්වපාක්‍ෂික ආණ්ඩු මැතිවරණ ආදිය ගැන කතා දේශපාලනයේ (වොයිස් කට්) යෙදෙනවා. ඔවුන්ගේ සියලු කොන්දේසි ආණ්ඩුවක් නොපිහිටුවීම සඳහායි. බලයට පත් නොවීම සඳහායි. අද සියල්ලන් ම පාහේ හැටගණන්වල තීව්‍ර වූ විරෝධය කණ්ඩායමේ අනුප්‍රාප්තිකයන් වෙලා. විරෝධය පෑම තමයි වත්මන් දේශපාලනය. ආතල්ගමේ තිබුණෙත් විරෝධ දේශපාලනයක්. එහි ඊනියා නව තරුණ පරපුරක් හිටියේ නැහැ. විරෝධයේ සිසිර ජයසූරිය (සෝබර්ස්) කම්කරු මාවතේ කීර්ති බාලසූරිය ගිය පාරේම තමයි ඔවුන් ගියේත්.

 

අද ආර්ථික අර්බුදය නිසා සජබ ද විරෝධතා දේශපාලනයකට තල්ලු වෙලා. ඔවුන්ට විප්ලව කිරීමට තබා ආණ්ඩු බලය ලබාගන්නවත් අවශ්‍ය නැහැ. ඔවුනුත් ඊනියා සර්ව පාක්‍ෂික කතා කියනවා. අද සජිත් කිරිඇල්ල ආදීන් කරන්නෙත් ශිෂ්‍ය දේශපාලනයක්. අද ප්‍රශ්නයක් ඇත්තේ ආණ්ඩුවට. ඔවුන් විරෝධය පාන්නේ කාට ද? ඔවුන් කම්කරු හා ශිෂ්‍ය දේශපාලනය සත පහකට ගණන් ගන්නේ නැහැ. කම්කරු හා ශිෂ්‍ය දේශපාලනය ආණ්ඩුවට තර්ජනයක් නො වෙයි. ඊනියා සිස්ටම් චේන්ජ් යන්න කතාවට හොඳ මාතෘකාවක් පමණයි. විරෝධතා දේශපාලනය ආණ්ඩුවට විරුද්ධ ව රාජපක්‍ෂලාගේ හොරකම් ගැන කියනවා. ආණ්ඩුව ඒ චෝදනාවලට උත්තර දෙන්නේවත් නැහැ. මතක ද පිලිපීනයේ මාකෝස්. ඔහුට හා පවුලට විරුද්ධ ව හොරකම් චෝදනා තිබුණා. අද කණිෂ්ඨ මාකෝස් පිලිපීනයේ ජනාධිපති ලෙස දිවුරුම් දුන්නා. මා හොරකම් කිරීම හොඳය කියන්නේ නැහැ. යහපාලන කාලෙ ණය ඩොලර් බිලියන කීයකින් ඉහළ ගියා ද? ප්‍රශ්නයට මුල අවුරුදු හැත්තෑවක් පමණ අප ආදායමට වඩා වියදම් කිරීම. 

 

ඊනියා විරුද්ධ දේශපාලනයෙන් ආණ්ඩුවට තර්ජනයක් නැහැ. ශිෂ්‍ය හා කම්කරු දේශපාලනය අභාවයට ගිහින්. අන්තරේ ජාත්‍යන්තරේට ගිහින්. අර ජනතාවත් හොයා ගන්න නැහැ. හැබැයි ජාත්‍යන්තරේ බලන් ඉන්නවා විමල් හරි ජ වි පෙන් කැඩුණු කවුරු හරි සර්ව පා’ක්‍ෂික ආණ්ඩුවක ඇමති කෙනෙකු වෙන තුරු ඩොලර් දෙන්න. රනිල්දාස මාස හයකින් ප්‍රශ්නෙ විසඳනවාලු. අර පිටරට ඉන්න ජෙප්පන් රනිල්දාසට ඩොලර් එවාවි. විරෝධතා කතාවලට සුරංගනා කතා එකතු වුණා ම කියන්නෙ මොන කතා කියල ද?