History

Monday, 6 June 2022

හඳුන්නෙත්ති නියමය

 

 

හඳුන්නෙත්ති නියමය

 

බොහෝ දෙනා තමන් නිවුටන්ගේ තුන්වැනි නියමය  දන්නා බව දන්නවා. ඕන නම් තමන් දන්නා බව හිතනවා කියා කියන්න. මා දන්නේ නැහැ නිවුටන්ගේ නියම පාසලේ උගන්වන්නේ මොන පංතිවල ද මොන ශිෂ්‍යයන්ට ද කියා. මා හිතන්නේ සාමාන්‍ය පෙළට විිද්‍යාව විෂයක් ලෙස උගන්වනවා කියා.  සාමාන්‍ය පෙළ විද්‍යාව බොහෝ දෙනා ඉගෙන ගන්නවා වෙන්න පුළුවන්. එහි නිවුටන්ගේ තුන්වැනි නියමය උගන්වනවා ද කියා මා දන්නෙ නැහැ.

 

ඊයේ හඳුන්නෙත්ති නිවුටන්ගෙ තුන්වැනි නියමය ගැන කිවුවා. ඔහු මැයි නවවැනි දා සිද්ධි ගැන කියමින් සඳහන් කළා ආතල්ගමට (ඔහු ආතල්ගම කියන වචනය යොදා ගත්තෙ නැහැ) පහර දීම ක්‍රියාව ලෙසත් ඉන් පසු ඇති වූ ගිනි තැබීම් වැනි සිද්ධි නිවුටන්ගේ තුන්වැනි නියමය අනුව ප්‍රතික්‍රියාව බවත්. මා හිතන්නේ එය නිවුටන්ගේ නියමවලට කරන ලද එකතුවක් කියා.

 

මා ඊයේ ලිපියේ ප්‍රවාදාත්මක භෞතික විද්‍යාඥයන් ගැන කියමින් ආකිමිඩීස් නිවුටන් හා අයින්ස්ටයින් තිදෙනා ඔවුන්ට ම ආවේණික වූ විශිෂ්ට පංතියක ඉන්න බව. මා හිතන්නේ හඳුන්නෙත්තිත් ඒ විශිෂ්ට පංතියට ඇතුල් කරන්න පුළුවන් කියා. ඒ විශිෂ්ට පංතිය මාක්ස්ගෙ කම්කරු පංතියෙන් හරි විජේවීරගෙ නිර්ධන පංතියෙන් හරි වෙනස් වෙන්නෙ කොහොම ද කියල මගෙන් අහන්න එපා.

 

නිවුටන් තුන්වැනි නියමයෙන් සඳහන් කෙළෙ එකිනෙක සමග ස්පර්ශවන වස්තු ගැන. අඩු තරමෙන් දුරින් තියෙන ඇපල් හරි පොල් හරි ගෙඩි දෙකකටවත් තුන්වැනි නියමය යොදා ගන්න බැහැ. පොල් ගහන  විට නම් පොල් ගෙඩිය යම් පෘෂ්ඨයක් සමග ගැටෙනවා. පොල් ගෙඩිය පෘෂ්ඨය මතත් පෘෂ්ඨය පොල් ගෙඩිය මතත් බල (ආවේගී බල) ඇති කරනවා. පොල් ගෙඩිය බිඳෙන්නෙ අර පෘෂ්ඨය පොල් ගෙඩිය මත ඇති කරන බලය නිසා. ඒත් සාමාන්‍යයෙන් පෘෂ්ඨය බිඳෙන්නෙ නැහැ. එහෙම වුණත් ඒ බල දෙක විශාලත්වයෙන් සමානයි එහෙත් ප්‍රතිවිරුද්ධයි. එහෙමත් නැත්තන් ප්‍රතිවිරුද්ධ දිශාවල් දිගේ ක්‍රියා කරනවා.

 

හඳුන්නෙත්ති මේ නියමය ඔවුන්ගේ බසින් කියනව නම් සමාජයට ගලප්පලා. ඒක නිවුටන් තුන් හිතකින්වත් හිතපු දෙයක් නො වෙයි. නිවුටන් භෞතික වස්තුවලින් පිට නොගියා නො වෙයි. ඒත් ඒ භෞතික විද්‍යාවේ දී නොවෙයි. ඔහු දෙවියන් වහන්සේ ගැන විශ්වාස කළා. ඔහුට වුවමනා වුණෙ දෙවියන් වහන්සේ ලෝකය මවා ඇති ආකාරය තේරුම් ගන්න. ඒකත් පොඩි වැඩක් නො වෙයි. දෙවියන් වහන්සේ ළඟට එය දැන ගත්තෙ නිවුටන්.

 

නිවුටන්ගෙ කාලෙ මාක්ස් හිටියෙ නැහැ. විජේවීර හිටියෙත් නැහැ. පංතිය පංති සටන වගේ කතා ඒ දවස්වල තිබුණෙ නැහැ. එදා මෙදා තුර කිසිවකුට හිතිල නැහැ නිවුටන්ගෙ නියමය පඬි බසින් කියනව නම් සමාජයට විස්තීරණය කරන්න. හිතුනත් කරන එක ලෙහෙසි නැහැ. හඳුන්නෙත්ති තමයි එයට අතගහන්නෙ. ඒක ලෙහෙසු පහසු පුතකුට කරන්න පුළුවන් දෙයක් නො වෙයි. ලෝකය හඳුන්නෙත්ති එන තුරු බලා හිටියා.

 

හඳුන්නෙත්ති පංති පහට ගියා ද කියා මා දන්නෙ නැහැ. සමහර විට යන්න ඇති. හොඳ අවබෝධයකුත් ලබා ගන්න ඇති. සමහර විට පසුව පංති පහ උගන්වන්නත් ඇති. මා දන්නෙ නැහැ. ඒත් මා අහල තියෙනවා පංති පහෙන් අතිවිශිෂ්ට දැනුමක් ලබා දෙන බව. හඳුන්නෙත්ති ඒ ආභාසය ලබන්න ඇති.

 

හඳුන්නෙත්ති කියනව මැයි නවය සිද්ධි ක්‍රියාව හා ප්‍රතික්‍රියාව කියල. ඒක නියමයක්. විද්‍යාවෙ නියමයක් හැටියට ඒක සිද්ධ වෙන්න ඕන.  ඒක අනිවාර්යයි. ඒත් හඳුන්නෙත්ති නියමය නිවුටන් නියමයෙන් තරමක් වෙනස් වෙනවා. ඒක තමයි හඳුන්නෙත්තිගෙ විශිෂ්ටත්වය. ඔහුට නිර්මාණශීලී බවක් තියෙනවා. හඳුන්නෙත්තිට අනුව ක්‍රියාව හා ප්‍රතික්‍රියාව එකම තැනක දි සිද්ධ වෙන්න ඕන නැහැ. ඒවා ප්‍රතිවිරුද්ධ දිශා දිගේ ක්‍රියා කරන්න ඕනෙත් නැහැ. කොහොමටත්  මෙතන දෛශික කතාවක් නැහැ.

 

ඒ වගේ ම හඳුන්නෙත්ති නියමය අනුව ක්‍රියාව හා ප්‍රතික්‍රියාව විශාලත්වයෙන් සමාන වෙන්න ඕනෙත් නැහැ. ප්‍රතික්‍රියාව විශාලත්වයෙන් ක්‍රියාවට වඩා විශාල වෙන්න පුළුවන්. නිකමට හරි කිවුව නම් කී ගුණයකින් ද කියල තවත් වටිනවා. බැරි ද පසුව හරි ඒ ටිකත් කියන්න. හඳුන්නෙත්ති නැතුව වෙන කවුරු හරි වුණත් කමක් නැහැ.

 

ඒ මොකක් වුණත් හඳුන්නෙත්ති නියමය දැන් විද්‍යාවෙ කොටසක්. විද්‍යාව ඇත්ත සොයා යනවා. මෙයත් ඒ වගේ දෙයක් වෙන්න ඕන. මෙහි තියෙන වැදගත්කම තමයි පොල් ගෙඩිය මත පෘෂ්ඨය ක්‍රියා කරනව වගේ මේ ප්‍රතික්‍රියාවත් අනිවාර්ය වීම. වෙනත් වචනවලින් කියනව නම් ප්‍රතික්‍රියාවත් අනිවාර්යයෙන් ම සිද්ධ වෙන්න ඕන. ප්‍රතික්‍රියාව යුක්තියුක්ත කිරීමක් මෙහි දී සිද්ධ වෙනවා. ගිනිි තැබීම් කෙරෙන්න ඕන. මොන තරම් වටින නියමයක් ද? නිවුටන් හිටිය නම් හඳුන්නෙත්ති ගැන ආඩම්බර වේවි.