History

Tuesday, 7 June 2022

එයරොෆ්ලොට් හා තවත් කතා

 

එයරොෆ්ලොට් හා තවත් කතා

 

එයරොෆ්ලොට් ගුවන් යානයට එරෙහි ව පැවරූ වාරණ නියෝගය ඉවත් කෙරිලා. ගුවන් යානය ආපහු ගිහින්. එහෙත් සිදු වූ හානිය අති විශාලයි. මේ සිද්ධියෙන් එක් පැත්තකින් මෙරට නීතියේ ඇති අඩුපාඩුකම් පෙනී ගියා. රාජ්‍ය තාන්ත්‍රික ප්‍රශ්නයක් අභිබවා කුඩා සමාගමකට රාජ්‍ය දෙකක් අතර ප්‍රශ්නයක් ඇති කිරීමට අධිකරණය යොදා ගැනීමට හැකි බව පෙනී ගියා. අධිකරණය  වාරණ නියෝගය දීමේ දී එක් පාර්ශ්වයකින් කරුණු විමසා නැහැ. එය සාමාන්‍යයෙන් ප්‍රශ්නයක් නොවනවා ඇති. එහෙත් රාජ්‍ය දෙකක් අතර ඇති විය හැකි ප්‍රශ්නයක දී කළ යුත්තේ කුමක් ද?

 

මෙය ඉතා කඩිමුඩියේ කළ එකක් බව පැහැදිලියි. ගුවන් යානය පිටත්වීමට පෙර වාරණ නියෝගය ලබා ගැනීමේ වුවමනාව තිබී ඇති බව කීම අවශ්‍ය නැහැ. අනෙක් අතට වාරණ නියෝගයක් නොතිබූ ආයතනයකට එය එක්මණින් ලබා දී තර්ජනය කර යානය ගුවන්ගත කිරීම වැළැක්වීමට ඇතැම් පාර්ශ්වවලට අවශ්‍ය වී තිබූ බව කියනවා. මෙය සුළුපටු කරුණක් නො වෙයි. ඒ අය එසේ කෙළේ ඇයි. රට තව තවත් ප්‍රපාතයට යැවීමේ වුවමනාව යම් පිරිසකට තිබුණා ද? මේ සියල්ල පිළිබඳ පරීක්‍ෂණයක් අවශ්‍යයි. මා ඊනියා අපක්‍ෂපාත පරීක්‍ෂණයක් ඉල්ලන්නේ නැහැ. එවැනි පරීක්‍ෂණ පෘථග්ජනයන්ගෙන් බලාපොරොත්තු වන්න බැහැ. මා නම් කැමති කිසියම් හේතුවක් නිසා හරි රුසියාවට යම් ලැදියාවක් ඇති පිරිසක් ද ඇතුළත් පරීක්‍ෂක මණ්ඩලයකට.

 

තවමත් ඊනියා සමාජවාදයක් ගැන සිතමින් රුසියාවට පක්‍ෂපාත වන අය ලංකාවේ ඉන්නවා. රුසියාවේ (සෝවියට් දේශයේ) අද තබා එදාවත් සමාජවාදයක් තිබුණේ නැහැ. කම්කරු පංතියක් බලයට පැමිණියේත් නැහැ.  නැති කම්කරු පංතියක් බලයට එන්නේ කෙසේ ද? ටිටෝ සමග යුගොස්ලේවියාවේ විප්ලවයට සහභාගි වු මිලොවාන් ජිලාස් සෝවියට් දේශයේ බලයට පත් වුයේ නව පංතියක් බව පැවසුවා. පසුව ටිටෝ ජිලාස් එලවා දැම්මා. 

 

ගුණදාස අමරසේකරට ජාතික චින්තනය යන අදහස ලැබී ඇත්තේ රුසියන් විප්ලවය රුසියන් ජාතික චින්තනය (national thought) පදනම් කර ගත් බවට ලියූ ලේඛකයෙක් නිසා. (ජාතික චින්තනය යන වචන එයට පෙර හරිශ්චන්ද්‍ර විජේතුංග කුලියාපිටිියෙ ප්‍රනන්ද ආදීන් විසින්  ද යොදා ගෙන තියෙනවා. ජාතික චින්තනය යන්න මා යොදා ගන්නේ සංස්කෘතික ජාතියක් පදනම් වන චින්තනය යන අර්ථයෙන්). මේ කරුණුවලින් පැහැදිලි වන්නක් නම් ලෙනින් මාක්ස්වාදී අදහස් රුසියන් ජාතික චින්තනයට ගත් බවයි. ඔහු ඇති කෙලේ රාජ්‍ය ධනවාදයක්. ලෙනින් රුසියාවේ අයෙක්. ඔහු පැහැදිලිව ම රුසියන් ජාතිකයෙක්. ස්ටැලින් ජෝජියවේ උපන්නෙක්. ට්‍රොට්ස්කි යුක්‍රේනියානු යුදෙවු පවුලක උපත ලද්දෙක්. ඔහුට යුක්‍රේනය සමග සම්බන්ධකම් තිබී තියෙනවා. වයස අවුරුදු අටේ දී පමණ ඔහු තම මවගේ නැයන් සිටි ඔඩෙස්සා හි උගෙනීමට යවා තියෙනවා. ඔඩෙස්සා කියන නම යුක්‍රේන යුද්ධය සම්බන්ධයෙන් අද අපට අසන්නට ලැබෙනවා.

 

මා හිතන්නේ ට්‍රොට්ස්කි තමයි රුසියන් විප්ලවයේ නායකයන් අතර මාක්ස්වාදියා. ඔහු ලෙනින් හරි ස්ටැලින් හරි මෙන් ජාතිකවාදියෙක් නොව ඊනියා ජාත්‍යන්තරවාදියෙක්. මා ද කලක් මාක්ස් - ට්‍රොට්ස්කිවාදියෙක් ව සිටියා. හතරවැනි ජාත්‍යන්තරය ට්‍රොට්ස්කිගේ නිර්මාණයක්. ඒත් හතරවැනි ජාත්‍යන්තරය පසුව කෑලි හතලිස්හතරකට කැඩී ගියා. ඉන් එක් කණ්ඩායමක නායකයා වූයේ ටෙඩ් ග්‍රාන්ට්. 1969-70 දි මා සසෙක්ස් විශ්වවිද්‍යාලයේ ඉගෙන ගන්න කාලයේ එහි ලේබර් ක්ලබ් නම් සංගමය තිබුණේ ටෙඩ් ග්‍රාන්ට්ගේ මිලිටන්ට් කණ්ඩායමේ හතරවැනි ජාත්‍යන්තරයට. මා ද එහි සාමාජිකයකු වුණා. ඒ සංගමයේ නායකයා වූයේ ඇලන් වුඩ්ස් නමැති දකුණු වේල්සයෙ උපන් ශිෂ්‍යයෙක්. ඔහු සසෙක්ස් හි රුසියන් ශබ්ද විිද්‍යාව (Russian Philology) හැදෑරුවා. ඔහු ජාත්‍යන්තරවාදියකු ලෙස පසු කලෙක වෙනිසියුලාවෙ හියුගො චාවේස්ගෙ උපදේශකයෙක් වුණා.

 

ටෙඩ් ග්‍රාන්ට් හා ඇලන් වුඩ්ස් පසුව මිලිටන්ට් කණ්ඩායමෙන් වෙන් වුණා. ඒ ලේබර් පක්‍ෂයෙ දිගට ම වැඩ කළ යුතු ද යන්න මත. මිලිටන්ට් කණ්ඩායම තීරණය කෙළේ ලේබර් පක්‍ෂයෙන් ඉවත් වීමට. වුඩ්ස් හා  ග්‍රාන්ට් කියා සිටියේ දිගට ම ලේබර් පක්‍ෂයෙ වැඩ කළ යුතු බව. ඔවුන් පසුව ජාත්‍යන්තර මාක්ස්වාදී ප්‍රවණතාව (International Marxist Tendency)  නම් සංවිධානය හදා ගත්තා. එහි වෙබ් අඩවියක් තියෙනවා. මා ද සසෙක්ස් හි ඉගෙන ගන්නා කාලයේ ලේබර් පක්‍ෂයේ මැතිවරණ ව්‍යාපාරවලට සහභාගි වුණා. මා නිසා ලේබර් පක්‍ෂයට ඡන්ද අඩුවෙන්න ඇති. මගේ ඡන්දය නම් මා ලේබර් පක්‍ෂයට දුන්නා. (එකල පොදු රාජ්‍ය මණ්ඩලයේ රටවල රටවැසියන්ට බ්‍රිතාන්‍යයේ ඡන්ද බලය තිබුණා.)

 

නව සමසමජ පක්‍ෂය ද කලක්  ටෙඩ් ග්‍රාන්ට්ගේ මිලිටන්ට් කණ්ඩායම සමග ජාත්‍යන්තර ව හතරවැනි ජාත්‍යන්තරයට බැඳී සිටියා. ටෙඩ් ග්‍රාන්ට් වරක් නව සමසමාජ පක්‍ෂයේ සම්මේලනයකට පැමිණි අවස්ථාවේ වීසා ඉකුත් වී ද සිටියා. රජය ඔහු සොයන විට ඔහු සැඟ වී සිටියේ මහරගම. එකල මා නව සමසමාජ පක්‍ෂයෙන් අස් ව සිටියත් පැරණි මිත්‍රකම් තිබුණා. දිනක් මට මතක හැටියට සන්ඩේ ඔබ්සර්වර් පත්‍රයේ ප්‍රධාන පුවත වූයේ ටෙඩ් ග්‍රාන්ට්. මා පුවත්පත් මිල දී ගැනීමට ගිය විට ඒ පුවත දැක මට හිනහ ගියා. මා මුදලාලිට කියන්න ගියේ නැහැ ටෙඩ් ග්‍රාන්ට ඉන්නෙ සැතපුම් කාලක්වත් දුර නැති නිවසක බව.

 

හතරවැනි ජාත්‍යන්තරය හැදුවෙ දෙවැනි ජාත්‍යන්තරයට පමණක් නොව ලෙනින්ගෙ තුන්වැනි ජාත්‍යන්තරයටත් පසුව බව ඇතැම් පඬි නැට්ටන් දන්නෙ නැහැ. ඔවුන්ට සංඛ්‍යා අනුුක්‍රමය අමතක වෙලා වෙන්න පුළුවන්. හතරවැනි ජාත්‍යන්තරයෙ පොත් කියවන විට දෙවැනි ජාත්‍යන්තරයෙත් තුන්වැනි ජාත්‍යන්තරයෙත් පොත් කියවන්න වෙනවා. අදත් මට හතරවැනි ජාත්‍යන්තරෙයෙ ලිපි විද්‍යුත් තැපෑලෙන් ලැබෙනවා. අද නම් ඒ කියවීමෙන් මට විනෝදයක් ලැබෙන්නෙ.

 

 

මා ඉහත සඳහන් විස්තර කෙළේ මා පෙත් කියවීම පමණක් නොව ලංකාවෙන්  පිටතත් දේශපාලන ක්‍රියාකාරකම්වල නිරත වූ බව පෙන්වීමට. මා නව සමසමාජ පක්‍ෂයෙන් ඉවත් වුණෙ 1980 මාර්තු මාසයෙ පමණ. ඒ ජූලි වැඩ වර්ජනයට පෙර. අප පොත් කියෙවුවත් මට ඒ වන විටත් තේරුම් ගොස් තිබුණ පොතේ හැටියට වැඩේ වෙන්නෙ නැති බව. ග්‍රාම්ස්චි විතරක් නෙවෙයි පැබ්ලො මැන්ඩෙල් ආදීන් ද සමසමාජ පාක්‍ෂිකයන් ලෙස අප කියෙවුවා. ඒත් ඒ එක් අයකුටවත්, ලෙනින්ටවත්, ට්‍රොට්ස්කිට මාක්ස්වාදය ගැන තිබූ දැනුම නොතිබූ බවයි මගේ නිගමන ය. ට්‍රොට්ස්කි මාක්ස්වාදියකු ලෙස පැහැදිලි ව දැක්කා තනි රටක (සෝවියට් දේශයෙ)  සමාජවාදය ගොඩ නගන්න බැරි බව.

 

මාක්ස්වාදයෙ කියන්නෙ ධනපති ක්‍රමයට තවදුරටත් සංවර්ධනය කළ නොහැකි බවත් ලෝකයට ඉදිරියට යෑමට කම්කරු පංතිය බලය ගත යුතු බවත්. ධනවාදයෙ කඩා වැටීමත් සමග එය ඓතිහාසික වශයෙන් අනිවාර්ය බවත් එහි කියැවෙනවා. මාක්ස්වාදයට අනුව පළමුවෙන් කම්කරු පංතිය බලය ගන්න ඕන බටහිර දියුණු ය කියන රටවල. ඒ රටවල කම්කරු පංතීිය බලය ගන්නෙ නැතිව වෙනත් රටක සමාජවාදය ගොඩ නගන්න බැහැ කියන එක ඉන් ගම්‍ය වෙනවා. බටහිර රටවල සමාජවාදය ඇති නොවී සෝවියට් දේශයේ තනිව සමාජවාදය ගොඩ නගන්න බැරි බවයි ට්‍රොට්ස්කි කියා හිටියෙ. ඔහු කී දේ ඒ ලෙස මා අද පිළිගන්නෙ නැති වුවත් කිසිම රටක සමාජවාදයක් ඇති වෙලා නැහැ. ඒ සමාජවාදය කියන එක මනස්ගාතයක් පමණක් නිසා. බටහිර රටවල ඊනියා කම්කරු පංතියක් විප්ලව කරන්නෙ නැහැ. ඇලන් වූඩ්ස් එසේ නොකීවත් ඔහුට තේරෙනවා එංගලන්තයෙ ලේබර් පක්‍ෂයෙන් ඉවත් වෙලා කරන්න පුළුවන් දෙයක් නැති බව. ලේබර් පක්‍ෂයෙ හිටියත් කරන්න පුළුවන් විප්ලවයක් නැහැ.

 

මෙරටත් එහෙම තමයි. විරෝධය කණ්ඩායම කම්කරු මාවත සහ තවත් පක්‍ෂ හා ප්‍රවණතා අද නන්නත්තාර වෙලා. අද මෙරට මාක්ස්වාදීන් කොටස් දෙකකට බෙදන්න පුළුවන්. එක් කොටසක් ඊනියා විප්ලවයක නාමයෙන් ට්‍රාන්ස්ෆෝර්මර් බස් ගෙවල් ගිනි තියනවා, මිනිසුන් මරණවා. අනෙක් කොටස කිසිම ප්‍රායෝගික දේශපාලනයක නොයෙදී සකර්බර්ග් අනාථ කඳවුරේ හා තවත් තැන්වල බොරු පඬි කතා කියනවා. අහවල් අහවල් පොත් කියවල ඒ ගැන ව්‍යාජ කතා කිය කිය ඉන්නවා. ඒ කිසි දේකින් සතපහක වැඩක් වෙන්නෙ නැහැ. ඔය කිසිම පොතක තියෙන දෙයක් හරි යන්නෙ නැහැ, වැඩ කරන්නෙ නැහැ. තම හිස් බව කියා පෑම පමණයි ඒ සියලු වර්ගවල මාක්ස්වාදීන් කරන්නෙ. මාක්ස්වාදය කිසි දිනෙක වැඩ නොකළ දැනුම් පද්ධතියක්.

 

දෙවැනි කණ්ඩායමේ සමහරු පළමු කණ්ඩායමට ඡන්දය දෙනවා. එපමණක් නො වෙයි. ව්‍යවස්ථාවට උඩින් ගිහින් ජනතාවගේ පරමාධිපත්‍යය ක්‍රියාත්මක කරන්න කියා කියනවා. ඒක හොඳයි. ඒත් ඔය ඊනියා ජනතාවගේ පරමාධිපත්‍යය ලැබෙන්නෙත් ව්‍යවස්ථාවෙ තුන්වැනි වගන්තියෙන්. ව්‍යවස්ථාව විසි කරා ම තුන්වැනි වගන්තියත් විසි වෙනවා.

 

මාත් රුසියාවට ලැදියි. ඒත් ඊනියා සෝවියට් රාජ්‍ය කතා නිසා නො වෙයි. ඒ පට්ට ම පට්ටපල් බොරු. මා රුසියාවට කැමති අද ඔවුන් බටහිර ක්‍රිස්තියානි නූතනත්ව චින්තන ආධිපත්‍යයට විරුද්ධ ව සටන් කරන නිසා. රුසියාව නැගෙනහිර ඔතොඩොක්ස් චින්තනයෙ ප්‍රධාන රට. අප කළ යුත්තෙ බටහිර ක්‍රිස්තියානි නුතනත්ව චින්තන ආධිපත්‍යයට විරුද්ධ ව අනෙක් රටවල් එකතු කිරීම. මා මියන්මා ගියෙත් ඒ අරමුණ හිතේ දරා ගෙන. එහෙත් අවාසනාවකට වසංගතය නිසා එයට බාධා පැමිණුනා.

 

එයරොෆ්ලොට් ගුවන් යානය නවතා ගැනීමට ඇතැමුන් උත්සාහ කෙළෙ බටහිර ක්‍රිස්තියානි නූතනත්ව ආධිපත්‍යයෙ අවශ්‍යතාවට. ලංකාව බටහිර රටවල් සමග සිටීමෙන් මහා ලොකු ආධාරයක් ලැබෙන්නෙ නැහැ. රනිලුත් ඒ බව දන්නවා. ඔහු සඳහන් කරන්නෙ ඉන්දියාව චීනය හා ජපානය ගැන මිස වෙනත් රටවල් ගැන නො වෙයි. ජපානයත් ක්‍රමය කුමක් වුවත් ආසියාතික රටක්. ඒත් බටහිරට අවශ්‍යයි අප තම චින්තන ආධිපත්‍යයට යට නොවන රටවල් සමග ඇති මිත්‍රත්වය නැති කරන්න. බටහිරයන් වෙනුවෙන් අපි කියන කොටසක් මේ රටේ ඉන්නවා.

 

මේ ඡායාරූපයේ ඉන්නෙ ඇලන් වුඩ්ස් හා හියුගො චාවේස්.