History

Saturday, 27 August 2022

පොරක් නොවූ පොරක්

 

පොරක් නොවූ පොරක්

 

මා සසෙක්ස් විශ්වවිද්‍යාලයේ සිටි කාලයේ ලන්ඩන් ගිය විට නැවතුණේ මා මිත්‍ර බන්දුල රාජරත්න නැවතී සිටි ගෙදර. එහි සිටියේ පකිස්ථාන සැමියකු හා ඉන්දීය භාර්යාවක්. සැමියා මුස්ලිම් භාර්යාව හින්දු. ඔවුන්ට කුඩා දියණියන් දෙදෙනකු හිටියා. ලන්ඩනයේ තවත් මිතුරන් කිහිප දෙනකු හිටියා. බර්ටි ප්‍රනාන්දු, මුදුන්කොටුව. නලින්ද සල්පදෝරු එවකට හිටියේ මැන්චෙස්ටර් කිට්ටුව සොල්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ. අප ඔහු හමුවීමට දිනක් එහි ගියා. එයට අමතර ව තවත් අය හිටියා. බන්දුල අද ජීවතුන් අතර නැහැ. මගේ ඥාතීන් කිහිප දෙනකුත් හිටියා. එහෙත් මා එකල ඩග්ලස් වික්‍රමරත්න දැනගෙන හිටියේ නැහැ. එකල මා ජාතිකවාදියකු නොවෙයි. කෙසේ වෙතත් මසකට වරක් ලන්ඩන් යෑම මා බලා හිටි ගමනක්.

 

සසෙක්ස් විශ්වවිිද්‍යාලයේ ලාංකිකයන් කිහිප දෙනකු හිටියා. මහේන්දූන් රසායන විිද්‍යාවෙන් ආචාර්ය උපාධියක් ලබා ගැනීමට කටයුතු කළා. ඔහුත් මාත් එක ම නේවාසිකාගාරයේ හිටියේ. අප එක් වී උයාගෙන කෑවා. පසුව ඊළඟ අවුරුද්දේ කැලණියෙන් පැමිණි රාජපක්‍ෂ ද අපට එක් වුණා. ඔහුත් රසායන විද්‍යාව හැදෑරුවෙ. ඔහුත් මාත් එකට පේරාදෙණියට ඇතුල් වුණේ. අප උයාගෙන කැවා කිවුවට කෙළේ බත් ටිකක් තම්බා ගෙන එළවලුවක් දෙකක් තම්බාගෙන බොහෝ විට කුකුල් මසුත් සමග කෑමයි. මෙලෝ රහක් නැහැ. ලංකාවට ආ විගස මා ඊනියා ඉවීම නතර කළා. අප තිදෙනාට අමතර ව මගේ පාසල් මිතුරකු වු ලැනරෝල් සත්වවිිද්‍යාව හැදෑරුවා. තවත් කිහිප දෙනකු හිටියා. ඔවුන් අතර මහා බැංකුවෙන් ගොස් සිටි නීල් බණ්ඩාරනායක ආර්ථික විද්‍යාව හැදෑරුවා. මේ අයගෙන් මහේන්ද්‍රන් වැදගත් වෙනවා. මා විද්‍යාඥයකු වීමට නොහැකි ව  ලංකාවට ඒමේ සිද්ධිය ඔහු මුළුමනින්ම මෙන් දැන හිටියා. මා හිතන විධියට ඔහු දැන් ඉන්නේ කැනඩාවේ. ඒත් කාලෙකින් මේ කිසිවකු ගැන ආරංචියක් ලැබුණේ නැහැ.   

 

මා නැවතත් කියන්න ඕනෙ ලංකාවෙ මට්ටමෙන් නම් මා ඉතා දක්‍ෂ ශිෂ්‍යයෙක්. එය ආත්ම වර්ණනාවක් නො වෙයි.  මා ගමේ පාසලට ඇතුළත් කෙරුවෙ අවුරුදු හතරහමාර පිරෙන්න කලින්. අවුරුදු හතරහමාර පිරුණට පස්සෙ ඒ කාලෙ කිවුව විධියට පොතට නම දැම්මා. ඒක ගුරුවරුන්ට ගුරුවරියන්ට තිබුණු වරප්‍රසාදයක්. අපේ අම්මා තම ශිෂ්‍ය ජීවිතය මෙන් ම ගුරු ජීවිතයත් සම්පුර්ණයෙන් ම ගත කරල තිබුණෙ ඒ පාසලේ. පහළ බාලාංශයෙන් මට දෙවැනි පංතියට උසස් වීමක් ලැබුණා.  මා ඉහළ බාලාංශයේ වැඩ දැන හිටියා ය කියා.

 

තුන්වැනි පංතිය සමත් වීමෙන් පසු දෙමවුපියන් හා මාමා මැදිහත් වී මා තර්ස්ටන් විදුහලට ඇතුල් කළා. ඒත් හතරවැනි පංතියට නොව දෙවැනි පංතියට. ඒ නීතිය අනුව මගේ වයසට සරිලන පංතිය දෙවැනි පංතිය වීම නිසා. ඒ පංතිය භාරව සිටියේ මදුරසිංහ නෝනා මහත්මිය. ඇය මගේ දක්‍ෂතාව දක්වමින් මගේ ඡායාරූපයක් සහිත ව දිනමිණ හරි සිළුමිණ හරි පත්තරේ කෙටි විස්තරයක් පළ කළා. මගෙන් සාක්‍ෂි විමසන්න එපා. ඒ පත්තරේ මා ළඟ නැහැ. පස්වැනි පංතියේ අපට වීරසේකර මහතා ඉගැන්නුවා. ඔහු අති දක්‍ෂ ගුරුවරයෙක්. මා හිතන්නේ මට ගුරුවරයකු වීමට ආශාවක් ඇති වුණේ ඔහුත් දෙමවුපියනුත් නිසා කියා. දිනක් මහු සිසුන්ගෙන් ලොකු වුණාම කවුරු වෙන්න ද බලාපොරොතු වෙන්නෙ ඇහුව ම දොස්තරලා හා වෙනත් අය අතරෙ ගුරුවරයකු වෙන්න හිටියෙ මා විතරයි. ඒකටත් සාක්‍ෂි නැහැ. වීරසේකර මහතා ජීවතුන් අතර නැහැ. මා ගුරුවරයකු වුණෙත් නැහැ.

 

හයවැනි පංතියේ දී මා රාජකීය විදුහලට ඇතුල් වුණා. ඒ ශිෂ්‍යත්වයෙන් නොව තරග විභාගයකින්. එකල ශිෂ්‍යත්වයෙන් රාජකීය විදුහලට ළමුන් බඳවා ගත්තේ නැහැ. මා එකල කැමති ම විෂය වුණෙ සිංහල ගණිතය හා ඉතිහාසය. එකලත් මා ලංකාවෙ දි පුරාවිද්‍යාව සැලකුවෙ ඉතිහාසය ලෙස. ඒ දැනුමකින් නොව ඉවෙන්. මට සිංහල සාහිත්‍යය රචනය ව්‍යාකරණය පුළුවන් වුණා. ඒ ගෙදර ආභාසය වෙන්න ඕන. අපේ පියා ඉගැන්නුවෙ සිංහල සාහිත්‍යය. මා හයවැනි පංතියෙ ලියූ රචනා දිසානායක ගුරුතුමා ජ්‍යෙෂ්ඨ පංතිවල කියවා තියෙනවා. මට ඒ බව කිවුවෙ ඒ පංතියක සිටි මගේ ඥාති සොහොයුරෙක්. ඔහුත් කැනඩාවේ පදිංචි ව සිට පසුගිය දා අභාවප්‍රාප්ත වුණා. කණගාටුයි සාක්‍ෂි නැහැ. 

 

රාජකීය විදුහලේ කණිෂ්ඨ පංතිය කියා කිවුවෙ නවවැනි ශ්‍රේණියට. එහි ශුද්ධ ගණිතය, භෞතික විද්‍යාව, රසායන විද්‍යාව මෙන් ම ලතින් පාලි ඉගැන්නවා. සමහරු ග්‍රීක් සංස්කෘත ඉගෙන ගත්තා. ඒ අතර ඉංගිරිසි ඉතිහාසය ඉගැන්නුව. අප මේ සියල්ල ඉගෙන ගත්තා. මා හිතනවා එය බටහිර ක්‍රමයට ලැබුණු ඉතා හොඳ අධ්‍යාපනයක් කියා. ඒ වසර අවසානයේ තෝරාගත් සිසුන් තිහකට පමණ ඊළඟ වසරේ සාමාන්‍ය පෙළ පරීක්‍ෂණයට පෙනී හිටින්න අවසර දුන්නා. ඒ වසරේ කණිෂ්ඨ ඉංගිරිසි ඉතිහාසය පිළිබඳ ත්‍යාගය ලැබුණෙ මට. 

 

ඊළඟට තිබුණෙ දහවැනි පංතිය. රාජකීය විදුහලේ මේ පංති හඳුන්වනු ලැබුයෙ එංගලන්තයෙ ක්‍රමයට Form IV Form Upper V ආදී වශයෙන්. අපර් ෆයිව් නැත්නම් ජ්‍යෙෂ්ඨ පංතියේ දී අපට ශුද්ධ ගණිතය ව්‍යවහාරික ගණිතය හා උසස් ගණිතය ඉගෙනීමට ලැබුණා. ඒ විෂය තුන ම අපට ඉගැන්නුවෙ අරසරත්නම් මහතා. ඔහුත් අති දක්‍ෂ ගුරුවරයෙක්. ඔහු නිවුටන් නියම අපට කියා දුන්නා. ඒ නියම කර්මයට යොදන්න බැරි බව තේරෙන විධියට එතුමා අපට ඒ කියා දුන්නා. එතුමා කර්මය ගැන කතා කෙළේ නැහැ. ඒත් තුන්වැනි නියමය යොදන්න පුළුවන් එකිනෙක සමග ස්පර්ශ වන වස්තු සඳහා පමණක් ය කියන එක මා අරසරත්නම් මහතාගෙන් ඉගෙන ගත්තා. සීමාව අවකලනය ආදිය නිරවුල් ව ඉගෙන ගත්තෙ එතුමගෙන්. ඔවු සාපේක්‍ෂ චලිතය ගැන ඉතා පැහැදිලි හැඳින්වීමක් එතුමාගෙන් ලැබුණා. මට සාපේක්‍ෂතාවාදය හා භෞතික විද්‍යාව පිළිබඳ ඇල්මක් ඇති වුණෙ ඒ මහතාගෙන් ඉගෙන ගැනීමෙන්. ඒ වසර අවසානයේ මට ව්‍යවහාරික ගණිතය පිළිබඳ ත්‍යාගය ලැබුණා. මා පාසල් පුස්තකාලයේ අයින්ස්ටයින් හා රසල් කියවන්න පටන් ගත්තා.

 

මගේ ජීවිතයට බලපෑ තවත් ගුරුවරු හිටියා. එක් අයකු අපට හත අට පංතිවල ඉතිහාසය භූගෝල විද්‍යාව ඉගැන්වූ ලයනල් සමරරත්න මහතා. ඔහු අපට කුඹුරු පනත ගැනත් කියා දුන්නා. ඔහු සමසමාජ පක්‍ෂයට හිතවත් අයෙක්. අනෙක් ගුරුවරු තුන්දෙනා ක්‍රිස්ටි ගුණසේකර, ගනේෂලිංගම් හා සැමුවෙල් මහත්වරු. පසුව කී දෙදෙනා සරසවි ප්‍රවේශ පංතිවල භෞතික විද්‍යාව ඉගැන්නුවා. ගුණසේකර මහතා අපට අර කණිෂ්ඨ පංතියේ දීත් සරසවි පිවිසුම් පංතියකත් රසායන විද්‍යාව ඉගැන්නුවා. මා ඔහුගෙන් රසායන විද්‍යාව ඉගෙන ගත්තෙ නැහැ. එහෙත් රේඛීය චින්තනයේ නිසරු බව ඉගෙන ගත්තා. ගනේෂලිංගම් මහතා මගේ පොතක ලිවුවේ මට ඉතා ඉහළ තාර්කික මනසක් තියෙන බව. කණගාටුයි ඒ පොතත් මා ළඟ නැහැ.  සැමුවෙල් මහතා ගැන මා පසුව කියන්නම්.

 

දැන් නැවතත් ක්‍රිස්ටි ගුණසේකර මහතාට. එතුමා අපට කණිෂ්ඨ පංතියේ රසායන විද්‍යාව උගන්වන අතර අම්ලයක් අර්ථදක්වන්න කිවුවා. වයස අවුරුදු දහහතරෙ සිටි අප කිසිවකුට ඔහුගේ මතය අනුව නිවැරදි පිළිතුරක් දී ගන්න බැරි වුණා. එවිට ඔහු කිවුවා අර්ථදැක්වීම යන්න තේරුම් කරන්න කියා. අපට එය බැරි වූ බව කියන්න අවශ්‍ය නැහැ. ඊළඟට ඔහු කිවුවා තේරුම් කිරීම අර්ථදක්වන්න කියා (Explain Definition, Define Explanation) . ඔහු ඒ කිවුවෙ චක්‍රීය චින්තනය ගැන බව මට එදින වැටහුණේ නැහැ. එහෙත් වසර ගණනාවකට පසු මට එය වැටහුණා. ඒ වැටහීමෙන් පසු අපේ පංතියේ මිතුරන්ගේ භෝජන සංග්‍රහයකට පසුව කතාවක් පවත්වමන් ඒ චක්‍රිය චින්තනය මා ඔවුන්ට පැහැදිලි කළා.

 

මා පොරක් කියා කීමට නොවෙයි මේ සියල්ල කියන්නෙ. ලංකවෙ පොරක්  බටහිර දි පොරක් නොවන බව කීමට.