History

Friday, 26 August 2022

ඝරසර්ප හා බීබීසී සමග අත්දැකීමක්

ඝරසර්ප හා බීබීසී සමග අත්දැකීමක්

 

සසෙක්ස් විශ්වවිද්‍යාලය එකල අලුත් විශ්වවිද්‍යාලයක්. තාරකා විද්‍යා මධ්‍යස්ථානය අලුත් ම සංකල්පයක්. එය අයත් වුණේ ගණිතමය හා භෞතීය විද්‍යා පාසලටයි (School of Mathematical and Physical Sciences). ඔවුන් පීඨ සංකල්පයෙන් මිදී වඩා ස්වාධීනත්වයක් ඇති පාඨශාලා  ක්‍රමය හඳුන්වා දී තිබුණා. මහාචාර්ය මැක්‍රේට අවශ්‍ය වෙලා  තියෙන්නෙ බිරිතානියට ම පොදු තාරකා විද්‍යා මධ්‍යස්ථානයක් ඇති කරන්න.  අදාළ රජයේ මණ්ඩලවලින් එයට අනුග්‍රහයක් ලැබී නැහැ. එහෙත් සසෙක්ස් විශ්වවිද්‍යාලය ඒ අදහස පිළිගෙන.

 

හර්ස්ට්මොන්සු නිරීක්‍ෂණාගාරය තිබුණෙ සසෙක්ස් විශ්වවිිද්‍යාලය කිට්ටුවෙන්. එය නිරීක්‍ෂණාගාරයක් වූවත් ප්‍රවාදාත්මක තාරකා විද්‍යාඥයන් ද එහි කටයුතු කළා. මෙහි දී වූ වැදගත් දෙය නම් විශ්වවිිද්‍යාලය හා නිරීක්‍ෂණාගාරය අතර අන්‍යෙන්‍ය සම්බන්ධයක් ගොඩ නැගීමයි. නිරීක්‍ෂණාගාරයේ තාරකා විද්‍යාඥයන් විශ්වවිිද්‍යාලයේ දේශන ද පැවැත්වූවා. මසකට වරක් නිරීක්‍ෂණාගාරයේ පැවැත්වූ සම්මන්ත්‍රණයට තාරකා විද්‍යා මධ්‍යස්ථානයේ ආචාර්යවරු ද පශ්චාත් උපාධී අපේක්‍ෂකයන් ද සහභාගි වුණා.

 

අප එහි ගියේ බසයකින් ඒ සමහර අවස්ථවල දී මට මහාචාර්ය මැක්‍රේ සමග එකට වාඩි වී ගමන් කිරීමට ලැබුණා. ඒ ගමන්වල දී ග්‍රිනිච් ඉතිහාසය පමණක් නොව බිරිතානි දේශපාලනය ද කතාබහට ලක් වුණා. මහාචාර්ය මැක්‍රේ අතින් ලේබර් පක්‍ෂය මෙන් ම කොන්සර්වෙටිව් පක්‍ෂය ද විවේචනයට ලක් වුණා. වරක් ලන්ඩනයේ තාරකා විද්‍යාඥයකු මහා මැතිවරණයට ඉදිරිපත් වූ  අවස්ථාවේ ඒ ගැන මහාචාර්ය මැක්‍රේ පැවසුවේ උපහාසයෙන්.

 

ඒ මාසික සම්මන්ත්‍රණවලට අමතර ව ලන්ඩනයේ රාජකීය තාරකා විද්‍යාඥයන්ගේ සංගමයේ මාසික රැස්වීම්වලට ද අප සහභාගි වුණා. එකල අප එම සංගමයේ ශිෂ්‍ය සාමාජිකයන්. පසුව මට එහි අධිසාමාජිකත්වය (Fellowship- FRAS) ලැබුණ ද ලංකාවට පැමිණි පසු සාමාජික මුදල් ගෙවීම වැටුපෙන් කිරීමට බැරි වූ බැවින් අධිසාමාජිකත්වය අහෝසි වුණා.  රැස්වීම් පැවැත්වුණෙ මාසයේ අන්තිම සිකුරාදා. මා ද ඒ රැස්වීම්වලට නොවරදවා ම සහභාගි වුණා. විශේෂයෙන් ම ලන්ඩන් නුවර සිටි මගෙ මිතුරන් සමග දීන දෙකක් ගතකර ආපසු යැමට. ඒ සමහර දිනවල අප ලන්ඩනයේ ප්‍රදර්ශනය වූ හින්දි චිත්‍රපටයක් බලන්නට ගියා. ආරාධනා චිත්‍රපටය මා එසේ නැරඹූ එක් චිත්‍රපටයක්.

 

ලංකාවේ සිටිය දිත් මිතුරන් සමග චිත්‍රපට බැලීමට පුරුදු වී සිටියා. එකල ඇතැම් දිනවල පේරාදෙණියේ දී රෑ 9.30 දර්ශනය නරඹා නුවර සිට පේරාදෙණියට පයින් ඒම අපට සුළු දෙයක් වුණා. ඒහෙත් අද මට නුවර සිට කටුකැලේටවත් පයින් යන්න බැහැ. ගණිත විශේෂ උපාධිය සඳහා කොළඹට පැමිණි පසු සෑම සිකුරාදාවක ම නොවරදාවම චිත්‍රපටයක් බැලීමට පුරුදු වී සිටියා. දැන් නම් මා චිත්‍රපටයක් බලන්නේ ඉතා කලාතුරකින්. මා අවසාන වරට බැලුවේ ජයන්ත චන්ද්‍රසිරිගේ ඝරසර්ප. ඒ ගැන මා විචාරයක් ද ලිවුවා. එය කාලය වෙබ් අඩවියේ පළ කලා. එහෙත් ජයන්ත ඒ විචාරය ගණන් ගත්තේ නැහැ. අද ජයන්ත විචාර අමතක කර අනෙක් කලාලකරුවන් සමග අවිචාරයෙන් පරගලයට ගිහින්.

 

සසෙක්ස් විශ්වවිද්‍යාලයේ සිටිය දී සිදු වූ එක් සිද්ධියක් කියන්න ම ඕන. රජයේ ශිෂ්‍යත්වයකින් එංගලන්තයට ගිය බැවින් මට ලංඩනයේ අපේ මහා කොමසාරිස් කාර්යාලයට යෑමට සිදු වුණා. එකල එහි අධ්‍යාපන කටයුතු භාරව වැඩ කෙළේ ජේ සී ඒ කොරයා මහතා. ඔහු රාජකීය විදුහලේ  පළමු ලාංකික විදුහල්පති පමණක් නොව රාජකීය විදුහලේ ආදි ශිෂ්‍යයෙක්. ඔහු මා පිළිගෙන ඉතා හොඳින් අවශ්‍ය කටයුතු සියල්ල කර දුන්නා. අපට එකල අවුරුද්දට ලැබුණේ පවුම් 520ක්. එය මාස් පතා චෙක් පතකින් පවුම් 43 සිලිම් 6 පැන්ස 8 බැගින් තැපෑලෙන් ලැබුණා. කොරෙයා මහතා ඒ සියලු කටයුතු සම්පාදනය කර මා සමග කතාවට වැටුණා. සමහර විට මා රාජකීය විදුහලේ ආදි ශිෂ්‍යයකු වූ බැවින් ඔහුට විස්තර දැන ගැනීමට අවශ්‍ය වෙන්න ඇති. මා තාරකා විද්‍යාව හදාරණ බව කී විට ඔහු මහත් ආශාවෙන් ඒ ගැන තොරතුරු විමසුවා.

 

ටික කලක් ගියාට පසු තාරකා විද්‍යා මධ්‍යස්ථානයේ ලේකම්වරිය මට දැන්වුවා බීබීසි ආයතනයේ අයකු මා සමග සාකච්ඡාවක් පැවැත්වීමට කැමති බවත් මා එයට සහභාගි වන්නේ ද කියා දැන ගැනීමට අවශ්‍ය බවත්. පාසලේ හත්වැනි පන්තියේ සිටිය දී ගුත්තිල නාට්‍යයේ ගුත්තිල පඬිතුමාගේ චරිතයට කටහඬ දීමෙන් පසු ගුවන්විදුලි කටයුත්තකට සහභාගි වීමට අවස්ථාවක් නොලැබ සිටි මා එයට කැමති වුණා.

 

ඒ පැමිණි තැනැත්තා මගෙන් ප්‍රශ්න ඇහුවා ඒවාට මා පිළිතුරු දුන්නා. ඒ ප්‍රශ්නවත් පිළිතුරුවත් මට මතක නැහැ. එහෙත් මට වෙනත් කරුණු මතකයි. ඔහු කියා සිටියා තමා සසෙක්ස් විශ්වවිද්‍යාලයේ ඉගෙන ගන්නා ලාංකිකයකු ගේ නමක් යෝජනා කරන ලෙස අපේ මහා කොමසාරිස් කාර්යාලයෙන් ඉල්ලූ විට මගේ නම සඳහන් වුණු බවත් මා තාරකා විද්‍යාව හදාරන්නේ යැයි කී බවත්. ඉන් පසු තරමක් මිත්‍ර වීමෙන් පසු ඔහු කියා සිටියේ තමාගේ දෙමවුපියන් ජීවත් වන්නේ බ්‍රයිටන් පෙදෙසේ බවත් සසෙක්ස් විශ්වවිද්‍යාලයට යොදා ගත් නිල ගමනෙන් ඔහු දෙමවුපියන් ද බලා කියා ගෙන ආපසු ලන්ඩන් යන බවත්. අපේ රජයේ සේවකයන් එවැනි ගමන් බිමන් යොදා ගන්නට ඉගෙන ගන්නට ඇත්තේ කාගෙන් ද යන්න ඒ සමග ම මට දැන ගන්න ලැබුණා.