History

Friday, 30 December 2022

ප්‍රධාන හීනමානය

 ප්‍රධාන හීනමානය

 

මාක්ස්වාදය කියන්නෙත් තවත් විජාතික දැනුම් පද්ධතියක් පමණයි. බටහිර විද්‍යාව අනුකරණය කරන්න යන ඊනියා සමාජයීය විද්‍යාවන්ගෙන් එකක් තමයි මාක්ස්වාදය. එහි දී ඉතිහාසයත් සමාජයීය විද්‍යාවක් බවට පත් කරන්න තැත් කළා. මොන විද්‍යාව වුණත් දැනුමක් වෙන්න නම් ඒකෙ හිතළු වැඩ කරන්න ඕන. වැඩ කළත් වැඩ කරන්නෙ සීමිත වපසරියක පමණයි. උදාහරණයක් වශයෙන් නිවුටන් ගන්න පුළුවන්. නිවුටන්ගේ ගුරුත්වාකර්ෂණ කතාව විශ්වීය නියමයක් කියා කිවුවට අඩු තරමෙන් සූර්ය ග්‍රහ මණ්ඩලයෙවත් වැඩ කරන්නෙ නැහැ. නිවුටන් කියන විධියට ග්‍රහවස්තු සූර්යයා වටා (සූර්යයාගේ හා ගහ්‍ර වස්තුවේ ස්කන්ධ කේන්ද්‍රය වටා) අචල ඉලිප්සයක ගමන් කරන්න ඕන. එහෙත් එක ග්‍රහ වස්තුවක්වත් එලෙස චලනය වෙන්නෙ නැහැ. අයින්ස්ටයින් වුණත් එහෙමයි. සාධාරණ ගුරුත්වාකර්ෂණය ඊනියා අඳුරු ද්‍රව්‍යය හා අඳුරු ශක්තිය සම්බන්ධයෙන් වැඩ කරන්නෙ නැහැ.

 

මාක්ස්ගෙ හිතළු කොහෙවත් වැඩ කරන්නෙ නැහැ. ඔය සමාජවාදය කියන එක ඇතිවෙලා නැහැ. ඕන නම් සමාජවාදය ඇති වෙන තුරු ඇතිතාක් කල් බලන් ඉන්න පුළුවන්. අර එළුවගෙ මොකක් එක වැටෙනකම් ඉන්නව වගේ. වමාලට (ලංකාවෙ නොවෙයි) මොන තරම් සංශෝධන ඉදිරිපත් කළත් ඊනියා කම්කරු පංතිය බලයට පත් කරන්න බැහැ. (ලංකාවෙ වමාලට එහෙම දෙයක්වත් කරන්න බැහැ.) බලයට පත් කරන්න කම්කරූ පංතියක් තියෙන්න එපායැ. මාක්ස් පැත්තකින් තියමු. සමාජයීය විද්‍යා කියන ඒව වැඩ කරනවා ? බටහිර සමාජ විද්‍යාවට පුළුවන් සමාජය ගැන වැඩ කරන කතන්දරයක් හදන්න. බටහිර ආර්ථික විද්‍යාවට පුළුවන් මෙරට ආර්ථික අර්බුදයට විසඳුමක් ඉදිරිපත් කරන්න. මාක්ස්වාදයට නම් පුළුවන්. විසඳුම තමයි සමාජවාදය. ඒත් පොඩි ප්‍රශ්නයක් තියෙනවා. සමාජවාදය ඇති වෙන්නෙ නැහැ. අපට බලන් ඉන්න පුළුවන්. ඒක වමාලාට හයියක්. හැමදාමත් කිය කිය ඉන්න පුළුවන් සමාජවාදය ඇති කරන්න සූදානම් වෙමු කියල.

 

බටහිර විද්‍යාව තරමකට හරි වැඩ කරන්නෙ භෞතික විද්‍යාවෙ. එතනින් එහාට යන්න යන්න වියුක්තකරණය අඩු වෙනවා. සමාජයීය විද්‍යා කොහොමටවත් වියුක්තකරණයට ලක් කරන්න බැහැ. බටහිර විද්‍යා හදාරන්න බැරි අයට සමාජයීය විද්‍යා හදාරන්න පුළුවන් වෙන්නෙ ඔය වියුක්තය සමාජයීය විද්‍යාවන්හි නැති නිසා. 

 

ඔය මොන විද්‍යාවත් දෘශ්ටිවාදයක්. හැම දැනුමක් දෘශ්ටිවාදයක්. දෘශ්ටිවාද නැති වෙන්න නම් නිවෙන්න ඕන. දැන් ප්‍රශ්නය වෙන්නෙ දෘශ්ටිවාද චින්තනය මත පදනම් වීම. අද ඇතැමුන් කතා කරනවා අගයකින් ස්වායත්ත වූ (value free) දැනුමක් ගැන. එහෙම දැනුම් ලෝකෙ නැහැ. බටහිර සමාජයීය විද්‍යා බටහිරට සාපේක්‍ෂයි. සමාජයීය විද්‍යාවල කතන්දර ගොඩ නැගෙන්නෙ බටහිරට සාපේක්‍ෂ . බටහිර සමාජයට සාපේක්‍ෂව.

 

යමකුට බටහිර සමාජය දෙස බටහිර ඇසකින් විචාරාත්මක බලන්න පුළුවන්. විවේචනය කරන්න පුළුවන්. වැරදි හදා ගන්නත් පුළුවන්. එහි ප්‍රශ්නයක් නැහැ. අපටත් අපේ සමාජයේ ඇති වැරදි අපේ ඇහෙන් බලල හදා ගන්න පුළුවන්. ඒත් අපේ සමාජය දෙස බටහිර ඇහෙන් බලල වැරදි පෙන්නන්නෙ බටහිරට සාපේක්‍ෂව මිසක් අපට සාපේක්‍ෂ නො වෙයි. පඬි නැට්ටන්ගෙ ප්‍රශ්නය ඒකයි. ඔවුන් මෙරට සමාජය දිහා බලන්නෙ බටහිර ඇහැකින්. අපේ ඉතිහාසයෙ අඩුපාඩුකම් තියෙනවා. ඒත් අප දිහා බලන්න ඕනෙ අපේ ඇහැකින් මිසක් ජී සී මෙන්දිස් හා ඔහුගේ ගෝලයන් කරන විධියට බටහිර විචාරාත්මක ඇහැකින් නෙ වෙයි.

 

මා දන්නවා පඬි නැට්ටන් සමහර දෙනකු කියන්නෙ ලෝකෙට ඇත්තෙ එක එක දැනුම් පද්ධතියක් කියල. එහෙම නම් මෙරට පඬියන්ට පඬි පෝතකයන්ට පඬි නැට්ටන්ට පුළුවන්කම තියෙන්න ඕන ඔය බටහිර දැනුම කොහොම කොහොම හරි තමන්ට තේරෙන විධියට දැන ගන්න එක පමණක් නොවෙයි බටහිර දැනුමට අලුතෙන් යමක්, කතාවක් එකතු කරන්න. දැන් පඬි නැට්ටකු කියන්න බැරි නැහැ මෙරට අවශ්‍ය පහසුකම් නැහැ කියල. කතාව පිළිගන්න පුළුවන් එකක් නො වෙයි. අපට ඉහළ මට්ටමක පරීක්‍ෂණාගාර නිරීක්‍ෂණාගාර නැති බව ඇත්ත. ඒත් ප්‍රවාදාත්මක වැඩවලට කිසිවක් අවශ්‍ය වෙන්නෙ නැහැ. අද අන්තර්ජාලයෙන් තොරතුරු ලබා ගන්න බොහෝ දෙනකුට පුළුවන්. අවශ්‍ය අලුත් දේ හිතෙන එක විතරයි. ඒත් ඔවුන්ට එහෙම අලුත් දෙයක් හිතෙන්නෙ නැහැ.

 

අනෙක් අතට සිංහල විද්‍යාඥයන් හා විද්වත් ශාස්ත්‍රඥයන් කියන අය දියුණු යැයි කියන රටවල පහසුකම් ඇති ආයතනවල රැකියා කරනවා. ඔවුන්ට කියන්න බැහැ පහසුකම් නැහැ කියල. ඒත් ඔවුන් අතිනුත් අලුත් දෙයක් කියැවෙන්නෙ නැහැ. ඔවුන්ටත් අලුත් දෙයක් හිතෙන්නෙ නැහැ. අපි ඔක්කොම මිනිසුන් නම් අපට ඇත්තේ එක දැනුම් පද්ධතියක් නම් අපේ අය අතින් අලුත් දැනුමක් බිහි නොවන්නේ සිංහල අය සියලු දෙනා අදක්‍ෂයන් නිසා ? අදක්‍ෂයන් නම් මිනිසුන් ලෙස නැත්නම් බටහිර මිනිසුන් ලෙස ?  අප අදක්‍ෂ සිංහලයන් ලෙස බටහිර මිනිසුන් ලෙස ?

 

ඉංගිරිසි අධ්‍යාපනයත් සමග අපට තදබල හීනමාන කිහිපයක් ඇති වුණා. ඉංගිරිසින් අපට ඉගැන්නුවෙ ඔවුන්ගෙ දැනුම. එය අවසානයේ දී බටහිර දැනුමක් බවට පළල් වුණා. අප බුදුදහමත් බටහිර ක්‍රමයට ඉගෙන ගත්තා. මෙරට උගතුන්ට හාමුදුරුවරුන්ට පවා විශ්වවිිිද්‍යාල ක්‍රමය තුළ බටහිරි ක්‍රමයට පශ්චාත් උපාධි ලබා ගන්න සිද්ධ වුණා. බුදුදහමෙන් උපාධි ගන්නත් අපට එංගලන්තයෙ විශ්වවිද්‍යාලවලට යන්න සිද්ධ වුණා. මෙහි ප්‍රතිඵලය වුණෙ අප බුදුදහහම බටහිරයන්ට අවශ්‍ය අන්දමට අර්ථවිවරණය කිරීම. මෙරට දර්ශන අංශවල කී දෙනකු භාරතීය දාර්ශනිකයන් ගැන හදාරල තියෙනවා කියා මා දන්නෙ නැහැ. ථෙරවාදයට දාර්ශනිකයන් අවශ්‍ය නෑහැ. එහෙත් අප මහායාන දාර්ශනිකයන් ගැන හදාරනවා ? හැදෑරුවත් බටහිරයන්ට අවශ්‍ය අන්දමට නො වෙද?

 

ඉංගිරිසි අධ්‍යාපනය සමග අපේ මිනුම් දණ්ඩ බටහිර මිනුම් දණ්ඩ බවට පත් වුණා. අප අර ඊනියා එක දැනුම බටහිර දැනුම බවට පත් කර ගත්තා. දැනුම ලබා ගැනීම උසස් දෙයක් බවට පත් වුණා. අපට දැනුම ලබා ගැනීමෙන් අධිමානයක් ඇති වුණා. හීනමානය තමයි. තමයි ප්‍රධාන හීනමානය. අද අප කතා කරන්නේ මාක්ස් නිවුටන් අයින්ස්ටයින් ඩාවින් කොම්ට් මැන්ඩෙල් ආදීන් ගැන මිසක් අඩුම තරමෙන් රාමනුජන් ගැනවත් නො වෙයි. රාමනුජන් ගැන කතා කළොත් අදෘශ්‍යමාන බලවේගවලින් දැනුම ලබා ගැනීම ගැන කතා කරන්න වෙනවා. බටහිර දැනුම බටහිර ක්‍රමයට අහුලා ගැනීම මහා ලොකු දෙයක් හැටියට සලකන්න අපට බටහිරයන් කියා දී තියෙනවා.