History

Saturday, 31 December 2022

හීනමානය පදනම් වන තවත් කුල ක්‍රම

 හීනමානය පදනම් වන තවත් කුල ක්‍රම

 

අපට බෙහෙවින් ඇත්තේ ඉංගිරිසින් විසින් ඇති කරන ලද හීනමාන. බොහොමයක් අධ්‍යාපනය හා සම්බන්ධයි. ඉංගිරිසින් මෙරට ඇති කළ අධ්‍යාපනය ලබා ගැනීමට ඇති අවශ්‍යතාව එහි දී  ප්‍රධාන කාරණය වෙනවා. කොහොමටත් "ගොඩ එන්න" අධ්‍යාපනය අවශ්‍ය වෙනවා. බටහිර දැනුම ඇති තැනැත්තා නැති අයට වඩා උසස් අයකු ලෙස සලෙකීමට අප පුරුදු කරවා තිබෙනවා. සමස්තයක් ලෙස යමකුට දෙවැන්නකුට තරමට බටහිර දැනුම නැත්නම් පළමු තැනැත්තා දෙවැන්නා නොදන්නා යම් දෙයක් අහුලාගෙන තමන් දෙවැන්නාට වඩා දන්නවා කීමටත් දෙවැන්නා දන්නා දෙයක් නැති බවත් දන්නේ තමන් පමණක් බවත් කීමට පුරුදු වී සිටිනවා.

 

මාක්ස්වාදීන් මෙහි අන්තයකට ගිය පුද්ගලයන්. ඔවුන් බොහෝ විට කියා හිටියේ සමාජය ගැන දන්නේ තමන් පමණක් බවත් තමන්ට දැනුම ඊනියා විද්‍යාත්මක මාක්ස්වාදයෙන් ඓතිහාසික භෞතිකවාදයෙන් අපෝහකයෙන් (දයලෙක්තිකයෙන්) ලැබෙන බවත්. එහෙත් ඔවුන්ගේ දැනුම වැඩ නොකරන බව පෙනී යන්නට වුවමනා තරම් සාධක අවුරුදු සියයකට අධික කාලයක් තිස්සේ ඇතත් තවමත් කසිකබල් මාක්ස්වාදයේ එල්ලී සිටීමට බටහිර ඇතැමුන් කරන ඊනියා සංශෝධන වමාරමින් මෙරට පඬි නැට්ටන් සිහින ලෝකයක ජීවත් වෙනවා. සියළු දැනුම් වැඩ කරන බොරු පමණයි. වැඩ නොකරන මාක්ස්වාදය කියන්නෙ මිථ්‍යාවක් ලෙසයි මා සලකන්නෙ.

 

සියළු දැනුම් බොරුය කියන එකත් දැනුමක් ලෙස  බොරුවක්. එය ප්‍රශ්නයක් නොවෙයි. දැනුමත් වැඩ කරන  බොරුවක්. මා මෙහි බොරු කියන්නෙ අවිිද්‍යාව නිසා ඇති කෙරෙන සංයුක්ත කතාවලට. පට්ටපල් බොරුය කියන්නෙ වියුක්ත කතාවලට. සියල්ල මායාවන්. අවුරුදු ගණනක් තිස්සේ බව කියන නමුත් බොහෝ දෙනා තේරුම් ගන්නේ නැහැ. අප බොහෝ වෙලාවට බටහිර දැනුම කියන එක පිළිගන්නේ එය වැඩ කරන්නෙ නැති බව සලකන්නෙ නැතුව. නැත්නම් මාක්ස්වාදය සංශෝධනය කර හරි නොකර හරි පිළිගන්නෙ කොහොමද?

 

බටහිර දැනුමෙත් ඉහළින් ඇත්තෙ බටහිර විද්‍යාව. බටහිර භෞතික විද්‍යාව දැන් ඉතාමත් වියුක්ත බවට පත්වෙලා තියෙනවා. දැන් ගණිතයක් බවට වේගයෙන් පත්වෙමින් තියෙනවා. අංශුවක් කියන්නෙ තව දුරටත් අර ඉතා කුඩා දොඹ ගෙඩියක් නො වෙයි. එය යම් ක්‍ෂෙත්‍රයක ඇතිවන උත්තේජනයක් පමණයි. මෙරට භෞතික විද්‍යා විශේෂ උපාධි ලබාගත් අයටත් එය දිරවා ගන්න අමාරුයි. අපේ සංස්කෘතියේ වියුක්ත කතා නැති නිසා. අපට වියුක්ත හිතන එක අමාරුයි. මටත් අමාරුයි.

 

වුණත් අප බටහිර භෞතික විද්‍යාව හා ගණිතය ඉහළින් සලකනවා. නිසා අපට හීනමානයක් ඇති වෙනවා. මා කියනනේ මෙරට භෞතික විද්‍යාව ඉගෙනීමට ලොකු උනන්දුවක් තිබෙන බවක් නො වෙයි. මෙරට උනන්දුව ඇත්තේ බටහිර වෙදමහත්තුරු වෙන්න ඉංජිනේරුවන් වෙන්න දැන් දැන් තොරතුරු තාක්‍ෂණවේදීන් වෙන්න ආදී වශයෙන්. ඒත් අප නිවුටන්ට හා අයින්ස්ටයිනට සලකනවා. ඔවුන් ඉහළින් පිළිගන්නවා.

 

බටහිර රසායන විිද්‍යාව භෞතික විිද්‍යාව තරම් වියුක්ත නැහැ. ජීව විිද්‍යාව තවත් වියුක්ත බවින් අඩුයි. සමාජයීය විද්‍යාවන්හි වියුක්ත බවක් ඇත්තේ නැහැ. මෙරට බටහිර අධ්‍යාපනය නිසා හටගන්නා දෙවැනි හීනමානය ඇතිවෙන්නෙ මෙහි දී. මෙරට සමාජයේත් බටහිර සමාජයේ මෙන් බටහිර වෙද මහතුන්ට ලොකු වැදගත්කමක් තියෙනවා. අමෙරිකා එක්සත් ජනපදවල නම් ශල්‍ය වෛද්‍යවරුන්ට තමයි වැඩි වැදගත්කමක් හා වැටුපක් ලැබෙන්නෙ. කොහොම වෙතත් බටහිර අධ්‍යාපනය නිසා ඇතිවෙන ධුරාවලියක් රටේ තියෙනවා. එය තවත් කුල ක්‍රමයක්. සාමාන්‍ය කුල ක්‍රමයේත් ධුරාවලියක් තියෙනවා. නිසා ඇති වෙන කුල හීනමානය ගැන අප කලින් කියා ඇති.

 

අධ්‍යාපනය නිසා ඇති වෙන කුල ක්‍රම හතරක් තියෙනවා. එකක් ඉංගිරිසි දැනුම පිළිබඳ . ඉංගිරිසි කතා කිරීමේ හැකියාව මත. එය අපට පමණක් නොව දෙමවුපියන්ටත් බලපානවා. පියාට ඉංගිරිසි බැරි නම් ඒකත් තමන් ප්‍රශ්නයක් කරගන්නවා.  තව එකක් රැකියාව සම්බන්ධයෙන්. එහි ධුරාවලියක් තියෙනවා. තුන්වැන්න විෂය දැනුම සම්බන්ධව. විද්‍යා අධ්‍යාපනයක් ලැබීම උසස් දෙයක් ලෙස සැලකෙනවා. විද්‍යාව බැරි කම හීනමානයට තුඩු දෙනවා. හතරවැන්න පාසල් කුල ක්‍රමය. අප හරි පාසලට යන්න ඕන. නැත්නම් තවත් හීනමානයක්. පාසල්වලත් ධුරාවලියක් තියෙනවා. මේ සියළු පාසල් එංගලන්තයේ පාසල් අඩු වැඩි වශයෙන් අනුකරණය කරනවා.

 

මේ කුල ක්‍රම හතර අතර සම්බන්ධයක් නැතුවා නො වෙයි. කුල ක්‍රම හතර එකිනෙකින් මුළුමනින් වෙන් වූ (පාරිභාෂික ශබ්දමාලා අනුව අන්‍යෙන්‍ය වශයෙන් බහිෂ්කාර) කුල ක්‍රම නො වෙයි. පාසලකට සිසුන් ඇතුළත් කිරීම, පහේ ශිෂ්‍යත්වය, සාමාන්‍ය පෙළ, විෂය ධාරා තෝරා ගැනීම, උසස් පෙළ, විශ්වවිිද්‍යාල ප්‍රචේශය, පීඨ තෝරා ගැනීම, පන්ති සාමාර්ථ ආදීයෙහි මේ කුල ක්‍රම ක්‍රියාත්මක වන ආකාරය දකින්න පුළුවන්.

 

1921 විශ්වවිද්‍යාල ආයතනය පටන් ගැනීමේ දී පෙරදිග අධ්‍යයන පීඨය එකල තර්ස්ටන් පාරේ පිහිටි රාජකීය විදුහලෙන් ලැබුණු හොඩනැගිලිවල නොව රැජන පාරේ පිහිටි නිවසක පවත්වාගෙන යෑම පීඨයේ ශිෂ්‍යයන් හරමානිස්ලා ලෙස හඳුන්වනු ලැබීම මේ ධුරාවලිය කුල ක්‍රමය පිළිබිඹූ කරන්නක් වුණා. අද වන විට හරමානිස් කතාව නැති වුවත් ධුරාවලිය තියෙනවා.