History

Wednesday, 15 March 2023

දුගී මගී රෝගී අයට කරදර කරන රනිල් හා වර්ජකයන්

 දුගී මගී රෝගී අයට කරදර කරන රනිල් හා වර්ජකයන් 


අප රටේ ක්‍රම වෙනසක් ඕන ය කියා ඇතැමුන් පරගලයක නිරත වුණා. එහෙත් එය ලොකු උද්ඝෝෂණයක් පමණයි. එය මෙහෙයවනු ලැබුයේ බටහිරින් හා ඉන්දියාවෙන්. ඔවුන් නම් මෙරට ක්‍රම වෙනසක් ඇති කරමින් සිටිනවා. අප එක් පැත්තකින් ඉන්දියාවෙනුත් අනෙක් පැත්තෙන් බටහිරිනුත් පාලනය කෙරෙනවා. අද වන විට අපේ ආර්ථිකය මුළුමනින් ම මෙන් බටහිරින් හා ඉන්දියාවෙන් හැසිරවෙනවා. 


වැඩි කල් යන්න කලින් ජා මූලෙන් පාලනය කෙරෙන මහා බැංකුවක්  මෙරට ඇති වේවි. එවිට ජනතා පරමාධිපත්‍යයෙන් විශාල කොටසක් ජා මූලෙට අලුතෙන් ලියල දෙනවා. මහා බැංකුව මෙරට ඡන්දයෙන් පත් වෙන කිසිම ආයතනයකට වග කියන්න ඕනෙ නැහැ. මෙරට අධිකරණය වුණත් පාර්ලිමේන්තුවෙන් පත් කෙරෙන ආයතනවලින් සමන්විත වෙනවා. අධිකරණ බලතල රටෙන් පිටට යන්නෙ නැහැ.


කලක් අධිකරණ බලතල රටෙන් පිට තිබුණා. අප 1948 දී නිදහස ලබා ගත්තත් 1972 වන තුරු අපේ රජු හරි රැජන හරි වුණේ එංගලන්තයේ රජු හරි රැජන හරි. අධිකරණයේ සුපිරි බලය තිබුණෙ එංගලන්තයෙ සාමි මන්ත්‍රණ සභාවෙ ප්‍රිවි කවුන්සිලය නමින් හැඳින්වුණු ආයතනයට. 1962 දී බණ්ඩාරනායක මැතිණියගේ ආණ්ඩුවට විරුද්ධ ව කුමන්ත්‍රණය කළ බහුතරය කතෝලික වූ හමුදා නිලධාරීන් හා පොලිස් නිලධාරීන් අවසානයේ දී නිදහස ලබා ගත්තේ ඒ සාමි මන්ත්‍රණ අධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කිරීමෙන්. 1972 ප්‍රථම ජනරජ ව්‍යවස්ථාවෙන් පස්සෙ තමයි ඒ බලය ඔවුන්ට නැති වුණෙ. මහා බෑංකුව ජා මූලෙට යටත් කරල ඉන්දියාවෙ රුපියල භාවිතයට අරන් නීති විිද්‍යාලයෙ කටයුතු ඉංගිරිසියෙන් කරල අර දුගී මගී මිනිසුන්ට ඔවුන් ගොඩ ඒම යනුවෙන් හඳුන්වන්න නැති කරාට පස්සෙ මොනව කරනවා ද කියන එක ප්‍රශ්නයක්.


මා හිතන්නෙ පනස්හයෙන් පටන් ගත්ත ක්‍රියාවලියක් අවසන් වේගන යනවා කියලා. කාට හරි කියන්න පුළුවන් 1920 විතර පටන් ගත්ත ක්‍රියාවලියක් සියවසක් ඇවෑමෙන් ඉවර වෙන්න යනවා කියලා. සේනානායකලාගේ දේශපාලනය ගුණසිංහගෙ වෘත්තීය සමිති ව්‍යාපාරය පහුගිය සියවසේ විස්සේ දශකයේ පටන් ගත් දේ. රනිල්ගෙ දේශපාලනය එයින් වෙනස්. ඔහු ව්‍යවස්ථාව කරකවනවා. එහෙත් වෘත්තීය සමිති ව්‍යාපාරය තවමත් ගුණසිංහ ක්‍රමයේ ඉන්නෙ.


ගුණසිංහගෙන් පස්සෙ සමසමාජ ව්‍යාපාරය කලින් ක්‍රමයෙන් වෙනස් වුණෙ මාක්ස්වාදී සළු පිළි ඇන්දවීමෙන් පමණයි. උද්ඝෝෂණ රැලි වැඩ වර්ජන දිගට ම පැවතුණා. ඒ සියල්ලත් සේනානායක දේශපාලනය වගේ ම එංගලන්තයෙන් ලැබුණු දේ. හයිඩ් පිටිය මෙරට වෘත්තීය සමිති ව්‍යාපාරයේ පිටිය බවට පත් වීමත් අහම්බයක් නො වෙයි. අප කර ඇත්තේ හැම අතින් ම එංගලන්තය අනුකරණය කිරීම පමණයි. පාසල් හා විශ්වවිිද්‍යාලත් එහෙමයි. ඒත් ඒ හැම තැනක ම අනුකරණය කෙළෙ බාගෙටවත් නො වෙයි. හැම තැන ම තිබුණෙ ඉතා දුර්වල අනුකරණ. 


රනිල්ගෙ බදුවලට විරුද්ධ ව වෘත්තීය සමිති අරගලයක් දියත් කරලා. ඒ අර පරණ ක්‍රමයට ම. ක්‍රම වෙනසක් වෙලා නැහැ. ක්‍රම වෙනස රනිල්ගෙන් පමණයි. පුදුම වෙන්න දේකුත් නැහැ. පරගලයෙන් ඉල්ලුවෙ ක්‍රම වෙනසක්. ඒක රනිල් වෙනුවෙන් පරගලය මෙහෙයවූවන් කළ ඉල්ලීමක්. පරගලයට සහභාගි වූ මෙරට අය ක්‍රම වෙනසක් ඉල්ලුවෙ ක්‍රමය මොකක් ද වෙනස මොකක් ද කියල දැන ගෙන නො වෙයි.


ඒත් මේ වෘත්තීය සමිති අරගලයෙන් බලාපොරොත්තු වෙන්නෙ මොකක් ද? මා හිතනවා වෘත්තීය සමිති අරගලය වැඩිපුර ම  බදු නොගෙවන්නන් විසින්  බදු ගෙවන්නන් වෙනුවෙන් කරන එකක් කියලා. කොහොමටත් ජ වි පෙ අඛණ්ඩ අරගලවලට නැහැ. නිකම් ඇවිත් යාවි. නම ලකුණු කරන්න වගේ. අර ලක්‍ෂයකට අඩුවෙන් පොලියක් ලබන විශ්‍රාමිකයන්ගෙ  ස්ථාවර තැන්පතුවලිනුත් බැංකු සියයට පහක බද්දක් අය කරනවා. ඔවුන්ට වෘත්තීය සමිතියක් තියෙන්න බැහැ. ඔවුන් වෘත්තියෙන් විශ්‍රාම අරගෙන. නිර්වෘත්තීය සමිතියක්වත් හදා ගත්තොත් නරක ද? 


ඒ මොකක් වුණත් රනිල් හා වෘත්තීය සමිති දැනට එකතු වෙලා දුගී මගී රෝගී අයට කරදර කරනවා. මා දන්නෙ නැහැ ඔවුන් නිර්ධන පංතියේ ද කියල. ඒක මාක්ස්ගෙන් අහන්න ඕන.  ඒත් රෝහල්වලට එන රෝහීන් විශාල පිරිසකට හිරිහැරයක් සිදු වෙනවා. මධ්‍යම පංතිය කියන්නෙවත් නිර්ධන පංතිය කියන්නෙවත් නිර්ප්‍රභූ පංතිය කියන්නෙවත් මාක්ස්ගෙ පංති නො වෙයි. රනිල් හා මධ්‍යම පංතිය එකතු වෙලා දුගී මගී රෝගී පිරිසට කරදර කරන බවයි පේන්න තියෙන්නෙ.  


රනිල් ක්‍රමය වෙනස් කරලා. වෘත්තීය සමිති ක්‍රමය වෙනස් කරලා නැහැ. අවුරුදු සියයක පමණ වෘත්තීය සමිති අරගලවලින් යම් යම් දේ දිනාගෙන ඇති. ජූලි වැඩ වර්ජනයෙන් පස්සෙ වෘත්තීය සමිති අරගලකරුවන් ජේ ආර්ගෙන් ගෙදර යෑමේ නිිදහස  දිනා ගත්තා. රනිල්ගෙන් දිනා ගන්නේ මොනවා ද?