History

Thursday, 27 April 2023

නිවුටන් හා කුණු ඇපල්

 

නිවුටන් හා කුණු ඇපල්

 

මෙරට වමාලා දකුණලා පඬි නැට්ටන් ආදී එකී මෙකී නොකී උගතුන් බුද්ධිමතුන් මාතෘකාව දුටු ගමන් ඔන්න නලින් සිල්වා විද්‍යාවට ගහන්න යනවා, විිද්‍යාඥයකු වීමට බැරි වීමේ ඇරියස් තියෙනවා, අපේ තරුණයන් විිද්‍යාවෙන් ඉවත් කර අප තව තවත් දුප්පත් රටක් කරන්න යනවා වැනි පඬි වදන් මුදා හරින බව මා දන්නවා. ඒත් මට අවශ්‍ය වුණත් ඔය ඉලන්දාරීන් බටහිර විද්‍යාවෙන් ඉවත් කරන්න බැහැ. ඔවුන් දැනටමත් මා මිථ්‍යා මතධාරියකු, මැන්ටලයක්, රාජපක්‍ෂලාට තවමත් කඩේ යන අයකු, වැඩ බැරි අයකු, ලෙස ප්‍රතික්‍ෂෙප කරලා. මේ ලිපි ප්‍රතිචාරවලට විවෘත කළොත් ඔවුන් තම කුණුහරුප කලාව වැඩි දියුණු කර ගන්නවා. පොදුවේ ගත්කල දේශපාලනඥයන්වත් මහජනයාවත් තබා ජාතිකවාදීන්වත් මා විශ්වාස කරන්නේ නැහැ. ඔවුනුත් මා ප්‍රතික්‍ෂෙප කරනවා. මා මියන්මාහි තානාපති ලෙස කටයුතු කරන කාලයේ හාමුදුරුවරුන් ජනාධිපති ගෝඨාභයට උපදෙස් දුන්නේ එහි තානාපති ලෙස හොඳ බෞද්ධයකු පත් කර යවන ලෙස.

 

නිවුටන් උපන්නේ ජුලියානු දින දර්ශනය අනුව 1642 දෙසැම්බර් 25. එහෙත් ග්‍රෙගරියානු දින දර්ශනය අනුව 1643 ජනවාරියේ. 1655 දී එංගලන්තයේ දරුණු වසංගතයක් පැතිර ගියා. කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලය වසා දැම්මා. නිවුටන් ගෙදර ගියා. නිවුටන්ලට ලොකු ඇපල් වත්තක් තිබුණා. නිවුටන් පස්සෙන්දා උදේ නැගිටලා ලොකු මල්ලක්, බෑග් එකක් කියමු, අරන් ඇපල් ඇහිඳින්න ගියා. ගෙදර  ඇවිත් නිවුටන් ඇපල් ගණන් කළා.

 

නිවුටන්ට වැඩක් නැති නිසා ඔහු ඇපල් වර්ග කළා. කුණු ඇපල්, ඉදුණු ඇපල්, පැහුණු ඇපල්, ගැට ඇපල් ආදී වශයෙන්. ඉන්පසු ඇපල් ප්‍රමාණය අනුවත් වර්ග කළා. වර්ග කිරීම් දෙකේ එකතුව එක බවත් තේරුම් ගත්තා. නිවුටන්ට අප්‍රමාණ සතුටක් ඇති වුණා. ගැන පත්‍රිකාවක් ලිවුවා. පස්සෙ ප්‍රසිද්ධ කරන්න.

 

ඔහු ඉන්පසු පර්යේෂණ ගැටළුවක් හදා ගත්තා. ඇපල් වැටීම ගවේෂණය කිරීම. සඳහා පර්යෙෂණ විධික්‍රමයක් සකස් කර ගත්තා. ඉන්පසු අහල පහල අයගෙන් ගවේෂණයට අදාල වෙනත් තොරතුරු මූලාශ ලබා ගත්තා. පුස්තකාල වසා තිබීම තරමක ගැටළුවක් වුණා. බයිබලයෙ හා තවත් ගෙදර තිබුණු පොත්වල ඇපල් වැටීම ගැන ලියා ඇති දේ කියව ගත්තා. නිවුටන් ඉතා හොඳ කිතුණුවෙක්. ඔහුට අවශ්‍ය වුණෙ දෙවියන් වහන්සේ ඇපල් වට්ටන්නෙ මොන පිළිවෙළට කියා දැන ගන්න. ඔය යථාර්ථය දැන ගන්නවා කියන්නෙ දෙවියන් වහන්සේගේ මනස දැන ගැනීම.

 

නිවුටන් සැලැස්මක් හදා ගත්තා. සටහන් තබා ගන්න තීරු පේළි සහිත පොතක් සකස් කර ගත්තා. දිනයෙ  උදේ 7හා 8 අතර වැටෙන ඇපල් ප්‍රමාණය, 8 හා 9 අතර වැටෙන ඇපල් ප්‍රමාණය ආදී වශයෙන් සවස 7 හා 8 අතර වැටෙන ඇපල් ප්‍රමාණය දක්වන. ගිම්හානයේ රාත්‍රි වන තුරු ඉර පායා තියෙන බැවින් ටිකක් හවස් වෙන කම් ඇපල් අහුලන්න පුළුවන්. ලංකාවෙ ප්‍රශ්නය සවස හය වෙන විට කරුවල වීම හා ඇපල් නැති වීම. ඊට පස්සෙ තව තීරුවක් දා ගත්තා සවස 8 සිට උදේ 7 දක්වා වැටෙන ඇපල් ප්‍රමාණය දක්වන්න.

 

ඊට පස්සෙ පේලි වෙන් කරා. කුණු ඇපල්, ඉදුණු ඇපල්, පැහුණු ඇපල්, ගැට ඇපල් ආදී වශයෙන්. දැන් කාට හරි අවශ්‍ය නම් අහවල් දවසෙ සවස 2 සිට 3 දක්වා කුණු ඇපල් කොච්චර වැටිල ද එහෙමත් නැත්තන් කුණු ඇපල් වැඩියෙන් ම වැටෙන්නෙ ඉරිදා දවස්වල ද කියල දැන ගන්න නිවුටන්ට අර කියන්න වගේ ටක්කෙට කියන්න පුළුවන් වුණා. නිවුටන් පේලි අතට තීරු අතට එකතු කරලා අන්තිම එකතු සමාන බවත් දැන ගත්තා. නිවුටන් පස් වණක් ප්‍රීතියට පත් වුණා.   පත්‍රිකා පිට පත්‍රිකා ලිවුවා. විශ්වවිද්‍යාලය ඇරපු ගමන් මහාචාර්ය පදවියක් ලැබෙන බව නිවුටන් දැන ගත්තා. ජ්‍යෙෂ්ඨ මහාචාර්ය තනතුරක් වුණත් ලැබෙන්න පුළුවන්කම තිබුණා.

 

ඒත් නිවුටන්ට ඇපල් වැටෙන්නෙ මොකද එහෙමත් නැත්නම් කොහොම කියන එකට උත්තරයක් නැහැ. උත්තරයක් තියා ප්‍රශ්නයක්වත් තිබුණෙ නැහැ. ප්‍රශ්නෙ ඇහුවෙත් නැහැ. ප්‍රශ්න අහන්නෙ නැතුව උත්තර හම්බ වෙන්නෙ නැහැ. ප්‍රශ්න පත්තර සකස් කරන්න නම් පුළුවන්. ඒත් ප්‍රශ්න වැදගත් ප්‍රශ්න නො වෙයි. ප්‍රශ්නවල අහන්නෙ කවුරු හරි කලින් දීල තියෙන උත්තර මොනව කියල. එහෙනම් ඉතින් උත්තර පත්තර බලනව හැරෙන්නෙ වෙන මොනව කරන්න ?

 

අපි ප්‍රශ්න අහන්නත් ප්‍රශ්නවලට උත්තර කල්පනා කරන්නත් පුරුදු වෙමු. හැබැයි ප්‍රශ්න ඇහිල්ලත් උත්තර හිතීමත් කරන්න වෙන්නෙ සංස්කෘතියක. අපට ඇපල් නැහැ.