History

Thursday, 6 April 2023

සිවගිරියෙන් සීගිරියට

සිවගිරියෙන් ඉසිගිරියට

 

අප සීගිරිය ගැන කින්නේ මහාවංසයේ ඇති කරුණු නැවතත් කීමට නො වෙයි. ඒක අකුරු දන්නා අයකුට මහාවංසය කියවලා කරන්න පුළුවන් දෙයක්. මෙරට අධ්‍යාපන ක්‍රමයෙන් බිහි කෙරෙන්නේ එවැනි අයයි. බටහිරයන් අපට පුරුදු කරල ගියෙත් ඊනියා මූලාශ්‍ර කියන්න. හැබැයි ඔවුන් කිහිප දෙනකු හරි අලුත් මතත් කියනවා. අයින්ස්ටයින්ගෙ විශේෂ සාපේෂතාවාදය පිළිබඳ පත්‍රිකාවෙ මූලාශ්‍ර කීයක් තිබුණ ? අයින්ස්ටයින් - ඩි සිටර් නමින් හැඳින්වෙන විශ්වය ගැන දෙදෙනා ලියපු පත්‍රිකාවෙ ඇත්තෙ එක් මුලාශ්‍රයයි. අයින්ස්ටයින් කොහොම වෙතත් බුදුහාමුදුරුවො සුතමය පඤ්ඤා චින්තාමය පඤ්ඤා භාවනාමය පඤ්ඤා කියල ක්‍රම තුනක් දේශනා කරල තිැයනවා. එක්ක කාලාම සූත්‍රයෙ දේශනා කරල තියෙනවා ඈසු පමණින් තර්කානුකූල වූ පමණින් ආදී වශයෙන් පිළිගන්නත් එපා කියලා. පඬිනැට්ටන් නම් භාවනාමය පඤ්ඤා කියන එක පිළිගන්න එකක් නැහැ. ඔවුන් දන්නෙ කියවු පමණින් පිළිගන්න කියන එක.

 

ඒත් ඔවුන් සමහරු බටහිර ක්‍රිස්තියානි ඇසකින් බලා මහාවංසය ප්‍රතික්‍ෂෙප කරනවා. මා කරන්නෙ මහාවංසය (චුලවංසය) නොකියන තැන් විමසීමත් පරස්පර මතු කිරීමත් පමණයි. මා මහාවංසය ප්‍රතික්‍ෂෙප කරන්නෙ නැහැ. මට අවශ්‍ය පරස්පර අවමයක් වූ හැකිතාක් සංගත කතාවක් ගොඩනගා ගැනීමට. මා වැඩිය යොදා ගන්නෙ චින්තාමය පඤ්ඤා ක්‍රමය. එහෙත් එය එක ක්‍රමයත් නො වෙයි. නිරීක්‍ෂණ කියන ඒවා ප්‍රවාද මත යැපුණත් මා නිරීක්‍ෂණ සැලකිල්ලට ගන්නවා. මහාවංසය අනුව ගියොත් අපට සිද්ධ වෙන්නෙ සීගිරිය ඉබේ පහළ  වූ  තැනක් ලෙස සලකන්න.

 

සීගිරිය කියන නම ලැබුණෙ කොහොම ? සීගිරි ගීවල සිහිගිරි කියා යෙදෙනවා. සුජිත් අක්කරවත්ත සීවගිරි කියනවා. සිංහගිරිය සීගිරිය හරි සිහිගිරිය වුණා කියා නම් හිතන්න බැහැ.  ඉසිගිරිය සීගිරිය වූණා කියා හිතන්න පුළුවන්. ඉසිගිරිය කියන්නෙ ඉසිවරුන්ගෙ ගිරිය වෙන්න පුළුවන්. ඉසින් බැස්ස ගල, ඉසුරුමුණිය ආදිය සමග ගැලපෙනවා. අප කියනවා ඉහෙන් බහින ලෙඩක් නැහැ කියා. මේ හිසෙන් පහළට බහින ලෙඩක් වෙන්න බැහැ. මට නම් හිතෙන්නෙ ඉසින් බහින ලෙඩ ඉහින් බහින ලෙඩ වී ඉහෙන් බහින ලෙඩ වුණා කියලා. එවිට මෙතන ඉසින් බහිනව කියන්නෙ කවුරු බහිනවාට ද? ඉසිවරුන් වෙන්න ඕන. ඉසිවරුන් බහින්න තරම් ලෙඩක් නැහැ කියන එක තමයි කියන්නෙ. ඉසිවරුන් කියන්නෙ අද කියන විධියට විශේෂඥ වෛද්‍යවරුන් හරි විශේෂ දක්‍ෂතා තියෙන අය වෙන්න ඕන. අද කියන්නෙ විශේෂඥ වෛද්‍යවරයකුට පෙන්නන්න තරම් ලෙඩක් නැහැ කියලා. ඇතැමකුට හිතෙන්න පුළුවන් ඉසිවරුන් කියන්නෙ  සෘෂිවරුන්ට කියලා. ඒ් කොහොම වෙතත් ඔවුන් යමක් දුටු අය. භාවනාමය පඤ්ඤාවෙන් දුටු අය ?

 

මා දන්නේ නැහැ. මට අවාසනාවකට හැකියාව නැහැ. එහෙත් එවැනි හැකියා තියෙන අය ලංකාවෙ ඉන්නවා. කවුරුවත් සීගිරි යන්න එයි කියා මා හිතන්නෙ නැහැ. කොහොම වුණත් ඉසිගිරිය සීගිරිය වුණා කියන එක හොයා බලන්න වටිනවා. ඉසිගිරිය වෙස්සගිරිය ඉසුරුමුණිය එක ලතාවක නම්. යක්‍ෂ ජනයා සමගයි සම්බන්ධය. ඉසුරුමුනිය සමීපයෙ තියෙන රන්මසු උයනත් නාන තටාක එහෙම තිබුණු උද්‍යානයක්. එහි තාරකා දොරටුවක් තියෙනවා. මිසරයේත් පේරු රටේත් එවැනි දොරටු තියෙනවා. කාශ්‍යප රජු හැරෙන්න වෙනත් රජකු සීගිරි ගිහින් නැහැ. එහෙම යන්නත් බැහැ. සීගිරි යන්න යක්‍ෂ උරුමයක් තියෙන්න ඕන. උරුමය කාශ්‍යප රජුට එන්නෙ අර භින්න මාතෘගෙන්. දෙමළ බිසොවුන් ගැනත් කියන මහාවංසය කාශ්‍යප මවට භින්න කියා නවතිනවා. මේ භින්න යක්‍ෂ නොවෙයි නම් වෙන කවුද?

 

කාශ්‍යප රජු බෞද්ධයෙක්. වෙස්සගිරියට ඉසුරුමුණියට ආධාර කළ බෞද්ධයෙක්. ලම්බකර්ණයන් ඔහුට පක්‍ෂපාත වුණා. අබෞද්ධ නිඝන්ඨයන් ඔහුට විරුද්ධ මුගලන්ට තොරතුරු සැපයුවා. මා හිතන්නේ නම් සීගිරි බිතු සිතුවම්වල රජුගෙ දියණියන් වූ රන්වන් පැහැති බෝධි කුමරිය හා නිල්වන් පැහැති උප්පලවන්නා කුමරිය ඔවුන්ගේ සේවිකාවන් සමග පන්සල් යෑම සනිටුහන් වෙනවා කියලා. සීගිරි ළඳුන් අප්සරාවන් කියන්නෙත් තවත් මතයක් පමණයි. බිතු සිතුවම්වල රූප  අහසෙ තියෙනව වගේ පේනවා. අර සිගිරි ගීවල කියැවෙන සිංහ රුපයත් බිතු සිතුවමක් පමණයි. අද එය නැහැ.

 

අපේ ඉතිහාසයේ පීතෘ ඝාතක රාජසිංහ රජු ගැනත් කියැවෙනවා. සීතාවක පැත්තෙ ජනයා කතාව පිළිගන්නෙ නැහැ. මා දන්නා තරමින් පෘතුගීසින් එතුමා පිතෘ ඝාතකයකු ලෙස නම් කරන්නෙ නැහැ. පෘතුගීසින් තම පරම සතුරා වූ රාජසිංහ රජු පීතෘ ඝාතකයකු  වී නම් එසේ නොකියා සිටීවි ?

 

කාශ්‍යප රජු නොවෙයි රකුස් වුණෙ මුගලන්. මෙහි රකුස් කියන වචනය යෙදීම වැදගත්. රකුසන් තරමක් සැර පරුස මිනිසුන් වෙන්න ඇති. අදත් සමහර කුලවල අය ටිකක් සැර පරුස ලෙස සැලකෙනවා. රකුස් ගති ගුණයක් තිබුණු මුගලන් රකුසකු ලෙස හැඳින් වී තියෙනවා. යක්‍ෂ රාක්‍ෂස ජනයා, අවශ්‍ය නම් කුලවල ජනයා, ටිකක් සැර පරුස වෙන්න ඇති. මුගලන් අවුරුදු දහඅටක් දඹදිව ඉඳලා අත් දෙක වන වනා ආවා කියා හිතන්න බැහැ. ඔහු සමග හමුදාවක් පැමිණියා ? ඔවුන් මුගලන්ගෙ බලයෙන් මොනව කරන්න ඇද්ද? ඉන්දීය සාම සාධක හමුදාව ගැන මතක් කර ගන්න. 

 

අදත් ඉන්දියවේ යක්‍ෂ රාක්‍ෂස නාග ජනයා ඉන්නවා. මෙරට හිටි අය සිංහල වෙලා. විජය කියන්නෙ සිංහයෙක්, සිංහ වාංශිකයෙක්. විජය ඇවිත් ලංකාවෙ රජ වුණෙ නැහැ. මන්නාරම අවට ප්‍රදේශයක ප්‍රාදේශීය රජකු බවයි කියන්න පුළුවන්. අප සිංහල වුණෙ සිවුහෙළ කතාවකින් නොවෙයි. සිංහ වාංශිකයන් නිසාත් ඔවුන් සංස්කෘතික මෙරට බලයක් ගොනු කර ගැනීමට සමත් වූ නිසාත්. විජය හැරෙන්න තවත් සිංහලයන් ගැන කියැවෙනවා. අජන්තා බිතු සිතුවම්වල ලංකාවට පැමිණි සිංහලයකු සිතුවම් කර තියෙනවා. පරණවිතාන මහතා පුණ්ඩ්‍ර දේශයෙන් පැමිණි සිංහලගේ පුතා මුටසිව ගැන කියනවා. සිංහල ග්‍රීක කුමරියක් විවාහ කරගෙන ඉඳලා තියෙන්නෙ. කියන්නෙ මුටසීවගේ අම්මා ග්‍රීක.  පණ්ඩුකාභයට පුණ්ඩ්‍ර දේශය සමග සම්බන්ධයක් තිබුණ ? ඔහු පුණ්ඩ්‍රක අභය ? පණ්ඩුකාභය රජු අනුරාධපුරයේ යවනයන්ට (ග්‍රීකයන්ට) කොටසක් වෙන් කෙරුවා. අපි පසුව මේ ඉතිහාසය කතා කරමු.

 

මා ඉතිහාසය උගත්තෙ සාමාන්‍ය පෙළ පළමු වසරට පමණයි.  මා සංගත කතා ගොතන්න උත්සාහ කරන්නකු මිස ඉතිහාසඥයකු නො වෙයි. මා නිරීක්‍ෂණ චින්තාමය පඤ්ඤා ක්‍රමය තමයි වැඩිය අනුගමනය කරන්නෙ. මා දන්නවා මෙටාවෙ බුද්ධිමත් තරුණයන් මට පඤ්ඤාවක්වත් චින්තනයක්වත් නැති මහල්ලකු  කියා කියන බව.