History

Sunday, 26 November 2023

මගේ ලෝකයේ බුදුදහම හා දුක

 

මගේ ලෝකයේ බුදුදහම හා දුක

 

නිවන කියන්නේ යළි ඉපදීම නතර කිරීම යැයි කී විට ඇතැමුන් විරුද්ධ වෙනවා. එක් භික්‍ෂුන් වහන්සේ නමක් සඳහන් කර තිබුණා නිවන යනු දුක නැති කිරීම යැයි තමන් වහන්සේ යෝජනා කරන බව. එය උන්වහන්සේ තමන් වහන්සේම කරන යෝජනාවක් නොව චතුරාර්ය සත්‍යයේ සඳහන් දේ යැයි මා හිතනවා. අපට චතුරාර්ය සත්‍යයේ කියා දෙනවා දුක දුකට හේතුව දුක නැති කිරීම (නිවන) නිවනට මග.

 

මා භික්‍ෂූන් වහන්සේ තරම් බුදුදහම දන්නේ නැති බවට සැකයක් නැහැ. මා කියවා ඇත්තේ සූත්‍ර කිහිපයක් පමණයි. උන්වහන්සේ මට වඩා සූත්‍ර කියවා ඇති. උන්වහන්සේ ප්‍රකාශ කරන්නේ නිවන යනු දුක නැති කිරීම බවත් එසේ කිරීමේ දී යළි ඉපදීම නැති වන බවත්. එහෙත් මගේ තර්කය වන්නේ දුක නැති කරන්නේ අහවල් දේකට යන්නයි. එමෙන් දුක කියන්නේ කුමක් යන්න.

 

චතුරාර්ය සත්‍ය බුදුන් වහන්සේ වදාළ දේශනයක් ලෙසයි අපට උගන්වන්නේ. එහෙත් ඇතැමුන් එසේ යැයි විශ්වාස කරන්නේ නැහැ. අය බටහිර පඬිවරු. මට බුදුදහම බටහිරට වුවමනා අන්දමට අර්ථවිවරණය කරන්න අවශ්‍ය නැහැ. එහෙත් මෙහි සඳහන් දුක අනිච්ච දුඃඛ අනත්ත යන්නෙහි දැක්වෙන දුක යන්න ගැන නම් ප්‍රශ්නයක් මතු වෙනවා.

 

අනිච්ච හා අනත්ත අතර ඇති දුඃඛ කුමක් ? එය අප සාමන්‍යයෙන් අදහස් කරන දුක (සැප යන්නෙහි විරුද්ධාර්ථය ලෙස) නම් වෙන්න බැහැ. අනිච්ච අනත්ත යන්නෙන් අප සාමාන්‍ය ව්‍යවහාරයේ දී කියන නිත්‍ය බව හා ආත්මය බැහැර කරනවා. එය මට තේරෙන විධියට අවබෝධයක්. මනසින් කෙරෙන අවබෝධයක්. එහෙත් අනිච්ච අනත්ත යන්න එසේ අවබෝධ කර ගන්නා දේ ලෙස මට හිතෙන්නෙ නැහැ. නිත්‍ය නොවන බව හා ආත්මයක් නැත යන්න අපට අවබෝධ කර ගන්න පුළුවන්. එහෙත් අපට ඉන් ඇති ඵලක් නැහැ. විභාග සමත්වීමට නම් අවබෝධය හොඳයි. කොහොමත් විභාග සමත්වන්නේ අවබෝධයෙන් මතක තබා ගැනීම ආදී වශයෙන්.

 

කෙසේ වුණත් අපි හිතමු අනිච්ච අනත්ත ඊනියා ලෝක ස්වභාවය කියා. මා එසේ හිතන්නේ නැහැ. ලෝක ස්වභාවය කියා කතාවක් නැහැ. මා දන්නවා ඇතැම් මහායානිකයන් ස්වභාවයක් ගැන කතා කරන බව. එහෙත් ස්වයක් (තම) නැති කල ස්වභාවයක් කොහෙන් ? අපි අනිච්ච අනත්ත ලෝක ස්වභාව ලෙස ගත්තත් දුක දෙක මැද්දට ගැලපෙන්නේ නැහැ. දුක යනු අප අත්විඳින දෙයක් නම් ඊනියා ලෝක ස්වභාවය වන්නේ නැහැ. මෙහි දුක යන්නත් ඊනියා ලෝක ස්වභාවයක් වෙන්න ඕන අනිච්ච හා අනත්ත සමග ගැලපෙන විධියට.

 

දුඃඛ යනු අයහපත් හිස් බව යනුවෙන් ඇතැමුන් සඳහන් කරනවා. යන්නෙහි තේරුම හිස් බව යන්නයි. තාරකා විද්‍යාව සිංහලෙන් ඉගෙන ගන්නා අය ඛගෝලය ගැන දන්නවා. කියන්නේ හිස් ගෝලයක් කියන එකයි. දුඃඛ යන්න අයහපත් හිස් බව කී විට එයත් ඊනියා ලෝක ස්වභාවයක් වෙනවා.

 

චතුරාර්ය සත්‍යයේ කියන දුක නම් අයහපත් හිස් බව වීමට ඇති ඉඩකඩ අඩුයි. අපි එය සාමාන්‍ය අර්ථයෙන් සැපෙහි විරුද්ධාර්ථය වූ  දුක ලෙස ගනිමු. එවිට දුකට හේතුව තණ්හාව බව කියනවා. දුක නැති කිරීම නිවන ලෙස කියැවෙනවා. දැන් මා ඇහුවොත් තණ්හාවට හේතුව කුමක් කියා එයට දෙන පිළිතුර කුමක් ? මට නම් එය අනිච්ච දුඃඛ අනත්ත අනවබෝධය. එය අවබෝධ කර ගත්තත් එතරම් වැඩක් නැති බව අවධාරණය කරන්න ඕන. අවබෝධ කර ගන්නේ මනසින් නිසයි මා එසේ කියන්නේ.

 

කෙසේ වෙතත් අප අනිච්ච දුඃඛ අනත්ත දන්නෙ නැති නිසා (මා යොදා ගන්නේ සම්මාබෝධය නැති නිසා) අප මේ ලෝකය පවතින බව හිතනවා. එසේ ඊනියා පැවැත්මක් ඇති දේට අප කැමති වෙනවා අකමැති වෙනවා. කැමති දේ ගැන තණ්හාවක් ඇති වෙනවා. අප එහි ඇලෙනවා. තණ්හාව නිසා අප සසර දික් කර ගන්නවා. අප තණ්හාව ඇති කර ගන්නේ ලෝකයක් පවතින බව හිතන  නිසා. ඊනියා ලෝකය අයහපත් හිස් බවක් යන්න සම්මාබෝධ නොවන නිසා. මා මෙසේ කියනවාට සමා වෙන්න. තණ්හාවට හේතුව අනිච්ච දුඃඛ අනත්ත සම්මාබෝධය නැති කම කියන්න පුළුවන්. එවිට තණ්හාවට හේතුව දුඃඛ නොදැනීම (සම්මාබෝධය නැති කම) කියන්නත් පුළුවන්.

 

පටිච්ච සමුප්පදායේ අවිජ්ජා .....ජාති ජරා මරණ චක්‍රයක් ගැන කියැවෙනවා. මේ ඉදින් එය ඇත්නම් මෙය ඇත කියන චක්‍රයක්. මේ චක්‍රය නැති කිරීමටයි අපට අවශ්‍ය. මා නම් අවිජ්ජා ලෙස සලකන්නේ අනිච්ච දුඃඛ අනත්ත සම්මාබෝධ නොකිරීම. අවසානයේ දී අපට අවශ්‍ය චක්‍රය කඩා සසර නැති කිරීම. නැත්නම් යළි ඉපදීම නැති කිරීම.

 

ආගම්වල සදාකාලික සැපක් ගැන කියනවා. ආත්මය ස්වර්ගයේ හරි පරමාත්මය (බ්‍රහ්මන්) එක්ක කරි සදාකාලික ඉඳීම. අද්වෛත වේදාන්තයේ  නම් බ්‍රහ්මන් සමග එකතු වීම කියන එක වැරදියි. බ්‍රහ්මන් හා තමන් දෙකක් (ද්වෛතයක්) බව හිතන එක නැති කිරීම කියා එහි දී කියන්න පුළුවන්. එකල පෘථග්ජන කිවුවේ බ්‍රහ්මන්ගෙන් වෙන්වීම කියන එකට. පෘථග්ජනයා කිවුවේ එසේ වෙන් වූ බව හිතන්නකුට. බුදුදහමේ පෘථග්ජන යන්නට වෙනත් අර්ථකථනයක් දී තියෙනවා. නිවන සම්මබෝධ කර නොගත් යන්න එහි දී කියැවෙනවා.

 

දෙතැනම කියැවෙන්නේ සසර කෙළවර කිරීමයි. වෛදිකයන් හා පසුව හින්දුන් සසර කෙළවර කරන්නේ බ්‍රහ්මන් සමග එකතු වී (කිනම් අර්ථයකින් වුවත්) මරණය නැති කර සදාකාලික ජීවත්වීමේ සැපත උදා කර ගැනීමෙන්. බෞද්ධයන් සසර කෙළවර කරන්නේ සදාකාලික සැපක් විඳීමෙන් නොව යළි ඉපදීම නැති කිරීමෙන්. ආත්මයක් ගැන කියන වෛදිකයන්ට සදාකාලික සැපක් විඳින ආත්මයක් ගැන කියන්න පුළුවන්. අනිච්ච දුඃඛ අනත්ත ගැන කියන බෞද්ධයන්ට සදාකාලික සැප විඳින්න ආත්මයක් නැහැ. වෛදිකයන් සදාකාලික සැප විඳින්න හදනවා. ඔවුන් මරණය පරාද කරන්න හදනවා. අප ඉපදීම පරාද කරන්න හදනවා. නිවන කියන්නෙ ඉපදීම පරාද කිරීම.

 

අප නිවන් සැප ගැන කිවුවත් ඉපදීම පරාජය කර විඳින සැපක් නැහැ. සැප විඳින්න ආත්මයක් නැහැ. නැති ආත්මය නැති ආත්මයක් බව සම්මාබෝධ කරගෙන. සාමාන්‍ය අර්ථයෙන් දුක නැති කිරීම යනු සැප විඳීමක් වුණත්  ඉපදීමක් නැති විට සැපක් දුකක් නැහැ.

 

මා මේ කියන දේට බොහෝ දෙනා විරුද්ධ වේවි. මා මහාවංසය අකුරක් නෑර පිළිගැනීමට සූදානම් නැති බව කී විට සුපිරි ජාතිකවාදීන් මට විරුද්ධ වුණා. විරුද්ධ වෙනවා. මට එය ප්‍රශ්නයක් නො වෙයි. අවශ්‍ය නම් මා ජාතිද්‍රෝහියකු සිංහල බෞද්ධ විරෝධියකු බව කියන්න. මා යළි ඉපදීමක් නැහැ කියන අයට පසුගිය දා කිවුවා හැකි නම් විඥානය (අවශ්‍ය නම් මනස) ශරීරයේ යම් කිසි අවයවයක් සමග බැඳී ඇති බව පෙන්වන්න කියා. එසේ පෙන්වන්න පුළුවන් නම් යළි ඉපදීම  ගැන නැවත හිතන්න ඕන.

 

මා දන්නා අවුරුදු හතක පමණ දරුවකු ඉංගිරිසි කතා කරනවා. ඔහුගේ දෙමවුපියන් නෑදෑයන් අසල්වාසීන් ඉංගිරිසි කතා කරන්නේ නැහැ. පුනබ්භවය පිළිබඳ සාක්‍ෂියක්. කාට හරි කියන්න පුළුවන් අවකාශයේ තිබෙන ඉංගිරිසි ඔහුගේ හිසට ඇතුල් වෙලා කියලා. මට ඔහුට තරම් හොඳට ඉංගිරිසි කතා කරන්න බැහැ. මගේ මනසට ඉංගිරිසි ඇතුල්වීමට මැළිකමක් දක්වනවා ඇති.

 

මා සුපිරි ජාතිකවාදීන්ට බුද්ධාගම්කාරයන්ට නිරාගාමිකයන්ට හා තවත් අයට කරදරයක් නම් මට කරන්න දෙයක් නැහැ.  අප කතා කරන්නේ ලියන්නේ සම්මුතියෙන් යෙදා ගන්නා වචනවලින්. තෙරුවන් සරණයි!