History

Monday, 27 November 2023

අවුකන පිළිම වහන්සේට සිවුරු පෙරවීම

 

අවුකන පිළිම වහන්සේට සිවුරු පෙරවීම

 

අවුකන බුදු පිළිම වහන්සේට සිවුරක් පොරවලා. බොහෝ දෙනා කියා තිබුණෙ සිවරක් අන්දලා කියලා. එතැන ප්‍රශ්නයක් තිබුණා. අපට හුඟක් දේ අමතක වෙනවා. අප උගතුන් බුද්ධිමතුන් වියතුන් වෙලා. මට වියත් මගත් මතක් වෙනවා. වියත් මගේ වියතුන් අද දකින්න නැහැ. කාලෙ ඔවුන් අප වියත්මගට ගත්තෙ නැහැ අප වියතුන් නොවන නිසා වෙන්න ඇති.  මාත් ගෝඨාභයට පක්‍ෂ හිටියෙ. නිසා වියත්මගට ගත්තෙ නැත්තෙ වියතකු නොවන නිසා වෙන්න ඕන. අද වෙන විට නම් වියත්මගේ අය නම් ගෝඨාභයගෙන් අයින් වෙලා. ඔවුන් වියතුන්.

 

අපට අපේ ශාසනික වචන අමතක වෙලා. සිවුරු පොරවනවා මිසක් අඳින්නෙ නැහැ. සමහරු වචනවලට හිනහවෙනවා. ඊයේ (26) මා ලිපිය අවසන් කෙළේ තෙරුවන් සරණයි කියලා. ඇතැම් පඬි නැට්ටන්ට විහිළුවක් වෙලා. ඔවුන්ට අනුව මා නූගතෙක්. මිථ්‍යා මතධාරියෙක්. ඔවුන් නම් ශාස්ත්‍රඥයන් විද්‍යාඥයන් දාර්ශනිකයන්.

 

අවුකන බුදු පිළිම වහන්සේට සිවුරු පොරවන්න ඇත්තෙ වියතුන් වෙන්න බැහැ. වියතුන් පිළිම වහන්සේට මල් පූජා කරන්නෙත් නැතුව ඇති. සිවුරු පොරවන්න ඇත්තෙ සමහර විට භක්තියෙන් වෙන්න ඇති. ශ්‍රද්ධාවෙන් වෙන්නත් පුළුවන්. සමහර විට බාරයක් ඔප්පු කළා වෙන්නත් පුළුවන්.  ඒත් කුමක් වුණත් ඒක පංචානන්තර්ය පාප කර්මයක් නො වෙයි.

 

අපේ සංස්කෘතියෙ අවුකන බුදු පිළිම වහන්සේ පූජනීයයි. පිළිම වහන්සේ එක් අතකින් කලා කෘතියක් ලෙස සැලකෙනවා. මා නම් පිළිම වහන්සේ පුරාවස්තුවක් ලෙස සලකන්නෙ නැහැ. අපේ අඛණ්ඩ (වෙනස් නොවන අර්ථයකින් නො වෙයි) සිංහල බෞද්ධ සංස්කෘතියෙ පුරාවස්තු නැහැ. මා දන්නවා සමහර පඬි නැට්ටන්ට අනුව සිංහල බෞද්ධ යන්න ධර්මපාලතුමාගෙන් පස්සෙ ඇති වුණු එකක්. තවත් පඬි නැට්ටන්ට අනුව ඩොයිලි (ඩා ඔයිලි) ඇති කළ එකක්.

 

මා දන්නෙ නැහැ සිංහල බෞද්ධ නම කවදා ඇති වුණු එකක් කියා. වචන කවදා කවුරු කියන්න පටන් ගත්තත් මෙරට සිංහල බෞද්ධ සංස්කෘතියක් අඩු තරමෙන් දේවානම්පිය තිස්ස රජුගෙ කාලයේ ඉඳන් තිබුණා. බොහෝ දෙනා හිතන්නෙ පොල් වැටෙන්නෙ ගුරුත්වකර්ෂණය නිසා කියලා. ගුරුත්වාකර්ෂණ  සංකල්පය ඇති වුණෙ නිවුටන්ගෙන් පස්සෙ. අය හිතනවා නිවුටන්ට කලින් ගුරුත්වාකර්ෂණය තිබුණෙ නැහැ කියලා.   

 

මේ සිවුරු පෙරවීම ගැන අප විවිධ පැතිවලින් හිතන්න ඕන. මියන්මා තායිලන්ත බෞද්ධ සංස්කෘතිවල එවැනි සිවුරු පෙරවීම් දකින්න පුළුවන්. සමහර විට කිසිවකු සංස්කෘතීන් අනුකරණය කළා වෙන්න පුළුවන්. ටික වේලාවකට පසු සිවුර ඉවත් කළා නම් හොඳයි. අද වන විට රුවන්වැලි සෑයෙත් වෙනත් චෛත්‍යවලත් බෞද්ධ කොඩිය එතීමේ සම්ප්‍රදායක් ඇති වෙලා. කලකට පෙර එවැන්නක් තිබුණේ නැහැ.

 

සෑයට වෙනස් කළ නොහැකි කිසිවක් පෞද්ගලික කරන එක නම් කිසිසේත් සුදුසු නැහැ.  එහෙත් විහාරාධිපතීන් වහන්සේ හා දායක සභාව එක් වී රජයේත් අනුමැතිය ඇති සුදු පිරියම් කිරීම වැනි කටයුතු කිරීම වරදක් නො වෙයි. මා හිතන්නේ අභයගිරි සෑය වහා හුණු පිරියම් කළ යුතු කියා. එසේ නොකරන්නේ බටහිර පුරාවිද්‍යා කතාවලට අනුව යමින් සෑය පුරාවස්තුවක් ලෙස සලකමින් අපේ ජීවමාන පූජනීය වස්තුවක් යන්න නොසලකා හරිමින්. මා කියන්නේ නැහැ ඕනෑම කෙනකුට එවැනි වෙනස්කම් කිරීමට ඉඩ දිය යුතු කියා. මෙවැනි කරුණු සම්බන්ධයෙන් යම් ප්‍රමිතියක් සකස් කිරීමට මහා සංඝයා වහන්සේගෙ අනුශාසනා මත  සංස්කෘතික අමාත්‍යාංශය පියවර ගන්න ඕන. එහෙත් ජාමුලෙන් හා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙන් පාලනය වන අප යුනෙස්කෝවෙන් හරි වෙනත් එවැනි ආයතනයකින් හරි පාලනය වීම අරුමයක් ?

 

මේ සිවුරු පෙරවීම වෙළෙන්දන් ලොකු සිවුරු විකිණීමට යොදා ගන්න ඉඩ තියෙනවා. අප ප්‍රවේසම් විය යුත්තේ එවැනි කරුණු ගැනත් සමගින්. මා දන්නේ නැහැ අවුකන පිළිම වහන්සේ අසළ විහාරස්ථානයක් තියෙනවා කියා. කෙසේ වෙතත් මෙවැනි පිළිම වහන්සේ සම්බන්ධයෙන් ත්‍රෛනිකායික භික්‍ෂූන් වහන්සේ යම් ප්‍රතිපත්තිමය එකඟත්වයකට පැමිණෙනවා නම් හොඳයි. අවුකන පිළිම වහන්සේ අනුරාධපුර  සමාධි පිළිම වහන්සේ ආදී තවත් පිළිම වහන්සේ කලා කෘති වෙනවා. කලා කෘති වශයෙන් ගත්තොත් එහි වෙනස්කම් කිරීමට ඉඩ තියන්න බැහැ.

 

අවුකන බුදු පිළිම වහන්සේට සිවුරු පෙරවීම හුදු ඊනියා බුද්ධිමය ආකාරයකට බලන්න බැහැ. එහි ඇති විවිධ පැති සලකා බලා තීරණයකට එළඹෙන්න ඕන. මේ සිද්ධියෙන් මතුවන ප්‍රධාන කරුණ නම් මෙවැනි පූජනීය වස්තුවල ආරක්‍ෂාවයි. රජය (සංස්කෘතික) බුද්ධශාසන අමාත්‍යාංශ  හා මහා සංඝයා වහන්සේ පිළිබඳ අවධානය යොමු කරන්නේ නම් හොඳයි.   එහෙත් කිසිවිටෙකත් පිළිම වහන්සේ මතට නැගී කරන ක්‍රියා අනුමත කරන්න බැහැ.