History

Friday, 15 December 2023

රජරට සනීප ගැනීම

 

රජරට සනීප ගැනීම

 

මා සනීප ගැනීමට ගොස් ඊයේ රාත්‍රීයේ ආපසු පැමිණියා. සනීප ගන්න ගියේ කඳුරට ප්‍රදේශයකට නොවෙයි. රජරටට නැත්නම් පිහිටි රටට. ඉංගිරිසින්ගේ ඊනියා වියලි කලාපයට (dry zone). ඉංගිරිසින්ට එය වියලි කලාපයක් වෙන්න ඇති. ඒත් සිංහලයන්ට එසේ වුණේ නැහැ. සිංහල බෞද්ධයන් අදත් වැඩි වශයෙන් යන්න කැමති අනුරාධපුරයට. ඔය කියන ඊනියා වියලි කලාපයේ අප අවුරුදු දහසකට වැඩි කාලයක් අගනුවර පවත්වා ගෙන ගියා.

 

ඉංගිරිසින් අනුකරණය කිරීම හැර වෙනත් කිසිම දෙයක් දන්නෙ නැති මොටාවෙ හා මෙටාවෙ කසිකබල් උගතුන් රජ රටට වියලි කලාපය කියන්නෙ තම දීනත්වය ප්‍රදර්ශනය කරමින්. මෙරට ඉන්නෙත් මෙරටින් පිටරට ගිහින් ඉන්නෙත් වැඩි වශයෙන් එවැනි දීන අනුකාරකයන් පිරිසක්. මා මෙහි සඳහන් කරන්නේ පිටරට ගිහින් ඉන්න සියල්ලන් ගැන නොවෙයි. මෙරටත් පිටරටත් මෙටාවෙ හා මොටාවෙ දීන අනුකාරකයන් ඉන්නවා.

 

ඊයේ (දෙසැම්බර් 14) මා බටහිර අවධානග්‍රාහීන් ගැන ලිවුවා. ඔය පඬි නැට්ටනුත් අවධානග්‍රාහීන් පමණයි. මෙරට අවධානග්‍රාහීන්ට ඇත්තේ සිංහල බෞද්ධ විරෝධයක් පමණයි. ඔවුන් ඊනියා ක්‍රම වෙනසක් (සිස්ටම් චේන්ජ්) ගැන කිවුවත් ඔවුන්ට ඇති විකල්ප ක්‍රමයක් නැහැ. ඊයේ මා මස්ක් ගැන ලිවුවා. පඬි නැට්ටකු කියා ඇති පරිදි මස්ක් ගැන සඳහන් කිරීමෙන් විදග්ධයෙක් වෙන්න නොවෙයි. මට අවශ්‍ය වුණේ මස්ක් ඊශ්‍රායලය සම්බන්ධයෙන් අවධානග්‍රාහියකු වූ බව සඳහන් කිරීමයි. ඊට පෙර ඔහු අවධානවාදයට විරුද්ධ සිටියේ යන්න ප්‍රශ්නයක් නො වෙයි.

 

එහෙත් සිංහල බෞද්ධ පවුලක නූපන් ඇමරිකවෙ වෙසෙන සිංහල බෞද්ධ විරෝධීයකු තමාට නලින් සිල්වාගේ වරදක් හමු වී යන ප්‍රීතියෙන් මස්ක්ගේ පූර්ව අවධානවාදී විරෝධය ගැන සඳහන් කර තිබුණා. පඬි නැට්ටන්ට සන්දර්භය අමතක වෙනවා. ඔවුන් විශිෂ්ට ගණයේ බුද්ධිමතුන්.  එහෙත් පඬි නැට්ටාට ඇතැම් ප්‍රතිචාර හමුවේ පසුව සිද්ධ වුණා මස්ක්ගේ ලිපිවල චුට්ටි අවුලක් ඇති බව පිළිගැනීමට. මස්ක් පසුව තම අවධානග්‍රාහී බව වසා ගැනීමට මෙන් ඊශ්‍රාලයට ගියා. ඔහුට එහි දී හොඳ පිළිගැනීමක් ලැබුණා.

 

මා සනීප ගැනීමට ගියේ නිකවැරටිය ප්‍රදේශයේ හුළුගල්ල ගම ආශ්‍රිත   පිහිටි කෝට්ටෙයාවත්ත පාරම්පරික වෙද ගෙදරට. දින දහයක් පමණ එහි වාසය කළා. බෙහෙත්හේත් ලැබුණා. කෑම බිම ලැබුණා. වේල් තුනට බත. පාන් බනිස් වෙනත් තිරිඟු පිටි ආහාර කිසිවක් නැහැ. සද්ද බද්ද නැහැ. වෙද ගේ අසල මහසෙන් රජු කර වු හුඵගල්ල වැව. දිනපතා වෑකන්දේ ඇවිද්දා. අප වැවු තාක්‍ෂණය ගැන දන්න ඉටි ගෙඩියක් නැහැ. බටහිරයන්ට වැවු තාක්‍ෂණය තේරෙන්නෙ නැහැ. ටාජ්මහලය පිරමිඩ වගේ තේරුම් ගන්න පුළුවන් දෙයක් නො වෙයි.

 

නිසා දෝ වැවු  අර ලෝක පුදුමවලට එකතු වෙන්නෙ නැහැ. අප වැවු තනන්න පටන්ගෙන තියෙන්නෙ ආර්ය සංස්කෘතිය ලැබෙන්න කලින්. කියන්නෙ මෙහි එකල ද්‍රවිඩ සංස්කෘතියක් තිබුණ කියන එක නොවෙයි. වත්මන් දකුණු ඉන්දියාවෙ වැවු නැහැ. වැවු දකින්න පුළුවන් කාම්බෝජයේ. ඒත් නවවෑනි සියවසෙන් පස්සෙ. වැවු හා ඔවුන්ගෙ බෞද්ධකම අපෙන් ලබාගත් තාක්‍ෂණයේ හා බෞද්ධ සංස්කෘතියෙ ප්‍රතිඵල. වැවු තාක්‍ෂණය මෙරට විකාශය වෙලා. ධාතුසේන රජු කාලෙ අප වැවු සහ පිළිම වහන්සේ තැනීම අතින් වෙනත් ක්‍රම වේදයකට ගොස් ඇති බව පේනවා. පරක්‍රමබාහු සමයේ තවත් තාක්‍ෂණයක් අනුගමනය කර තියෙනවා.

 

මට කෝට්ටෙයාවත්ත වෙද ගෙදරදි ශාරීරික සුවය මෙන් මානසික සැනසීම ලැබුණා. නිතර දෙවේලෙ බණ ඇහුවා. කෝට්ටෙයාවත්තෙ නම හැදිල තියෙන්නෙ කොහොමද කියන එක ගැන ජනප්‍රවාදයක් තියෙනවා. කියන්න ජනයා අතර ඇති ජනයා හැදු කතාවක්. පඬි නැට්ටන් අතර තියෙන්නෙ බටහිරයන් හැදූ කතා පමණයි. ජනප්‍රවාදය අනුව වීදීය බණ්ඩාර රාජ උදහසින් බේරෙන්න කෝට්ටෙයාවත්තෙ පදංචියට ගිහින්. ඔහු ගම්වැසියන්ට පවසා ඇත්තේ තමා කෝට්ටෙන් පැමිණි බව පමණයි. නිසා ඔහු කෝට්ටයා බවටත් ඔහු විසූ ප්‍රදේශය කෝට්ටෙයාවත්ත බවටත් පත් වී තියෙනවා.

 

එහෙත් මෙය විශ්වාස කරන්න අමාරුයි. රාජ උදහසින් බේරීමට ගිය අයකු තමා කෝට්ටෙන් පැමිණි බවක් කියන එකක් නැහැ. ඒත් ජනකතාව පඬි නැට්ටන් බටහිර අනුකරණයෙන් කියන කතාවලට වඩා හොඳයි. පඬි නැට්ටන්ට කතාවක් ගොතා ගන්න තරම් දක්‍ෂකමක් නැහැ. මෙරට මොටාවෙ ඉන්නෙත් වැඩිම වුණොත් තොරතුරු හොයන්නන් පමණයි. ඔවුන් තම තමන්ගේ පිට කසා ගැනීමෙන් පමණක් විශිෂ්ට බුද්ධිමතුන් වෙලා. සමාජයීය විද්‍යාඥයන් කියන අයගෙ  අනුකාරකත්වය විිද්‍යමාන වෙනවා. ඔවුන් ඊනියා ස්වාභාවික විද්‍යාඥයන් මෙන් නොව සමාජය ගැන කතා කරන නිසා.

 

අපි පාරම්පරික වෙදකම ගැන පසුව කතා කරමු.  මා දන්නවා පඬි නැට්ටන්ට ජෙප්පන්ට සෙප්පන්ට හදවත් සැත්කම මතක් වෙන බව.   ඔවුන්ට අනුව මා  කිසිවක් නොදන්නා කියන දේ නොකරන වැඩ බැරි ටාසන් කෙනෙක්. ඒකට කමක් නැහැ ජෙප්පන්ගෙ වැවු දහසට වුණු දෙයක් දන්න අයෙක් ඉන්නවා ?