History

Saturday 16 December 2023

ඉංගිරිසින්ගේ හා උගත් ගැම තරුණ පරපුරේ වියලි කලාපය

 ඉංගිරිසින්ගේ හා උගත් ගැම තරුණ පරපුරේ වියලි කලාපය

 

මගේ ඊයේ (දෙසැම්බර් 15) ලිපියට ප්‍රතිචාර ලැබී තියෙනවා. ඇතැමුනට අනුව, කෝට්ටෙයාවත්තට එම නම ලැබී තියෙන්නෙ වීදිය බණ්ඩාර තමා පැමිණියේ කෝට්ටෙන් බව කීම නිසා ගැමියන් ඔහු කෝට්ටයා ලෙසත් ඔහු පදිංචි සිටි ප්‍රදේශය කෝට්ටෙයාවත්ත ලෙසත් නම් කළ බවට ඇති ජනප්‍රවාදය නැත්නම් ජනකතාව ඇත්තක් වෙන්න ඕන.

 

මා ජනප්‍රවාද නිකම් නිකම් කටකතා ලෙස බැහැර කරන්නේ නැහැ. ජනකතාත් බටහිර විද්වතුන් හදන කතාත් අතර විශාල වෙනසක් නැහැ. හැම කතාවක් යමක් තේරුම් කිරීම සඳහා හදන කතා. හිතළු. බටහිර විද්‍යාවේ කතා වියුක්තයි. ගැමියන් වියුක්ත කතා හදන්නෙ නැහැ. වෙනස එපමණයි.

 

මෙරට පඬි නැට්ටන් නම් කතා හදන්නෙ නැහැ. ඔවුන්ට කිසිම නිර්මාණශීලීත්වයක් නැහැ. ඔවුන් දන්නේ බටහිර පඬියන් කියන දේට තම වලිගය (නැට්ට) වැනීම පමණයි. මේ හරක්ලිටස්ලා සම්ම ජාතියේ කතාවක් හදන්නේ නැහැ. ඔවුන්ට වටින්නෙ බටහිර කතා පමණයි. හෙරක්ලිටස් මිනිසකුට එක ගඟට දෙවරක් පනින්න බැහැ කියද්දි බුදුහාමුදුරුවන් එක ගඟක්වත් එක මිනිසකුවත් නැහැ කියා දේශනා කර තියෙනවා. ඒත් හරක්ලිටස්ලා එක ගඟට පැන නා ගන්නවා.

 

අර ජනප්‍රවාදය මා විශ්වාස කරන්නෙ නැත්තෙ කළුකුහර විශ්වාස නොකරන අන්දමටයි. සංගත බවක් දකින්න බැහැ. වීදිය බණ්ඩාර සමුද්‍රා දේවිය දියවන්නාවේ ගිල්වා මරා දැමූ බවයි කියැවෙන්නෙ. සමුද්‍රා දේවිය කෙසේ වෙතත් දියවන්නාවේ ගිල්ලවන්න සුදුසු අය ඕන තරම් ඉන්නවා. ඒත් එසේ කරන්න යැයි මා කියන්නේ නැහැ. සමුද්‍රා දේවිය බුවනෙකබාහු රජුගෙ දියණිය. ඇගේත් වීදිය බණ්ඩාරගේත් පුතා දොන් හුවාන් (ජුවාන්) ධර්මපාල. මේ නම පරස්පරයක් වගේ පේන්න පුළුවන්. ධර්මපාල කියන්නෙ ධර්මයෙ ආරක්‍ෂකයා. හුවාන් කියන්නෙ දෙවියන් වහන්සේ කරුණාවන්ත යැයි කීම. දොන් හුවාන් ආරක්‍ෂා කරන්න ඇත්තේ ක්‍රිස්තියානි ධර්මය වෙන්න ඇති. එතකොට පරස්පරයක් නැහැ.

 

වීදිය බණ්ඩාර පසුව මායාදුන්නෙට එකතු වුණු බව කියනවා. කෙසේ වෙතත් සමුද්‍රා දේවී ඝාතනය කිරීම  නිසා රාජ උදහසට හසු වී ඉන් බේරීමට පැන ගොස් හැංගී හිටියා නම් වීදිය බණ්ඩාර තමා කෝට්ටෙන්, කියන්නෙ අගනුවරින් පැමිණි බවක් කියන්නෙ නැහැ. එසේ කීවා නම් ඔහුට වැඩි කල් හසු නොවී සිටින්න බැහැ.

 

එහෙත් එයට වඩා කතාවක් වියලි කලාපය ගැන කියා තියෙනවා. ප්‍රතිචාර දෙකක් මා පහත පළ කරනවා.ඉන් එක් ප්‍රතිචාරයක් භික්‍ෂූන් වහන්සේ නමකගෙන්. උන්වහන්සේ ජවිපෙට හිතවත් භික්‍ෂූන්වහන්සේ නමක්. අනෙක් තැනැත්තා ජෙප්පකු වීමට බොහෝ ඉඩකඩක් තියෙනවා. මේ තමයි උගත් ගැමි තරුණ පරපුර. කලක් අමරසේකරගේ ගණඳුර මැදියම අරුණළු දකිමින් නන්දා මාලිනීගේ පවන ගී ගයමින්  රට විනාශ කළ අය.

 

“ "ඊනියා වියලි කලාපෙ"

 

නලීන්ද සිල්වා මහත්තයට ගල්ගමුවට ඇවිත් මගෙ ගෙදර නැවතිලා අවුරුදු කීපයක්, මොකක් හරි වගාවක් කරන්න උත්සාහයක් දාලම ඊට පස්සෙ වියලිද තෙත්ද කියලා කියන්න කියලා මම කියනව අසෝක අයියා 

නලීන්ද සිල්වා කියන එවා හොඳයි බොන වෙලාවක බයිට් නැති උනාම කියවන්න

 

වියළි කියන්නේ දේශගුණික එකක්.ඒකේ සනීප ගන්න කැමති අය කොච්චර ඉන්නවද.ඊනීයා නෙවි. බෙදීම ඇත්ත භූගෝලීය බෙදීමක්.”

 

මේ උගත් ගැමි තරුණ පරපුර ඊනියා වියලි කලාපය ගැන දැන ගන්නෙ ඉංගිරිසින්ගෙන්. අධ්‍යාපනයෙන්. මිසක් තම සීයලා ආච්චිලගෙන් එහෙමත් නැත්නම් වෙනත් වචනවලින් අත්තලගෙන් අත්තම්මලගෙන්  නො වෙයි. කෙසේ වෙතත් ජෙප්පා හරි කවුරු හරි මා බයිට් එකට ගැනීම ගැන නම් සතුටු වෙනවා. ඔහුට දිරවා ගන්න එක ප්‍රශ්නයක් වේවි. අර හාමුදුරුවන්ට වියලි කතාව භූගෝලීය බෙදීමක්. කතාව නම් හරිම වියලියි.

 

පළමු ප්‍රතිචාරය දැක් වූ බොනපාට් ජෙප්පකු වීමට ඉඩකඩක් ඇති තවත් කරුණක් නම් මගේ නම නලින්ද සිල්වා කියා ලිවීම. ඔහු මගේ නම නලින් සිල්වා බව දන්නේ නැහැ. මා කලිනුත් ගැන කියා ඇති. ඒත් ජෙප්පන් ඉගෙන ගන්නේ නැහැ. ඔවුන් උගත් ගැමි තරුණයන්.

 

උගත් ගැමි තරුණ පරපුර දන්නෙ තමන්ට ඉංගිරිසි ක්‍රිස්තියානි අධ්‍යාපනයෙන් ලැබෙන දේ පමණයි. මහණ වුණා කියා ඇතැම් හාමුදුරුවරුන්ට වෙනසක් නැහැ. දේශගුණය ගැන පමණක් බැලුවොත් රජරටට වැස්ස ලැබෙනවා අඩුයි. ඉංගිරිසින්ට තිබුණෙ දේශගුණික ප්‍රශ්නය පමණයි. ඔවුන්ට සිංහලයන්ගෙ කෘෂිකර්මය ඉතිහාසය සංස්කෘතිය ගැන කිසිම තැකීමක් හැඟීමක් තිබුණෙ නැහැ.

 

අපි ඔය ඊනියා වියලි කලාපයට කිසි දා වියලි කලාපය කිවුවෙ නැහැ. අපට පිහිටි රට නැත්නම් රජරට. රටට වියලි කලාපය කී ගමන් එහි වැදගත්කම නැති වෙනවා. ගල්ගමුවට මා ගිහින් තියෙනවා. ඉංගිරිසින් අනුකරණය කරමින් එය වියලි කලාපයට අයත් කියා එයට අවමන් කිරීමට මා සූදානම් නැහැ. උගත් ගැමි තරුණ පරපුරට නම් තමන්ට අවමන් කර ගැනීම මගින් විදග්ධ වෙන්න පුළුවන්. දෙයියන්ගෙ පිහිටෙන් මා උගතකු නො වෙයි.  මොන දෙවියන්ගෙ කියලා මා දන්නෙ නැහැ. නාථ දෙවියන්ගෙ වෙන්න පුළුවන්.

 

මෙරට කෘෂිකර්මයට සුදුසු බිම පිහිටි රට. අප එහි පදිංචී වුණේ එබැවින්. වගේ වෙල්ලස්ස ප්‍රදේශය. එහි ජල ප්‍රශ්නය විසඳා ගැනීමට අපි වැවු තැනුවා. ලෝකෙ වෙන කොහෙවත් නැති දෙයක්. වැවු තාක්‍ෂණය අද ඉන්න ඉංජිනේරුවන්ට තේරෙන්නෙ නැහැ. දැන් නම් දෙවියන්ගෙන් තමයි දැනගන්න වෙන්නෙ. උගත් ගැමි තරුණ පරපුරට ගැන වගේ වගක් නැහැ.

 

අපට සතුරු ආක්‍රමණ නිසා ඊනියා තෙත් කලාපයට එන්න වුණා. තෙත් කලාපය කියන එකේ  තෙතක් තිබුණට සෙතක් නැහැ. අප තව තවත් කසිකබල් උගතුන් වීම පමණයි කොළඹ ආශ්‍රිත දැන් සිද්ධ වෙන්නෙ. ජයවර්ධනපුර කෝට්ටෙ අන්තිමට බලකොටුවක් වුණෙත් නැහැ ජයක් වර්ධනය වුණෙත් නැහැ.

 

උගත් ගැමි තරුණ පරපුරටවත් උගත් නාගරික පරපුරටවත් හිතන්න බැහැ. ඔවුන් දන්නෙ බටහිරයන් කියන දේ පුනරුච්චාරණය කිරීම පමණයි. අප රුහුණු පිහිටි මායා යනුවෙන් රටවල් තුනකට බෙදා ඇත්තෙ දේශගුණය මත පදනම් වෙලා නො වෙයි. මා ඉංගිරිසින් බෙදා වෙන් කළ වියලි කලාපයට කියන්නෙ ඊනියා වියලි කලාපය කියා. මා නූගතකු නිසා.