History

Thursday 28 December 2023

 

සිංහල බෞද්ධයන්ගේ හිසට හිමාලය පරිමාවෙන් අත් හේදීම

 

අර හිමාලය ප්‍රමාණයේ බොරුව ගැන තවත් යමක් කියන්න ඕන. හැබැයි කිවුවයි කියල මෙරට ජාතිකවාදීන්ට එයින් අබමල් රේණුවක වැඩක් වෙන්නෙ නැහැ. ජාතිකවාදීන් අතර තමයි සිංහලයන්ගෙ දුර්වලකම් වැඩියෙන් පිළිබිඹු වෙන්නෙ. සිංහලයන්ට හා සාමාන්‍යයෙන් බොහෝ දෙනාට ඇත්තෙ කරුණු මිස අදහස් නො වෙයි. ඔවුන් අනුන්ගෙ අදහස් කරුණු හැටියට දන්නවා. සිංහලයන් නම් කවුරුන් වුවත්, ජාතියක් නැතැයි කියන පඬි නැට්ටනුත්, අදහස් අතර සම්බන්ධය වියුක්ත දකින්න බැරි පිරිසක්. පඬි නැට්ටන් නම් වියුක්ත කියන එකේ තේරුමවත් දන්නෙ නැහැ. ඒත් ඊනියා අමූර්ත කලාව ගැන මහා පතරංග පඬි කතා කියාවි.

 

පහුගිය දා තමන් රැස්වුනේ හිමාලීය ප්‍රකාශය ගැන විරුද්ධතාව පළකරන්න යැයි කියන ජෙපි රොඩු ජාතිකවාදීන් කියන්නෙත් හිමාලය ප්‍රමාණයේ බොරු. ඔවුන්ට අවශ්‍ය සිංහල බෞද්ධ බලවේග එකතු වීම වැළැක්වීමයි. මාක්ස්වාදයෙන් කැඩීමට නොහැකි වූ ඔවුන්ට සිංහල බෞද්ධ යන්න දිරව ගන්න බැහැ. ඔවුන් නැති බෞද්ධ සභ්‍යත්ව ගැන දෙසා බානවා. සිංහලයන්ට වචනවල තේරුම ගැනත් එච්චර අවබෝධයක් නැහැ.

 

කොහොම වුනත් බොහෝ ජාතිකවාදීන්ට අනුව මටත් ඇත්තෙ කරුණු මිස අදහස් සංකල්ප ආදිය නො වෙයි. සමහර විට ඔවුන්ට ඒවා අතර වෙනස නොතේරෙනවා වෙන්න පුළුවන්. ඒකට කමක් නැහැ. මා සකර්බර්ග්ගේ දැන ගැනීම සඳහා ලියනවා. ඔහුට මේ ලිපිවල අඩුම තරමෙන් ගූගල් පරිවර්තන ලබා ගන්න පුළුවන්.

 

මා කියන්න යන්නේ අද ඊයේ අලුත් අදහසක් නොවෙයි. එය දශක ගණනාවක් පැරණියි. එහෙත් ජාතිකවාදීන් සුපුරූදු පරිදි මගේ අදහස් සතපහකට ගණන් ගන්නේ නැහැ. එහෙම නැත්තන් ඔවුන්ට තවත් කාගෙ දෝ කරුණක් පමණයි. හිමාලීය බොරුවට පදනම් වන එක් කරුණක් නම් මෙරට ඊනියා බහු සංස්කෘතික බහූ ජාතික බහු ආගමික රටක් නිසා කිසිම සංස්කෘතියකට ආගමකට විශේෂ තැනක් හිමි නොවිය යුතු බවයි.  මේ බහු ජාතික බහු සංස්කෘතික බහුබූතය ගැන මා දශක ගණනාවක් තිස්සේ කිවුවත් වෙනත් කිසිම ජාතිකවාදියකු එය සැලකිල්ලට ගන්නේ නැහැ.

 

ලෝකයේ හැම රටක් පාගේ බහු සංස්කෘතිකයි. ජාතියක් කියා එකක් නැහැ කියන පඬි නැට්ටන් බහු ජාතික රටක් ගැන කීම පුදුමයට කරුණක් නො වෙයි. ඔවුන් සංගත කියන්නේ මොකක් කියා දන්නේ නැහැ. නිසා ඔවුන්ට පරස්පර පේන්නෙ නැහැ. බහු සංස්කෘතික නොවන රටවල් තියෙන්න පුළුවන්. එය මෙහි දී ප්‍රශ්නයක් නොවෙයි.

 

සංස්කෘතීන් දෙකක් හරි වැඩි ගණනක් හරි තියෙන සෑම රටක් බහු සංස්කෘතිකයි. එංගලන්තය ඇමරිකාව ආදී රටවල් බහු සංස්කෘතිකයි. එහෙත් බහු සංස්කෘතික කියන එකෙන් කියැවෙන්නේ නැහැ රටවල විශේෂිත සමහර විට අධිපතිවාදී සංස්කෘතියක් නැහැ කියලා. එංහලන්තය හා අමෙරිකාව වගේ රටවල ඈංග්ලිකන් ක්‍රිස්තියානි සංස්කෘතිය විශේෂිත නොව අධිපතිවාදියි.

 

පඬි නැට්ටකු කියන්න පුළුවන් එංගලන්තෙ අගමැති හින්දු. ඇමරිකාවෙ උප ජනාධිපතිනිය ඉන්දීය සම්භවයක් ඇති අයකු ආදී වශයෙන්. එහෙත් අයට රකින්න වෙලා තියෙන්නෙ හින්දු සංස්කෘතියක් නොව ඇංග්ලිකන් ක්‍රිස්තියානි සංස්කෘතිය. ඇංග්ලිකන් ක්‍රිස්තියානි සංස්කෘතිය කෙතරම් අධිපතිවාදී කියනවා නම් ඔවුන් හින්දුන් ලවා තම සංස්කෘතිය රැක ගන්නවා. අප ළඟ ඇති ඉන්දියාව ගමු. එහි මුස්ලිමුන් ජෛනයන් ක්‍රිස්තියානින් හා බෞද්ධයන් ඉන්නවා. එහෙත් එහි අධිපතිවාදී  සංස්කෘතිය හින්දු.

 

මුස්ලිමුන් උත්තර භාරතය අවුරුදු සිය ගණනක් පාලනය කරල තියෙද්දි. මූගල් රාජ්‍යයක් පවත්වාගෙන ගිහින් තියෙද්දි. ටාජ්මහලය වැනි නිර්මාණ තියෙද්දි. අර මුස්ලිම් අබ්දුල් කලාම් ඉන්දියාවෙ ජනාධිපති වුනා කියල රටේ වෙනසක් වුනා ? අද මෝදි මුස්ලිම් නම් නගරවලින් ඉවත් කරනවා.

 

එංගලන්තයේ හින්දු අගමැතිවරයකු හිටියට ඊනියා සර්වාගමික උත්සව පැවැත්වෙන්නෙ නැහැ. රාජාභිෂේකය ඇතුළු සියළු උත්සව  ඇංග්ලිකන් ක්‍රිස්තියානි. ඔක්ස්ෆර්ඩ් කේම්බ්‍රිජ් ගිහින් බලන්න. ඇංග්ලිකන් ක්‍රිස්තියානි සංස්කෘතිය පිටාර ගලනවා. ඒත් මට මතකයි කැලණිය මෙටාව වෙච්ච විද්‍යාලංකාරෙ බෝ පැලයක් රෝපණය කරන්න ගිය වෙලාවෙ මොටාවන් විරෝධය දක්වමින් කිවුවෙ එය පන්සලක් නො වේය කියා. අපට මොටාවන්ගෙ මොට්ට විරෝධය පරාජය කරන්න පුළුවන් වුනා.

 

මේ සියලු මොටාවන් රටට විනාශය ගෙන දෙනවා. ඔවුන් අර නිවුටනුත් හිටිය කේම්බ්‍රිජ් ට්‍රිනිටි කොලීජිය (ත්‍රිත්ව විද්‍යාලය) නිවුටන්ගෙ නියම තුන වෙනුවෙන් නම් කරල තියෙනවා කියා හිතන් ඇති. මේ මොටාවන් දරුණු හීනමානයකින් පෙළෙන අය. මා අවුරුදු හැටක් පමණ ඔවුන් දන්නවා. කිසිම අලුත් අදහසක් දැනුමට එකතු කර නැති ඔවුන් අර කසිකබල් ඇංග්ලිකන් ක්‍රිස්තියානි උපාධියක බල මහිමයෙන් රටට බයිලා කියනවා. ඔවුන් බොරු උගත්කමක් මවා ගෙන බයිලා කියනවා.

 

මෙරට විවිධ සංස්කෘතීන් තියෙනවා. එහෙත් මෙරටට සුවිශේෂ වූ මෙරට නිපන් එක සංස්කෘතිය සිංහල බෞද්ධ සංස්කෘතියයි. මෙරට හැදුනේ වැඩුනේ සිංහල බෞද්ධ සංස්කෘතියේ සෙවනේ. ගැමුණු රජු දවස සිංහල බෞද්ධ යන වචන යොදා ගත්තේ යන්න මට ප්‍රශ්නයක් නො වෙයි. එකල තිබුනෙත් සිංහල බෞද්ධ සංස්කෘතිය. පඬි නැට්ටන් කියනවා නිවුටන්ට පෙර ඊනියා ගුරුත්වාකර්ෂණය තිබුනෙ නැහැ කියලා.

 

මෙරට සිංහල බෞද්ධයන් පමණයි මෙරටට ආවේණික සංස්කෘතියක් ගොඩ නගල තියෙන්නෙ. දෙමළ හින්දුන්ට ඇත්තෙ දකුණු ඉන්දියාවෙ දෙමළ (ද්‍රවිඩ) හින්දු සංස්කෘතිය. මුස්ලිමුන්ට ඇත්තේ ඉන්දියාව හරහා පැමිණි බටහිර ආසියා සංස්කෘතියක්. කතෝලිකයන් හා ක්‍රිස්තියානින් සිංහල වීම නිසා ඇතැම් සිංහල සංස්කෘතික ලක්‍ෂණ ඔවුන් අතර තියෙනවා. අර සිංහලයන් විජයගෙන් හා හත්සීයෙන් පැවත එන්නන් කියන උත්තර භාරතීය නිඝන්ඨයන්ට බෙංගාලයෙ හරි වෙනත් තැනක හරි සිංහල සංස්කෘතියක් දකින්න පුළුවන් ?

 

මෙරට බහු සංස්කෘතික බව ඇත්ත. එහෙත් මෙරට සුවිශේෂ සංස්කෘතිය සිංහල බෞද්ධ. එය අධිපතිවදී සංස්කෘතියක් නොවෙයි. බෞද්ධයන්ටත් මෙරට ජීවත්වන සෑම ආගමිකයකුටත් විශේෂිත දවස් මෙරට නිවාඩු දින. එවැනි වෙනත් රටක් ගැන පුළුවන් නම් කියන්න. ඇමරිකාවෙ දි පෝය දිනය දැන ගන්න වෙන්නෙ හඳ බලලා. අන්න බලන් සඳ රන් තැටියෙන් සුදු කියා කියන්න වෙන්නෙ සුද්දන්ට නොවෙයි. මෙරට නිවාඩු දිනයක් නැත්තෙ අර විජයත් සමග පැමිණි නිඝන්ඨයන්ගෙන් පැවත එන්නන්ට පමණයි. ඔවුන්ගෙ ආගම මොකක් ?

 

මෙරට සිංහල බෞද්ධ සංස්කෘතියෙ සුවිශේෂත්වය පෘතුගීසීන්ට ලන්දේසීන්ට හා ඉංගිරිසින්ට පිළිගන්න සිද්ධ වුනා. 1815 ෆිවිසුම 1892 ආඥා පනත සඳහා උදාහරණ. ඔය එක්  බටහිරයකුවත් මෙරට වෙන කිසිම සංස්කෘතියක් පිළිගෙන තියෙනවා ? 

 

සිංහල බෞද්ධයන් අද ඇංග්ලිකන් ක්‍රිස්තියානි අධ්‍යාපනය විසින් නිවටයන් බවට පත් කෙරිලා. බොරු ක්‍රිස්තියානි මානව හිමිකම් කතාවලින් මොටාවල දේශන පිරිලා. එහෙත් ක්‍රිස්තියානි රටවල ඇති මානව හිමිකම් මොනවා ? රටවල පන්සලක් හදා ගන්න එක පහසු වැඩක් කියා හිතනවා ? අද අනෙක් හැමෝම  සිංහල බෞද්ධයන්ගෙ හිසට අත හෝදනවා.  ගැන මට සුදුසු ඡායාරූපයක් හොයා ගන්න බැරි වුනා. මේ ඡායාරූපයෙන් යම් අදහසක් ලැබෙනවා.