History

Wednesday 27 December 2023

සිංහල මෝඩයා හා ඊනියා වමේ ව්‍යාපාරය

 

සිංහල මෝඩයා හා ඊනියා වමේ ව්‍යාපාරය

 

සිංහලයා මෝඩයා යැයි මුලින් කියන්න ඇත්තේ පෘතුගීසියකු යැයි මට හිතෙනවා. යම් කිසි අයුරකින් එසේ නොවන්නේ නම් ලන්දේසියකු හරි ඉංගිරිසියකු හරි වෙන්න ඕන. කවුරුන් වුවත් සිංහල කියමනක් අනුව කී අයගේ කටේ මසුරන් දාන්න ඕන. කිසිවකු කියන්න බැරි නැහැ කියමනත් මෝඩ කියමනක් කියා.

 

මෙටාවේ ඇතැමුන් මට කියන්නේ මෝඩයා මිථ්‍යාධාරියා මැන්ටලයා ආදී දේ. මා මෝඩයකු බව දැන ගෙන නම් හුඟක් කල්. අවුරුදු දහසයේ දී පමණ බටහිර විද්‍යාඥයකු වීමට අවශ්‍ය වුනේ මෝඩකම හින්දයි. එසේ වීමට නොහැකි වුනෙත් මෝඩකම නිසයි. මෝඩකම නිසා මා බටහිර විද්‍යාවෙන් අපේ දැනුම හොයා ගියා.

 

එහි දී මට නාථ දෙවියන් කෙසේ වෙතත් දේව මණ්ඩලයේ අය මුණ ගැසුනා. නිසා තරුණ බුද්ධිමතුන් මට මිධ්‍යාධාරියා කියනවා. මා මැන්ටලයක් වීම නම් වයස නිසා වූවක්. ඔය උගත් තරුණයන් කලක් ජීවත් වුවොත් මැන්ටල වේවි. මෙරට ජීවත්වන අති ප්‍රබුද්ධ සිනමා විචාරකයකු මගේ මිත්‍රයකුට කියා ඇත්තේ මා ථෙරවාදී බෞද්ධයකු වීමට තරම් අප්‍රබුද්ධයකු වී ඇති බවයි.

 

කෙසේ වෙතත් සිංහල බෞද්ධ බලවේගයක් ගොඩ නැංවීමට අකුල් හෙලන, ජාතිකවාදියකු ලෙස පෙනී සිටින එක්තරා ජෙපි රොඩ්ඩක් තම වීරයා ලෙස සලකන්නේ සසරක් පුනබ්භවයක් විශ්වාස නොකරන අයකු. ඔවුන් අද සිංහල බෞද්ධ ජාතික බලවේගයක් ගොඩ නැංවීමට විරුද්ධ සංවිධාන හැදීමට ගොස් හිමාල මට්ටමේ බොරු කියනවා. 

 

සියල්ලට අමතරව මට මැදමූලන වළං  සෝදන්නා නමක් උගත් ප්‍රගතිශීලි බුද්ධිමත් දාර්ශනික තරුණයන් පටබැඳ තියෙනවා. ඇතැම් ජාතිකවාදීන් රාජපක්‍ෂලාට විරුද්ධයි. අද පවත්නා ආර්ථික අර්බුදයට හේතුව රාජපක්‍ෂලා හොරා කෑම බව ඇතැම් ජාතිකවාදීන් විශ්වාස කරනවා. උගත් ජඩමාධ්‍යවේදීන්ට නම් මා පෙන්නන්න බැහැ.  මට නැවත නැවතත් මතක් වන්නේ සිංහලයා මෝඩයා යන පඬි වදනයි.

 

මහින්ද හා ගෝඨාභය ඉවත් කරනු ලැබුයේ නන්දිකඩාල් පරාජයේ පලිය ගැනීමට අවශ්‍ය වූ බටහිරයන් හා ඉන්දියානුවන් විසින් මිස ඔය කලාකරුවන් පූජකයන් කුරුසකරුවන් ජෙප්පන් සෙප්පන් ආදීන් විසින් නොවෙයි. රනිල් පත් කර ගනු ලැබුයේත් අද ඔහු පවත්වාගෙන යනු ලබන්නේත් බටහිරයන් විසින්ම මිස පරගලයේ ආතල් ගත්තවුන් විසින් නොවෙයි. සිංහලයන් මෝඩයන් බව දත් බටහිරයන් සියල්ල සැලසුම් කළා. එසේ නොවේ යැයි කියන බක පණ්ඩිත දාර්ශනිකයන් අද වැට් රනිල් වැට්ටවීමට පරගල නොකරන්නේ රනිල්ට කැමති නිසා වෙන්න ඕන.

 

අද පරගලයන් අමතක කරණ කරුණ නම් මහින්ද හා ගෝඨාභය නොවන්න අදත් ප්‍රභාකරන් ජීවත් වන බවත් මේ වන විට ඊළමක් අටවා අවසන් වීමට ඉඩ ඇති බවත්. රනිල් දත් එකම දේ බටහිරයන් කියන විධියට කටයුතු කිරීම හා එහි අංගයක් ලෙස ප්‍රභාකරන් එක්ක සාම ගිවිසුම් අත්සන් කිරීමයි.  කෙසේ වෙතත් පරගලයන්ට ආතල්ගම ආතල් ගැනීමට ඉඩ ලැබුනේත් ප්‍රභාකරන් ඉවර කර දමා තිබූ නිසයි. අද බටහිරයන්ට හා ඉන්දියානුවන්ට පමණක් නොව මෙරට පඬි නැට්ටන් වමාලා ආදීන්ට ප්‍රශ්නයක් වී ඇත්තේ රොහාන් ගුණරත්න වනි ඊනියා යුද විශේෂඥයන් පරාජය කිරීමට නෙහැකි යැයි කී නුතන නැපෝලියන් ලෙස හැඳින්වුනු ප්‍රභාකරන් පරාජය කිරීමයි. හේතුව මිස වෙනත් කරුණක් මහින්ද හා ගෝඨාභය ඉවත් කිරීමට නැහැ.

 

ආර්ථික අර්බුදයට ප්‍රධාන වැරදිකරුවා ඔය ජනතාව කියන අය. විශේෂයෙන් සිංහලයන්. එමෙන් සර්වජන ඡන්දය, වාමාංශික ව්‍යාපාරය, වෘත්තීය සමිති, බටහිර ක්‍රිස්තියානි අධ්‍යාපනය, ඊනියා දියුණුව පිළිබඳ අනුකාරක සංකල්පය, ජේ ආර්ගෙ විවෘත ආර්ථිකය, බණ්ඩාරනායක මැතිණියගේ සංවර්ධන යෝජනා නවතා දැමීම, දේශීය කර්මාන්ත ශාලා වසා දැමීම, සිංහලයන්ට නිෂ්පාදනය හා ව්‍යාපාරිකත්වය නොහැකි වීම සහ තවත් දේ. සියල්ල පිටුපස සිංහලයන්ගේ අධි පරිභෝජනය, ණයට කෑම හා බෙරු උගත්කම ඇතුළු බොරු ෂෝක් තිබුනා.

 

එහෙත් මේ සියල්ල පිටුපස ඉන්නා බටහිරයන්ට හා ඉන්දියානුවන්ට ඇත්තේ සිංහල බෞද්ධ විරෝධයක්. ඔවුන්ට හැකි වී තියෙනවා වමක් නැති වමාලා අද වන විට ධනවාද විරෝධීන් නොව සිංහල බෞද්ධ විරෝධීන් කිරීමට. එය එක්තරා ආකාරයකින් ගතහොත් ඊනියා වමේ ව්‍යාපාරයේ තර්කානුකූල අන්තය වෙනවා.

 

ඊනියා වමේ ව්‍යාපාරය දෙස බැලුවොත් සිංහල බෞද්ධ විරෝධය තේරුම් ගන්න පුළුවන්. වමේ ව්‍යාපාරය බහුල පැතිර ගියේ  ගොවිගම නොවන මුහුදු කරයේ හා කෑගල්ල වැනි දිස්ත්‍රික්කවල. වමේ ව්‍යාපාරය එදා අපට නොතේරුණාට සිංහල බෞද්ධ ගොවිගම විරෝධී ව්‍යාපාරයක් වුනා. ඇන් ඇම් ගොවිගම නැද්ද යන්න ප්‍රශ්නයක් නො වේ. ව්‍යාපාරයේ ස්වභාවයයි අධ්‍යයනය කරන්න ඕන. පුංචි රෝමය ලෙස හැඳින්වුනු කතෝලික මිගමුවෙන් සමසමාජ මන්ත්‍රීින් පත් වූයේ කෙසේ ? මොරටුවෙන් සමසමාජ මන්ත්‍රින් පත් වූයේ කෙසේ ? පාප් වහන්සේ වාමංශික ? මා ගොවිගම නොවෙයි. එහෙත් මා කියන්නේ මට පෙනෙන දේ.

 

දෙමළ කතා කරන ජනයා අතර ඊනියා වමේ ව්‍යාපාරය ප්‍රචලිත නොවූයේ ඇයි. අඩු තරමින් වතුකරයේ හරිහමන් වෘත්තීය සමිති ව්‍යාපාරයක්වත් ඊනියා වමේ ව්‍යාපාරයට නැත්තේ ඇයි? තොණ්ඩමන්ට සියල්ල ඩැහැ ගැනීමට හැකි වූයේ ඇයි? විප්ලවයේ අපිකේන්ද්‍රය (epicenter) වතුකරයේ දුටු එඩ්මන්ඩ් සමරක්කොඩි විප්ලවවාදියාට වතු කම්කරුවන් ආකර්ෂණය කර ගැනීමට නොහැකි වූයේ ඇයි?     

 

අද වන විට සිංහල බෞද්ධ විරෝධීන්ගේ වඩාත් දෝෂ දර්ශනයට ලක්වන්නේ බණ්ඩාරනායක මැතිණිය,  මහින්ද හා ගෝඨාභය. බණ්ඩාරනායක මහතා හා වෙනත් අය එසේ ලක් නොවන්නේ ඇයි? ටිකක් කල්පනා කරන්න.

 

සිංහලයන් දෙමළ ජනයාට වඩා බොරු ෂෝක් කාරයන්. මුස්ලිමුන්ටත් වඩා බොරු ෂෝක්. අප ආදායමට වඩා වියදම් කළා. අපට බඩගාන්න කලින් දුවන්න ඕන වුනා. ඉන්දියානුවන් දුවන්නෙ නැතුව බඩ ගැවා. අද ඉන්දියානුවන් දුවනවා. අපට බඩගාන්නවත් බැහැ. ඇයි කියා හිතාගන්නවත් බැහැ. සිංහලයා මෝඩයා කිවුවේ කවුද?