History

Friday 29 December 2023

රුපියල පාවේ බදු වැඩිවේ

 

රුපියල පාවේ බදු වැඩිවේ

 

ප්‍රධාන වශයෙන් රුපියල පා කිරීම නිසා වැට් හා වෙනත් බදු වැඩි කරන්න සිද්ධ වුනා කියන කෙටි සටහන එතරම් දෙනෙකු කියවා නැහැ. කෙටි සටහන් පළ කළ තරමින් මෙටාවන් කියවන්නේ නැහැ. එහෙත් පහුගිය දා එක් අයකු කීවේ මගේ මෙටා ලිපි තරුණයන් නොකියවන්නේ දිග වැඩි නිසා බවයි. කෙසේ වෙතත් අර ජෙප්පන් ගැන ලියූ කෙටි සටහන නම් දැනටමත් බොහෝ දෙනකු කියවා තියෙනවා. ජෙප්පන් පමණක් නොවෙයි. යසසින් පිරුණු රනිල් ගැත්තනුත් එය කියවා තිබෙනු ප්‍රතිචාරවලින් නිගමනය කරන්න පුළුවන්. රනිල් ගැත්තන්ට රනිල්ට පසුව ඉන්නෙ රනිල්දාස.

 

අපි ඉඩක් ලැබුනොත් ප්‍රතිචාර ගැන හෙට කතා කරමු. අද අර වැට් හා අනෙක් බදු ගැන. ඔය වැට් බද්ද කියන්නෙත් අර ලයිට් එලිය බෝඩ් ලෑල්ල කියන්න වගේ කතාවක්. වැට් කියන්නෙ අගය එකතු කළ බද්ද (value added tax) කියන එක. එතකොට වැට් බද්ද කියන්නෙ ටැක්ස් බද්ද වගේ කතාවක්. ඒක තමයි සිංහල සම්ප්‍රදාය. ලංකාදීපය කී තැන කතාව තියෙනවා. මා අහල තියෙන විධියට ලංකා කියන්නෙ දුපත. එවිට ලංකාදීපය කියන්නෙ දුපත් දූපත. කාට හරි දීප කියන්නෙ පහන  කියා පඬි කතාවක් කියන්න පුළුවන්. සිංහල භාෂාව කියන්නෙ සිංහල සංස්කෘතියෙ කොටසක්. අපේ සංස්කෘතියෙ ඔවැනි දේ ඕන තරම් දකින්න පුළුවන්.

 

කොහොම වෙතත් අපි මේ බදු කතාව ඉතා කෙටියෙන් කියමු. අපේ ඩොලර් සංචිතය අඩු බව ඇත්ත. එහෙත් හැමදාමත් අඩුයි. මැත කාලයේ කිසි දා මා දන්නා තරමට අපට මාස හයකට අවශ්‍ය බඩු භාන්ඩ (අර බෝඩ් ලැල්ල වගේ යෙදුමක්) ආනයනය කරන්න තරම් ඩොලර් සංචිතයක් තිබිල නැහැ. එහෙත් මේ ඩොලර් සංචිතය කොවිඩ් කාලෙ තවත් අඩු වුනා. සංචාරකයන් අඩු වීම. දෙවනුව ජෙප්පන් හා තවත් අය විදේශගත ශ්‍රමිකයන්ට ප්‍රේෂණ නොඑවන ලෙස කීම හා  බිරියානි වටලප්පන් බෙදන්නන් උන්ඩියල් ක්‍රමය අනුගමනය කිරීම හා තෙවනුව අපනයන ආදායම තව තවත් පිටරට නැවතීම.

 

මේ තත්වය හමුවේ රට ආර්ථික අර්බුදයකට හෙලන්න බටහිරයන් සමත් වුනා. එතැන දී තමයි ජාමුල කපටි ආරක්‍ෂකයා ඉදිරිපත් වුනේ. ජාමුල නියෝජිතයන් මෙරට ඕනෑ තරම් ඉන්නවා. ඊනියා ආර්ථික විද්‍යාඥයන්ට අමතර විදේශීය සම්බන්ධතා ඇති අය ඉන්නවා. දේශපාලනඥයන් හැම තැන උපදෙස් දුන්නත් ඔවුන් දන්න ඉටිගෙඩියක් නැහැ. ඔවුන් දක්‍ෂයන් වන්නේ ඡන්ද දිනාගැනීමේ දී. එහෙමත් නැත්නම් ඡන්දදායකයන් ආකර්ෂණය කිරීමේ දී.

 

ඔවුන් ප්‍රසිද්ධියේ නිලධාරීන්ට උපදෙස් දුන්නත් ඔවුන් තිරයෙන් පිටුපස උපදෙස් ලබන්නේ ඊනියා විශේෂඥයන්ගෙන්. 2022 පෙබරවාරිය වෙන විට ජාමුල නියෝජිතයන් ආණ්ඩුවට උපදෙස් දුන්නා. ඉන් එක් උපදෙසක් වූයේ නන්දලාල් වීරසිංහ ගෙන්වා ගැනීම. වඩාත් වැදගත් උපදෙසක් වුනේ රුපියල පා කිරීම. එතෙක් ගෝඨාභය ආණ්ඩුව හා කබ්රාල් ඩොලරයට නිශ්විත අගයක් ලබා දී තිබුනා. එය මගේ මතකය අනුව ඩොලරයකට රුපියල් දෙසීයක් පමණ.

 

කබ්රාල් තමයි රුපියල පාවෙන්න හැරියෙ. අර කපටි ආරක්‍ෂකයා දුන් උපදෙස් තමයි එයට හේතු වුනේ. මා හිතන්නේ කබ්රාල් හැකි තාක් කල් රුපියල පා නොකර හිටියා කියා. එහෙත් ජාමුල නියෝජිතයන් බලවත් වෙන්න ඇති. ඩොලරයකට රුපියල් තුන්සිය හැටක් පමණ ගෙවන්න සිද්ධ වුනා. අද එය ටිකක් අඩු වෙලා තියෙනවා. එහෙත් නොදැනීම එය ටිකෙන් ටික ඉහල යනවා.

 

රුපියලේ අගය පහත වැටීම නිසා බදු වැඩි කරන්න වෙන්නෙ මොකද? මා ආර්ථික විද්‍යාඥයකු නොවෙයි. මා කිසිම විද්‍යාඥයකු නො වෙයි. දාර්ශනිකයකුවත් ඉතිහාසඥයකුවත් නො වෙයි. රාජකීය ආසියාතික සංගමයේ ඉතිහාසය ගැන දේශනයක් පැවැත්විමට නියමිත වුවත් මා සාමාන්‍ය පෙළෙන් පසු ඉතිහාසය නිල වශයෙන් හදාරා නැහැ. ඒකට කමක් නැහැ. ඇසූරු  කරන්නන්ගෙන් මා ඉගෙන ගන්නවා. සමහරු කලක් මගේ ශිෂ්‍යයන් සිටි බව කියනවා.

 

මා දැන් කලක සිට ඇමරිකානු විද්‍යාභිවර්ධන සංගමයේ සාමාජිකයෙක්. මා දන්නවා ජෙප්පන්ට සෙප්පන්ට පඬි නැට්ටන්ට ප්‍රශ්නයක් වෙනවා බටහිර දැනුම් ආධිපත්‍යයට විරුද්ධ වෙමින් බටහිර විද්‍යාව පට්ටපල් බොරු යැයි කියමින් එසේ සාමාජිකයකු සිටින්නේ ඇයි කියා. අවශ්‍ය නම් මගේ කුහකකම කියන්න. දැනුම බොරු කියන්නෙ මොක කියල පඬි නැට්ටන්ට තේරෙන්නෙ නැහැ. මට කියන්න අවශ්‍ය 2022 දී මා ගෙවු වාර්ෂික සාමාජික ගාස්තුව මෙන් දෙගුණයකට ආසන්න ගාස්තුවක් මට 2024 දී ගෙවන්න සිදු වෙන බව. එයට හේතුව මා සාමාජික ගාස්තු ගෙවන්නේ රුපියල්වලින් වීමයි.    

 

දැන් ආණ්ඩුවටත් තෙල් සංස්ථාවටත් අනෙක් අයටත්මේ ප්‍රශ්නය බලපානවා. ආණ්ඩුව කිවුවට මහා බැංකුව හා මුදල් අමාත්‍යාංශය කියන්නෙ දෙකක්. ඩොලර් සංචිතය ඇත්තෙ මහා බැංකුවෙ. කවුරුන් වුවත්  ඩොලර් හරි විදේශීය මුදලක් හරි  ගන්න වෙන්නෙ මහා බැංකුවෙන්. මටත් තෙල් සංස්ථාවටත් මුදල් අමාත්‍යංශයටත් පොදු කරුණක්. භාණ්ඩ ගෙන්වන්න මුදල් අමාත්‍යාංශය මහා බැංකුවෙන් ඩොලර් ගන්න ඕන. සඳහා රුපියල්වලින් ගෙවන්න ඕන. මුදල් අමාත්‍යංශයටත් දැන් ඩොලර් ගන්න වෙන්නෙ රුපියල් වැඩියෙන් ගෙවලා. එත් මුදල් අමාත්‍යංශය රුපියල් හොයා ගන්නෙ කොහොම ? මුදල් අච්චු ගහලා එහෙම නැත්නම් බදු වැඩි කරලා. අද ජාමුල කපටි ආරක්‍ෂකයා මුදල් අච්චු ගහන්න දෙන්නෙ නැහැ. එහෙනම් ඉතින් බදු වැඩි කරන්න ඕන. අර වැට් බද්ද තව දින තුනකින් ගෙවන්න වෙනවා.

 

රනිල් ජනාධිපති වුනාට විජේදාස රාජපක්‍ෂ අධිකරණ ඇමති වුනාට එක ළුැනු ගෙඩියක් හිටවල නැහැ. ජඩපාලන කාලෙ වැඩි පොලියට ගත්ත ණය ගෙවන්නත් තියෙනවා. කබ්රාල් කරපු  විධියට ඩොලරය යම් අගයක තියා ගත්ත නම් මේ අහේනිය සිද්ධ වෙන්නෙ නැහැ. දැන් විජේදාස රාජපක්‍ෂ සුපුරුදු විධියට කබ්රාල් නිසා අර්බුදය ඇති වුනා කියනවා. කබ්රාල් හා ගෝඨාභයත් අවසානයේ දී ජාමුල උගුලට අහුවුනා. අවසානයේ දී ඔවුන් දෙදෙනාටත් යන්න වුනා. දැන් ජාමුලෙ නියෝජිතයො තැන්වල ඉන්නවා. ජාමුල මහා බැංකුව සුවාදීන කරලා. කියන්නෙ පාර්ලිමේන්තුවෙන් ගලවල ජාමුල යටතට පත් කරල කියන එකයි. හොඳ හොඳ නැටුම් එලිවෙන ජාමෙට කිවුවලු. තව වෙන්න තියෙනවා.

 

අපි නොබැඳුණු ආර්ථික ප්‍රතිපත්තියක් අනුගමනය කරන්නෙ නැත්තෙ ඇයි. අප අර බ්‍රික්ස් සංවිධානයේ සංවර්ධන බැංකුවට යන්නෙ නැත්තෙ ඇයි?