History

Sunday, 14 January 2024

ප්‍රේමකුමාරගෙ හිරෙ

 

 

ප්‍රේමකුමාරගෙ හිරෙ

 

මා ඊයේ (ජනවාරි 13)  පළ කළ ලිපියට සමාජ විද්‍යාඥ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ප්‍රේමකුමාර සිල්වා මහතා තම මෙටා ගිණුමේ පිළිතුරක් ලියල . ඒමෙසේ .

 

ඔහුගේ මුහුණු පොතේ මා සම්බන්ධව තරමක් දිර්ඝ පොස්ටු දෙකක් දමා ඇත. අදාළ ප්‍රස්තුතය පරිබාහිරව මා සම්බන්ධව පවසා ඇති කරුණු කිහිපයක් නිවැරැදි කිරිම පමණක් මේ පොස්ටුවේ අරමුණයි.

මා 'සිංහල බෞද්ධ විරෝධියෙකු' නොවන බව ඔහු නිවැරැදි සදහන් කොට තිබුණ. නමුත් මා සැමවිටම 'සිංහල බෞද්ධ සංස්කෘතියේ' ප්‍රගතිශීලී දෑ වෙනුවෙන් පෙනිසිටිමටත් එහි 'පසුගාමී ලක්ෂණ' ව්වේචනාත්මකව බැහැර කිරිමේ ආස්ථානයක සිටින බව සදහන් කල යුතුයි . ඇතැම් විට මා බටහිර දැනුම් නිශ්පාදනය තුල සිරව් සිටින එහෙයින් බව ඇතැමැකුට සිතිය හැක. දෙවැනුව 'ප්‍රේමකුමාරත් ශිෂ්‍යයකු ලෙස සිටියේ ස්වාධීන කණ්ඩායමේ' මා කිසිදිනෙක ස්වාධීන කණ්ඩායමේ සමාජිකයකු නොව්ය නමුත් ඔහුන් ගේ ජාතිවාදී නොවන දේශපාලන මතවාදය රුචියක් හා පක්ෂ පාතිත්වයක් දැක්වුයේම් ඇතැම්විට මාගේ ගුරුවරයා වු නිව්ටන් ගුනසිංහ ගේ මතවාදිමය බලපෑම හෙතුවිය හැක. ඔහු නිවැරැදි සදහන් කර ඇති පරිදි මා මාක්ස්වාදී යකු නොවේ නමුත් මා මාක්ස්වාදය හා පශ්චාත් මාක්ස්වාදය අධ්‍යායන කිරිම හා ඉගැන්විම දිගටම කෙරේ. මා බටහිර දැනුම් පද්ධතියේ හිරකරුවකු ලෙසින් නැද්ද යන්න මා නොදනමී..නමුත් මා බටහිර දැනුම් පද්ධතිය 'ප්‍රශ්න කිරිමට' මගේ සිසුන් පුහුණු කරම්න් සිටින බව සදහන් කරම්න් මේ කෙට් සටහන නිම කරමී..”

 

පළමුකොට කිව යුත්තේ මේ සියල්ල පිළිබඳ හැකි ඉක්මණින් (සතියකින් පමණ) කොළඹ මොටාවේ හරි වෙනත් තැනක හරි සංවාදයක් ඇති කිරීමට කටයුතු කරන්නේ නම් මා එයට සහභාගි වීමට කැමති බවය. දිගින් දිගට මෙටාවෙ කෙරෙන ලිපි ගණුදෙනු අතිශයින් නීරසයි. එහෙත් ප්‍රේමකුමාර ඉහත දක්වන කරුණු ගැන කෙටියෙන් ප්‍රතිචාර දැක්වීම අවශ්‍ය වෙනවා. ප්‍රේමකුමාර සිංහල බෞද්ධ සංස්කෘතියේ පසුගාමී ලක්‍ෂණ ගැන කියනවා. පසුගාමී වන්නේ කිනම් දැනුම් පද්ධතියකට සංස්කෘතියකට සාපේක්‍ෂව ? පසුගාමි නිර්වචනය වන්නේ කිනම් සංස්කෘතියක ?

 

ප්‍රේමකුමාර තම අදහස්වලට තම ගුරුවරයා වූ නිව්ටන් ගුණසිංහගේ මතවාදී බලපෑම හේතු වීමට ඉඩ ඇතැයි කියනවා. එසේ නම් ඉන් බොහෝ දේ පැහැදිළි වෙනවා. නිව්ටන් බටහිර ග්‍රම්ස්චි වැන්නන්ගේ මතවාද මතකයේ පුරවා ගත් මාක්ස්වාදියෙක්. මා දන්නා තරමින් ඔහුට තමාගේ වූ අදහසක් තිබුණේ නැහැ.  ඔහු අකාලයේ මිය ගියා. එහෙත් කලක් ජීවත් වුවත් ඔහුගෙන් කිසිම අලුත් අදහසක් බිහි වීමට කිසිම ඉඩක් තිබුණේ නැහැ. ඔහු තවත් අනුකාරක ඊනියා ශ්‍රී ලාංකික උගතෙක් පමණි. ප්‍රේමකුමාරට  ඔහුගේ බලපෑම යනු බටහිර බලපෑමයි.

 

මාක්ස්වාදය හා පශ්චාත් මාක්ස්වාදය අධ්‍යනය කිරීම හා ඉගැන්වීම හුදු අධ්‍යයනික වැඩක් ලෙස හොඳයි. ඉන් ලෝකෙට සතපහක වැඩක් සිද්ධ වෙන්නෙ නැහැ.  මාක්ස් අසාර්ථක පුද්ගලයෙක්. පොපර් මාක්ස්වාදය ගැන කියන දේ පැත්තකින් තිබ්බත් මාක්ස් තනි සිද්ධි සාධරණීකරණයෙන් සමාජ විකාශය සඳහා කතා හදපු අයෙක්. කතා (හිතළු) වැඩ නොකිරීම පුදුමයක් නොවෙයි. හිතළු කොහේවත් වැඩ කර නැහැ. මට හිතෙන්නේ මාක්ස්ටත් තම හිතළු අඩු තරමෙන් ආසියාවට වැඩ නොකරන බව තේරෙන්න ඇති. ඔහු ඊනියා ආසියාතික නිෂ්පාදන ක්‍රමයක් ගැන ලිවුවා.

 

ප්‍රේමකුමාර සුවාදීන ශිෂ්‍ය කණ්ඩායමේ බව මා කියන්නේ ඔහු එහි සාමාජිකයකු සිටි නිසා නො වෙයි. ඔය ශිෂ්‍ය සංවිධානවල සාමාජිකයන් ඇත්නම් කිහිප දෙනයි. අනෙක් අය අනුගාමිකයන්, හිතවතුන් ආදීන්. හැටේ දශකයේ මැද මා සමසමාජ ශිෂ්‍ය ව්‍යාපාරයේ සිටියා පමණක් නොව ලංකා ශිෂ්‍ය සම්මේලනයේ සාමාජිකයකු වී සිටියා. අපට එකල පංති කෙළේ බැටී වීරකෝන්. එහෙත් බොහෝ දෙනා සමසමාජ හිතවතුන් පමණයි.  මා ප්‍රේමකුමරත් සුවාදීන ශිෂ්‍ය කණ්ඩායමේ හිටියා කියන්නේ ඔහු එහි සාමාජිකයකු වී යන අරුතෙන් නො වෙයි.

 

ප්‍රේමකුමාර කියන පරිදි ඔහු සුවාදීන ශිෂ්‍ය සංගමයේ මතවාදයට පක්‍ෂපාති වෙලා.  මාත් කියන්නේ එපමණයි. ඔහු වැඩි දුරටත් කියනවා තමන් සුවාදීනයන්ගේ ජාතිවාදී නොවන දේශපාලනයට පක්‍ෂපාතීත්වයක් දැක්වූවා කියා. නිව්ටන් නිසා වෙන්නත් පුළුවන් කියනවා. නිව්ටන් සිංහල ජාතිකත්වයට විරුද්ධ වුණා. ඔහුට සිංහල ජාතිකත්වය සිංහල ජාතිවාදය වුණා. ප්‍රේමකුමාර ජාතිවාදය යනුවෙන් අදහස් කරනනේ කුමක් ? මා ඉතා කෙටියෙන් අහන්නම්. ප්‍රේමකුමාරට අනුව මා ජාතිවාදියෙක් ?

 

 

වෙල්ලාලයන්ගේ ප්‍රශ්නයක් අද දෙමළ ජාතිවාදයක් වෙලා. මේ වෙල්ලාලයන්ගේ ප්‍රශ්නය ගැන මා ලියා තියෙනවා. මා දන්නේ නැහැ  සමාජ විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයා කියවා තියෙනවා කියා. වෙල්ලාලයන්ගේ අභිලාෂයට විරුද්ධ වීම අද සිංහල ජාතිවාදය ලෙස හැඳින්වීමට බටහිරයන්ගේ හා ඉන්දියාවේ අනුග්‍රහයෙන් වෙල්ලාලයන් පමණක් නොව පඬි නැට්ටන් සමත් වෙලා. ප්‍රේමකුමාර වෙල්ලාල ප්‍රශ්නය දෙමළ ජාතිවාදය ලෙස හඳුන්වනවා ?

 

ප්‍රේමකුමාරට ඇත්තේ වාම අදහස්. ඔහු ඔස්මන්ඩ් ජයරත්නත් මාත් නිව්ටන්ට අමතර සර් යනුවෙන් ඇමතු බව කියනවා. ඔස්මන්ඩ් හිත හොඳ මිනිහෙක්. ඔහු ඉතා සරල ජීවිතයක් ගත කළ අයෙක්. ඔහු ඇතැමුන් මෙන් බොරු උගත්කම් ප්‍රදර්ශනය කරන්න ගියේ නැහැ.  මා ඔහු ළඟින් ඇසුරු කර තියෙනවා. ඔස්මන්ඩ් නිව්ටන් හා මා අතර ඇති සමානකම කුමක් ? කිසිවක් නොව වාම කතාවයි. ප්‍රේමකුමාර මා ගැන දැන ගන්නා කාලයේ මගේ වාම නෂ්ටාවශේෂ තියෙන්න ඇති. ඇතැමුනට මා වමකු ලෙස පෙනෙන්න ඇති.  

 

ප්‍රේමකුමාර තමන් බටහිර දැනුම් පද්ධතිය ප්‍රශ්න කිරීමට  සිසුන් පුරුදු කරන බව කියනවා. බටහිර දැනුම දෙයාකාරයකින් ප්‍රශ්න කරන්න පුළුවන්. එකක් ඇතුළතින්. අනෙක පිටතින්. මට තේරෙන අයුරු ප්‍රේමකුමාර බටහිර දැනුම බටහිර ඇතැම් උගතුන් අනුකරණය කරමින් ඇතුළතින් ප්‍රශ්න කරනවා.

 

ප්‍රේමකුමාර හා මා අතර ඇති මූලික වෙනසක් නම් ඔහු බටහිර දැනුම ඇතුළතින් ප්‍රශ්න කරන අතර සිංහල බෞද්ධ සංස්කෘතිය පිටතින් ප්‍රශ්න කිරීමත් මා බටහිර දැනුම පිටතින් ප්‍රශ්න කරන අතර සිංහල බෞද්ධ දැනුම ඇතුළතින් ප්‍රශ්න කිරීමත්. මා බටහිර දැනුම් ආධිපත්‍යයෙන් මිදී අවුරුදු හතළිහක් පමණ. ප්‍රේමකුමාර තවමත් ආධිපත්‍යයේ හිර වෙලා. අවශ්‍ය නම් හිරකරුවෙකු නොවී තමන් හිර වී ඇති බව කියන්න.