History

Monday 18 December 2023

වමක් නැති වමාලා හා ජෙප්පෝ

 

වමක් නැති වමාලා හා ජෙප්පෝ

 

අද මෙරට වමක් නැහැ. පැරණි වාමාංශික පක්‍ෂ වාම කතාවෙන් මිදිල හුඟක් කල්. ශ්‍රී නි පක්‍ෂය වමේ පක්‍ෂයක් ලෙස පෙනී හිටියා. වම කියන්නේ බොහෝ කලකට පෙර  මට මතක හැටියට නම් ප්‍රංශ විප්ලවය කාලෙ එක් රැස්වීමක මුලසුනෙන් වමේ සිටි අය. අර්ථයෙන් අද මෙරට පාර්ලිමේන්තුවේ කතානායක අසුනට වමෙන් ඉඳගන්නෙ සජිත් ප්‍රමුඛ විපක්‍ෂය බැවින් ඔවුන්ට වම කියන්න පුළුවන්.

 

එහෙත් කාලයත් සමග වම යන්න මාක්ස්වාදී සමාජවාදය සමග බැඳුණා. මාක්ස්වාදී එහෙමත් නැත්නම් එකල මාක්ස්වාදීන් කී අන්දමට ඊනියා විද්‍යාත්මක සමාජවාදය ගැන වැඩ කරන කෙසේ වෙතත් කතා කරන අයට වම යන්න භාවිතා කෙරුණා. අද වෙන විට සෙප්පන් සිරිතුංග ජයසූරිය සුමනසිරි ලියනගේ විජේ ඩයස්ගේ අනුගාමිකයන් දෙතුන් දෙනා ආදීන් හැරුණු විට මාක්ස්වාදයක් ගැන විශ්වාස කරන්නන් නැහැ. සමහර විට ඊනියා පශ්චාත් මාක්ස්වාදීන් කිහිප දෙනකු ඉන්න පුළුවන්. ඒත් ඔවුන් පශ්චාත් මිස මාක්ස්වාදීන් නො වෙයි.

 

ශ්‍රී නි පක්‍ෂය එදාවත් ඊනියා වමේ පක්‍ෂයක් වුණේ නැහැ. ඔවුන් කිසි දා මාක්ස්වාදී සමාජවාදයක් ගැන කතා කෙළේ නැහැ. ඔවුන් ධනවාදයට විරුද්ධ වුණෙත් නැහැ. වැඩිම වුවහොත් ඔවුන් මිශ්‍ර ආර්ථිකයක් ගැන කතා කරන්න ඇති. එහි තේරුම රාජ්‍යය ධනවාදය වෙනුවෙන් මැදිහත් වෙනවා යන්න පමණයි. අද රුසියාවේ චිනයේ ඇත්තේත් ඊනියා මිශ්‍ර ආර්ථිකයක් කියන්න පුළුවන්. මොන අර්ථයෙන් ගත්තත් ධනවාදී ආර්ථික.

 

පැරණි වාමාංශික පක්‍ෂ බිඳ වැටීම ඇරඹුණේ ශ්‍රී නි පක්‍ෂය පිහිටුවීමත් සමග. වඩාත් විස්තරාත්මක කියනවා නම් 1952 මින්නේරිය අතුරු මැතිවරණයත් සමග ශ්‍රී නි පක්‍ෂය ජාතිකවාදී පක්‍ෂයක් බවට පත්වීමත් සමග. පැරණි වාමංශික පක්‍ෂ පොතේ ගුරු මාක්ස්වාදී සමාජවාදයක් වෙනුවෙන් පෙනී සිටියත් ඔවුන් ලෙනින් මෙන් පෙනී සිටියේ රාජ්‍යය මැදිහත් වූ ධනවාදයක් වෙනුවෙන්. ජාතිකත්වයත් සමග ශ්‍රී නි කාර්යය සඳහා පෙනී සිටින විට පැරණි වමාංශීක පක්‍ෂවලට රටේ තැනක් නැති වුණා. අද පක්‍ෂ ඩිව් ගුණසේකර තිස්ස විතාරණ ආදීන් වටේ කරකැවෙන ඉතා කුඩා කණ්ඩායම් බවට පත් වී තියෙනවා.

 

පැරණි වමේ පක්‍ෂවල සාමාන්‍ය සාමාජිකයන් කෙසේ වෙතත් නායකයන් ප්‍රභූන්. සාමාන්‍ය සාමාජිකයන්ට පක්‍ෂ ප්‍රතිපත්ති සකස් කිරීමේ දී කාර්යභාරයක් තිබුණේ නැහැ. ඔවුන් මාක්ස්වාදී පොතපත කියවා තිබුණේත් නැහැ. පක්‍ෂයේ මධ්‍යම කාරක සභාවටත් එහායින් තිබුණේ දේශපාලන මණ්ඩලය. එය කිසිසේත් නිර්ප්‍රභූ මණ්ඩලයක් වුණේ නැහැ. මාක්ස්ට අනුව සමාජවාදී වෙන්න ඉස්සර ධනවාදී වෙන්න ඕන. ඉතින් නායකයන් ප්‍රභූන් වුණා ඇති වරද කුමක් ?

 

ඔය X කණ්ඩායමටත් අවශ්‍ය වුණේ පළමුව රට ලන්ඩනයක් බවට පත් කරන්න. ලෙනින් ඊනියා සමාජවාදයක නමයෙන් රුසියාව රාජ්‍ය ධනවාදී කළා. ට්‍රොට්ස්කි රුසියාව එංගලන්තයක් වීමට පළමු සමාජවාදී රාජ්‍යයක් වන්නේ කෙසේ දැයි මාක්ස්වාදී දෘශ්ටියෙන් තේරුම් ගන්න පොත්පත් ලියා අසාර්ථක උත්සාහයක නිරත වී මෙක්සිකොවේ දී ස්ටැලින්ගේ නියෝජිතයකුගේ අයිස් පොරෝ පහරට ලක් වී සමාජවාදය අත්හැර ගියා.

 

විජේවීර ඔය එකකින්වත් පාඩමක් ඉගෙන ගත් අයෙක් නොවෙයි. එහෙම ඉගෙනීමට තරම් බුද්ධියක් ඔහු සතු වුණේ නැහැ. ඔහු ඊනියා නව මගක් ගත්තා. ඔහු නිර්ප්‍රභූ නායකත්වයක් ඇති පක්‍ෂයක් ගොඩ නැගුවා. එය වෛරය ක්‍රෝධය ඊර්ෂ්‍යාව මත ගෙඩ නැගුණු පක්‍ෂයක්. යම් ආකාරයක ගොවිගම විරෝධී භාවයක් පක්‍ෂයේ තිබුණා. අතර ඔවුන් ජාතිකත්වය හා මක්ස්වාදය අතර දෝලනය වුණා. ඔවුන් ලෙනින්ගේ අනුගාමිකයන් කියන්න පුළුවන්.

 

එහෙත් සෙප්පන්ට කිසිම ජාතිකත්වයක් නැහැ. සෙප්පන් අද ජඩමාධ්‍යයට පින් සිදුවන්න පවතිනවා. ක්වොන්ටම් ජාගොඩට ඇති වැඩක් නැහැ. ජඩමාධ්‍යයට කතා කිරීම මොටාවෙ ජෙප්පන් සමග බලය වෙනුවෙන් කුලල් කා ගැනීමට අමතර කාලෝ ෆොන්සේකා වැන්නන්ට ක්වොන්ටම් භෞතිකය කියා දීමත් ඔහුගේ කාර්යභරය වෙනවා. ඔවුන්ට කීර්තිමත් අනාගතයක් තියෙනවා. මා මිත්‍ර සිරිතුංග ජයසූරියගේ අඩි පාරේ ඔවුන් ගමන් කරනු දකින්න පුළුවන්.

 

ජාතිකත්වය හා මාක්ස්වාදය අතර දෝලනය වුණු ජෙප්පන් අද දෙක අත්හැරලා. ගොවිගම විරෝධය සිංහල බෞද්ධ විරෝධයක් බවට පත්වෙලා. රනිල්දාස රනිල්ගේ දාසයකු වන පරිදි අද වි පෙරමුණ ජා දාසයෙක්. අද ඔවුන් යන්නේ හරිණි යන පාරේ. ජෙප්පන් ප්‍රචාරය කරනවා හරිණි උණවටුනේ අමරසූරිය පවුලේ අයකු කියා. එසේ තිබියදීත් ඇය ජනතාව වෙනුවෙන් පෙනී සිටින බව කියනවා. එය මුසාවක්. උණවටුනේ අමරසූරිය පවුලට ඥාති සම්බන්ධයක් ඇත්තේ ජී එල් පීරිස්ට මිස හරිණිට නොවෙයි. ජී එල්ගේ ඥාති සම්බන්ධය ගැන ජෙප්පන්ගේ නායකතුමගෙන් අහන්න.

 

ජෙප්පන් අද ජාතිකත්වයෙන් ඈත් වී සිංහල බෞද්ධ විරෝධී වෙලා. එය තවත් ජා පක්‍ෂයක් පමණයි. එබැවින් මාක්ස්වාදය අත් හැරීමට සිදු වුණු සිංහල බෞද්ධ විරෝධී පඬි නැට්ටන්ට X  කණ්ඩායමේ හිටපු බොහෝ අයට සිංහල බෞද්ධ විරෝධී ජෙප්පන්ට සහාය දෙන්න පුළුවන්. එහි ඇති ඊනියා වාම කඩතුරාව පඬි නැට්ටන්ට ආරක්‍ෂාවක් සපයනවා. එහෙත් වි පෙ තවත් ජා පක්‍ෂයක් පමණයි. පඬි නැට්ටන්ට ජා පක්‍ෂයට සහාය දෙන එක තරමක් අමාරුයි. ඔවුන්ට රනිල් විරුද්ධ වෙමින් සිංහල බෞද්ධ විරෝධී වීමට රනිල්දාසගේ ජෙප්පන් නැත්නම් හරිණිහේ ජාතික ජන බලවේගය උපකාරී වෙනවා.